ක්‍රිකට් කියලා කියන්නේ අපි හැමෝම ආදරේ කරන ක්‍රීඩාවක්. ලංකාවේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් එකම දේ ක්‍රිකට් කියලයි අපට අහලා පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසාම ක්‍රිකට් තරග බලන්නත්, ක්‍රිකට් තරග ගැන හොයන්නත්, ක්‍රිකට් ගැන උනන්දු වෙන්නත් අපි කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා ඉවරයි. ගතවෙන කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි හිතන තරම් ජයග්‍රහණ නොලැබුණාට සාමාන්‍යයෙන් අපිට ක්‍රිකට්වලින් තමයි සැලකිය යුතු මට්ටමක ජයග්‍රහණ ලැබුණා නම් ලැබුණේ. ඒක නිසා ක්‍රිකට් සම්බන්ධව අපිට තියෙන ආදරය අහේතුක නෑ. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි ප්‍රමාණයක් ක්‍රිකට්වලින් ලෝකයේ යම් යම් තීරණාත්මක මට්ටමක දක්ෂතා දක්වපු අය. සාමාන්‍යයෙන් අනෙක් ක්‍රීඩාවලින් අපි ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 අතරට එන්න විශාල උත්සාහයක් ගත්තත් තාමත් එය බැරි වෙලා තියෙනවා. නමුත් ක්‍රිකට්වල පළමු කණ්ඩායම් 10 ඇතුළේ අපිට හැමදාම රැඳෙන්න පුළුවන් වෙලා තියෙනවා. (Sri Lanka Latest News)
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 10ක් 15ක් නෙවෙයි. අද වෙනකොට ලෝක ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 70කටත් වඩා වැඩි වෙනකොට අපි තවමත් ලෝකයේ පළමු රටවල් 10 ඇතුළේ අපේ ස්ථානය රැකගෙන තියෙනවා. මේ ගතවෙලා යන්නේ ලෝක කුසලාන සමය. ලෝක කුසලාන සමයේදී ලැබෙන ජයග්‍රහණ සහ පරාජයන් සම සිතින් ඉවසන්නට අපි පුරුදු විය යුතුයි. සාමාන්‍යයෙන් ලෝක කුසලානයට එන හැම කණ්ඩායමක්ම එන්නේ තමන්ගේ උපරිම ශක්තිය යොදාගෙන. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම ශක්තිය යෙදීම කෙසේ වෙතත් මේ වෙනකොටත් අපි සැලකිය යුතු මට්ටමේ හොඳ කණ්ඩායමක් බව අපි හැමෝම පිළිගන්න දෙයක්. නමුත් අපේ ක්‍රීඩකයන්ගේ තියෙන සමහර දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් බලධාරීන්ගේ තියෙන සමහර දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය සම්බන්ධව තියෙන ප්‍රශ්න නිසා අපිට ක්‍රිකට්වල තිබුණු පැරැණි ප්‍රභාෂ්වරය අහිමි වෙලා තිබුණත් තවමත් ලෝක කුසලාන දෙකක හිමිකාරීත්වය අප සතු බව අපට අභිමානයෙන් කියන්න පුළුවන්. එහෙම තියෙද්දීත් ක්‍රිකට් අවභාවිත කරනවා නම් කවුරු හරි කෙනෙක්, ඒකට එරෙහි විය යුතුයි සහ ක්‍රිකට් කියලා කියන්නේ අපට එක එක සෙල්ලම්වලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීඩාවක් නොවන බව නම් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ.
අපි දන්නවා පහුගිය කාලේ ක්‍රිකට් සම්බන්ධයෙන් තිබුණු දේශපාලනික හැඩයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ක්‍රිකට් මැච් බලන්න ගියාම සාමාන්‍යයෙන් තරග පරදින බවට අපේ තිබුණු මතය. ඒක හරිම අහිංසක සහ විහිළුසහගත තර්කයක් වුණාට අපේ රටේ දේශපාලකයෝ ක්‍රිකට්වල ජයග්‍රහණවලින් තමන්ගේ ජයග්‍රහණයේ මඩිය පුරවාගන්න උත්සාහ කළ බව අපි ඒකෙන් දැක්කා. ඒ කියන්නේ ක්‍රිකට් තරග දිනුවට පස්සේ ක්‍රිකට් තරග ඇතුළේ තමන්ගේ දේශපාලන පොරත්වය නිර්මාණය කරගෙන, තමන්ගේ දේශපාලන පිටියේ යම් ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න ක්‍රිකට් තරග යොදාගන්න උත්සාහ කළා. ඇත්තටම ඒක සාර්ථක වුණේ නෑ. සමහර තරග බලන්න මහින්ද මහත්තයා ගියාම ඒ තරග ලංකාව පැරැදුණා. ඔහු ගියේ අභිමානයෙන් ලංකාව දිනලා, ඒ ගැන ලෝකෙට පේන්න රඟපාලා කුසලානය අරගෙන, අනිත් අයත් එක්ක පොඩි චියර් එකක් දාන්න වෙන්න ඇති. එහෙම වුණේ නෑ, යන යන තරගය පරදින්න පටන්ගත්තා. මහින්ද මහත්තයා බලන්න ගියොත් ක්‍රිකට් තරග පරදිනවා කියලා මතයක් අපේ රටේ නිර්මාණය වුණා.
