පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක කාලය ඇතුළත සිදුවූ සිදුවීම් දෙකක් මුල්කරගෙන තවමත් නාමල් පෙර සිටි නාමල්ම බවට සිතෙන ආකාරයක් දැකගන්නට තිබේ. අප එසේ කියන්නේ පොහොට්ටුවට දැන් සජබයෙන් ජ්‍යෙෂ්ඨයන් කඩාගත හැකි බවට කවුරුන් විසින් හෝ දී ඇති දේශපාලන ලනුවක් නාමල් විසින් මේ වනවිට ගිලදමා ඇති බව පෙනීයෑම නිසාය. නමුත් එය පොහොට්ටුවට භූමරංගයක් බවට පත්ව ඇත්තේ දවස් දෙකක් යනවිට එම සිදුවීම් අතේ පත්තුවී පොහොට්ටුවටත් නාමල්ටත් දේශපාලන වශයෙන් පච වීමට සිදුව තිබීම නිසාය.Sri Lanka Latest News
මෙහි පළමු සිදුවීම සිදුවූයේ මීට සති දෙකකට ඉහතදීය. එහිදී පානදුරේ පැවැති පොහොට්ටුවේ රැස්වීමකදී විශාල ෂෝ එකක් දමමින් මහ මැතිවරණයට සජබයෙන් ඉදිරිපත් වී ඡන්ද 27000ක් ලබාගත් අයකු යැයි කියමින් එක්තරා පුද්ගලයකු පොහොට්ටු වේදිකාවට නැංවීමට කටයුතු කොට තිබිණි. නමුත් අන්තිමේදී අනාවරණ වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයට සිය මව සමග ඉදිරිපත්ව ඡන්ද 23ක් පමණක් ලබාගත් අයකු මෙසේ පානදුර පොහොට්ටු වේදිකාවට නග්ගාගෙන ඇතැයි කියාය. අවසානයේදී එම සජබ සාමාජිකයා පමණක් නොව පොහොට්ටුවේ ප්‍රධානීන්ද එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා පොහොට්ටුවට විශාල දේශපාලන අවාසියක් සිදුවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් එසේ තිබියදී පසුගිය සතියේ නැවත වතාවක් එවැනිම ආකාරයේ ලොකු ෂෝ එකක් දැමීමට පොහොට්ටුව කටයුතු කර තිබිණි. එහිදී බළන්ගොඩ සජබ ආසන සංවිධායකයා යැයි කියමින් එක්තරා තරුණයකු පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයට ගෙන්වා නාමල් අතින්ම සංවිධායක ධුරයක් ලබාදීමට පිරිසක් කටයුතු කොට තිබිණි. නමුත් අවසානයේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම පුද්ගලයා බළන්ගොඩ සජබ ආසන සංවිධායකවරයා නොවන බවත්, අවම වශයෙන් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමට හෝ නොහැකිව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් ඉවත් කළ පුද්ගලයකු බවත්ය. අවසානයේ තමන්ට වෙනම වාහනයක් ගෙන රත්නපුරට ගොස් අදාළ නාමයෝජනා අලුතෙන් සකස් කිරීමට සිදුවූ බවද මද්දුමබණ්ඩාර එහිදී සඳහන් කර සිටියේය. පොහොට්ටුව මහා ලොකු ෂෝ එකක් දමා පසුගිය සතියේ පක්ෂ කාර්යාලයේදී ආසන සංවිධායකකමක් දී තිබුණේ එවැනි පුද්ගලයකුටය.
මෙහිදී පොහොට්ටුව තේරුම් ගෙන නොමැති කාරණය වන්නේ 50%ක් තිබූ පොහොට්ටුවේ ඡන්ද ගොඩෙන් 3% සිටි මාලිමාව ආණ්ඩු බලය අත්පත් කරගැනීම සඳහා විශාල ඡන්ද ප්‍රමාණයක් කඩමින් පොහොට්ටුව 2.5% දක්වා ඇදදැමූ ආකාරයය. ඒ අනුව ඔවුන්ට අහිමි වූ ඡන්ද යළි ලබාගත යුතුව ඇත්තේ මාලිමාවෙන් මිස සජබයෙන් නොවේ.
අනෙක් අතට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් කෙදිනකවත් මෙවැනි ආකාරයේ අතේ පත්තුවෙන දේශපාලන ගේම් ගැසුවේ නැත. බැසිල් පොහොට්ටුව නිර්මාණය කොට වසර 3ක් යෑමට මත්තෙන් ජාතික මැතිවරණ තුනක් දිනා පොහොට්ටුව ජයග්‍රාහී පක්ෂයට බවට පත්කළේ තුන්කල් බලා ගැසූ දේශපාලන ගේම්වලින්ය. නමුත් මේ වනවිට බැසිල් දේශපාලනයෙන් ඉවත්ව සිටින නිසා පොහොට්ටුව සිල්ලර දේශපාලන ගේම්වලට යොමුවී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.









