ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා කැරකෙන අලුත්ම ටේ්‍රලර් එක ඇසුණු අපට බඩ අල්ලාගෙන හිනායෑම නතර කරගත නොහැකි විය. චිත්‍රපටයක්වත්, මෙගා ටෙලිනාට්‍යයක්වත් නොව, අපේ රටේ එකෝමත් එක දේශපාලන මුත්තණුවෙක් කර තිබෙන ‘අපූරු වැඩක්’ ගැන එහි කියැවේ.Sri Lanka Latest News
ආරංචියේ හැටියට මැතිතුමා පපුව පළා අලුත්ම අලුත් ‘හාට් එකක්’ දමාගෙන ඇත. ඉන්පසු එතුමාගේ වටේ සිටින වන්දිභට්ටයන් සහ දේශපාලන සට්ටැඹියන් රට වටේම බෙර ගසමින් යන්නේ මැතිතුමාට දැන් ‘සුපිරි බලයක්’ පහළ වී ඇති බවයි.
ඔවුන් කියන විදිහට හාස්කම් තුනකි:
පළමු හාස්කම – අලුත් හාට් එක දැමූ සැණින් වයස අවුරුදු 10කින් අඩුවී ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානයටත් පිස්සු වගේය)
දෙවැනි හාස්කම – ඉස්සරටත් වඩා දැන් ‘හරිම ශක්තිමත්’ ලු (දැන් ඉතින් බිත්ති පෙරළන්න වුණත් පුළුවන)
තුන්වැනි හාස්කම (සහ භයානකම එක) – ‘දැන් ඉතින් ඔක්කොම හරි, ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්’ලු.
අනේ අපොයි… ලෝකයේ සාමාන්‍ය මනුස්සයෙක් හදවතක් මාරු කරගන්නේ තව ටික කලක් ජීවත් වෙලා මැරෙන්නටය. හැබැයි අපේ රටේ දේශපාලකයෙක් හදවතක් මාරු කරගන්නේ තව ටික කලක් රට කාදමන්නටය. මැතිතුමාගේ වටේ ඉන්න උදවිය හිතාගෙන ඉන්නේ හදවත මාරු කළාම දේශපාලන කර්මය සහ කරුමය ඔක්කොම රී-සෙට් වෙනවා කියාය.
වයස අවුරුදු 10කින් අඩුවුණා නම් අපට තිබෙන්නේ පොඩි ප්‍රශ්න කිහිපයකි. එතුමා රටට කරපු විනාශය, පක්ෂයට කරපු විනාශය, ගත්තු ණය කන්දරාව සහ ගැසූ කොමිස් කුට්ටිවල වයසත් අවුරුදු 10කින් අඩු වෙනවාද? එතුමාගේ පරණ පව් ඔක්කොම අර අලුත් හදවතේ ලේ බින්දුත් එක්ක හේදිලා ගිහිල්ලාද? වයස 10කින් අඩුවුණා කියා, මොළේ වර්ධනයත් අවුරුදු 10කින් ආපස්සට ගොස් ‘බබා’ වී ඇත්දැයි අප දන්නේ නැත.
මේ ලෙඩේ හැදුණොත් ඉදිරියේදී අපට මෙවැනි දේශපාලන පුවත් ද අසන්නට ලැබෙනු නියතය:
‘මැතිතුමාට අලුත් ඇස් දෙකක් බද්ධ කරයි – මින්පසු ජනතාවගේ බදු මුදල් හොරකම් කරන හැටි වඩාත් පැහැදිලිව පෙනේ….’
‘මන්ත්‍රීතුමාගේ දණහිස් පොල්කටු දෙක මාරු කරයි – එක පක්ෂයකින් තව පක්ෂයකට පැනීමේ වේගය තුන් ගුණයකින් වැඩි වේ…’
ඇත්තටම මෙතැන තියෙන්නේ හදවතේ ප්‍රශ්නයක් නොවේ, මොළයේ ප්‍රශ්නයකි. ලෝකයේ දක්ෂම දොස්තරලාට පපුව පළා හදවතක් මාරු කළ හැකි වුවත්, බල ලෝභයෙන් කුණුවී ගිය දේශපාලනඥයකුගේ මොළය මාරු කළ නොහැක. පපුව ඇතුළේ ගැහෙන්නේ කාගේ හෝ තරුණයකුගේ පිරිසිදු හදවතක් වුවද, ඒ හදවතින් ලේ පොම්ප කරන්නේ අර පරණ, රට බංකොලොත් කරපු, කුප්‍රකට දේශපාලන මොළයටමය. ලේ දිය හැකිමුත් මොළේ දිය නොහැක.
ගරු මැතිතුමනි, අලුත් හාට් එකක් දමාගෙන ඔබතුමා ‘අයන් මෑන්’ වුණත්, මේ රටේ ජනතාවට දැන් ඔබලාගේ දේශපාලන සෙල්ලම් ගැන ‘ඇලපිල්ලක්වත්’ නැත. වටේ ඉන්න උදවිය ඔබව නැවත ජනාධිපති පුටුවේ වාඩි කරවන්නට හීන මැව්වත්, ජනතාව සූදානම් වන්නේ ඔබව කලින් යැව්වා වගේ ගෙදර යවන්නටය. ඒ නිසා, ලැබුණු අලුත් ජීවිතයෙන් ඉතිරි ටික කාලය හෝ රටට තවත් හෙණ නොගස්සා, ගෙදරට වී කජු ටිකක් කන ගමන් නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එකක් බලාගෙන ඉන්නවා නම්, ඒක ඔබතුමා මේ රටට කරන ලොකුම පුණ්‍යකර්මයකි. නැත්නම්, ලබන සැරේ ජනතාව දෙන ‘ඡන්ද ප්‍රහාරයෙන්’ අලුත් හාට් එක විතරක් නෙවෙයි, ඇඟේ තියෙන පරණ අස්ථි පද්ධතියත් හොයාගන්න බැරිවෙනු ඇත…