අපි ලෝක කුසලාන තරගයේදීත් අපි මේ දේ දකිනවා. ඉතාම නරක විදියට මේක අපිට පේන්න තියෙනවා. මොකද දේශපාලනය ක්‍රීඩා පිටියට අරගෙන ගිහිල්ලා. සමහර ප්‍රේක්ෂකයෝ සමහර දේශපාලකයන්ගේ නම් සඳහන් කරලා බෝඩ් අල්ලගෙන ඉන්නවා. සමහර දේශපාලකයන්ව දිනවමු කියලා කියන්න පටන් අරගෙන තියෙනවා. දැන්වීම් පුවරු අතින් අරගෙන ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මේක ලෝකෙට යන්නේ ලංකාව කියන්නේ අර්බුදයක් තියෙන රටක්, දේශපාලන ප්‍රශ්නයක් තියෙන රටක් විදියට. ගොඩක් විශාල දේශපාලන ප්‍රශ්න තියෙන රටවල සමහර අය ප්‍රේක්ෂකයෝ විදියට ඉන්න ගමන් බෝඩ් අල්ලගෙන ඉන්නවා. තමන්ගේ දේශපාලන ප්‍රශ්නය ලෝකේ අවධානයට යොමුකරන්න අවස්ථාවක් නැති වුණාම, ක්‍රිකට් පිට්ටනියේදී ඒ ප්‍රශ්නය ලෝකෙට කියන්න උත්සාහ දැරීමක් විදියට සලකන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ ඇත්තටම මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා ක්‍රිකට් තරග සම්බන්ධයෙන්. ඔවුන් කියනවා ත්‍රස්තවාදී තර්ජනයක් තියෙනවා ක්‍රිකට් තරගාවලියට කියලා. එහෙම තත්ත්වයක් යටතේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතෙයි මේ ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ. ඒක අස්සට අපේ පෞද්ගලික දේශපාලන කෝන්තරයක්, රටේ තියෙන දේශපාලන ප්‍රශ්නයක් අරගෙන ගිහිල්ලා, දේශපාලන මත ගැටුම් ක්‍රිකට් තරග අතරතුර ප්‍රදර්ශනය නොකරන්න අපේ ප්‍රේක්ෂකයෝ කටයුතු කරනවා නම් හොඳයි කියලයි අපිට හිතෙන්නේ. මොකද ඉදිරියේදී මේ වගේ කාරණාවලදී යම් යම් තාර්කික මැදිහත්වීම් සිදුවෙලා, අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පවා සමහර තහනම් නිකුත් වෙන්න ඉඩ තියෙනවා මේ තත්ත්වය තවදුරටත් අරගෙන ගියොත්. ඒක නිසා කල්පනාවෙන් වැඩකරන්න අපේ ප්‍රේක්ෂකයොත් දැනගන්න ඕනේ කියලයි අපිට නම් හිතෙන්නේ. මොකද ක්‍රිකට් කියලා කියන්නේ අපිට තියෙන වටිනා සම්පතක්. ලෝකයේම අවධානය අපිට යොමුවෙච්ච දෙයක්. අපිත් දැනගන්න ඕනේ ඒකේ තියෙන ගෞරවය රැකගන්න සහ පිට්ටනියේ තියෙන අභිමානය ආරක්ෂා කරගන්න. ශ්‍රී ලංකාව කියන ජාතික කණ්ඩායමයි මේ තරගයට සහභාගි වෙලා තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, දේශපාලන වශයෙන් විවිධ වුවමනාවන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රිකට් පිටියට අරගෙන ගිහින් ලෝකයේ ඉස්සරහා අපේ ඇඳුම් ගලවා ගන්නවට වඩා හොඳයි එය අපේ රට ඇතුළේදීම දේශපාලනිකව විසඳාගන්න එක. ඒක නිසා පිට්ටනියට අරගෙන ගියාම ලෝකයට පේන්නේ අපේ හෙලුව. මේක අපේ ගෞරවය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා එය තවදුරටත් නොකර ඉන්න කියලා අපි අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ජීවන පහන් තිළිණ








