පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට පියවර ගෙන තිබිණි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු එජාප මැති ඇමැතිවරුන් මහත් ඉහළින් අදහස් දක්වමින් කියා සිටියේ රනිල්ට දැන් අලුත් හදවතක් බද්ධ කොට ඇති බවත්, ඒ නිසා රනිල් අවුරුදු 10කින් තරුණ වී ඇති බවත්, දැන් රනිල්ට ජනාධිපති ධුරය යළිත් ගත හැකි බවත්ය. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව නම් රනිල්ට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව සති කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ඉන් අනතුරුව සිංගප්පූරුවේ හෝටලයක තවත් දින ගණනාවක් විවේක සුවයෙන් ගතකිරීමට කටයුතු කොට තිබිණි. නමුත් එහිදී විෂබීජයක් ශරීරයට ඇතුළු වීම හේතුවෙන් නැවත වතාවක් රනිල් රෝහල්ගත කිරීමට පියවර ගැනිණ. ඒ අනුව යළිත් රනිල්ව ශල්‍යකර්මයකට භාජනය කළ සිංගප්පූරු වෛද්‍යවරුන් දැඩිව උපදෙස් ලබාදී තිබුණේ ඔහුගේ ඉදිරි ජීවිත කාලය ඉතාමත් ප්‍රවේශමෙන් යුතුව ගතකරන ලෙසටය. එමෙන්ම කෑම බීමෙන් දැඩිව ප්‍රවේශම් වන ලෙසටත් උපදෙස් දී තිබූ වෛද්‍යවරුන්, නිල නොවන ආකාරයට රනිල්ගේ වයසත් සමග වුවමනාවට වඩා දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලබාදී තිබූ බවක්ද ආරංචිය. දැනටමත් රනිල්ගේ වයස අවුරුදු 77ක් වන නිසා යම්කිසි හදිසි රෝගී තත්ත්වයක් හෝ අපහසුතාවක් මතුවුවහොත් එය සුවවීමේ කාලය දීර්ඝ විය හැකි බවද මෙහිදී වෛද්‍යවරුන් රනිල්ට දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව රනිල් ලංකාවට පැමිණියද පසුගිය මාසයක කාලය පුරාම එළිපහළියට පැමිණ නිල රාජකාරිවල යෙදුණේ නැත. අත්‍යාවශ්‍යම කාරණාවකට පමණක් යම් යම් පුද්ගලයන්ට ඇමතුම් ලබාදීම හෝ ඔවුන් සිය නිවෙසට කැඳවා සාකච්ඡා කිරීම ඒ මාසයක කාලයේදී රනිල් සිදුකළ දෑය. එමෙන්ම වෛද්‍ය උපදෙස්වලට අනුව රනිල්ට අදටත් බර ආහාර හෝ බත් කෑමට නොහැක. ඒ අනුව රනිල් සිය ආහාර වේල් ලෙස ගන්නේ එළවළු, පලතුරු සහ සුප් වර්ග පමණි. රනිල්ගේ ඉදිරි ජීවිත කාලය කෙසේ වනු ඇද්ද යන්න තීරණය වන්නේ මේ ආකාරයට රනිල් ගතකරන ජීවන රටාව අනුවය.Sri Lanka Latest News
කෙසේ වෙතත් මේ සියල්ල රටට සඟවාලමින් රනිල්ගේ සහෝදරයකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමත් සමග බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය හරහා දියත් කිරීමට පියවර ගෙන තිබිණි. රනිල්ගේ ඡායාරූපද යොදාගනිමින් දියත් කළ එම මාධ්‍ය මෙහෙයුමෙන් කියැවුණේ රනිල් මේ වනවිට සම්පූර්ණ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බවත්, රටේ ජනාධිපති ධුරය භාරගැනීමට පවා රනිල් සූදානම් බවත්ය. රනිල්ගේ සොහොයුරා මේ ආකාරයට රනිල් පුම්බමින් බොරු සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කළද, මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ රනිල් සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක් හෙළිදරව් කිරීමට අප සූදානම්ය. ඒ අනුව නැවත වතාවක් ලබන මාසයේදී රනිල් සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. එහිදී සිදුකෙරෙන සෞඛ්‍ය පරීක්ෂණවලින් අනතුරුව රනිල් තවදුරටත් කළ යුතු දේ සහ නොකළ යුතු දේ වෛද්‍යවරුන් විසින් දැනුම් දීමට නියමිතය. මෙම තොරතුර අප මීට පෙරාතුව දැනගෙන සිටියත් සදාචාරාත්මක හේතු මත අප එය ඒ මොහොතේ හෙළිදරව් කිරීමට කටයුතු කළේ නැත. නමුත් රනිල්ගේ කලඑළි බැසීමත් සමග ඔහුගේ සහෝදරයා ඇතුළු නිවුස් ප්ලාන්ට් කල්ලිය විසින් බොරු සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට තිබීම හේතුවෙන් මෙම තොරතුර අනාවරණ කිරීමට අපට සිදුව තිබේ. මන්ද යත් මෙම තීරය කියවන සජබ පාක්ෂිකයන් පමණක් නොව, එජාප පාක්ෂිකයන්ද ඇත්ත තත්ත්වය හරිහැටි වටහාගෙන තිබිය යුතු වීම ඊට හේතුවය.
එමෙන්ම මෙවර අප තවත් හෙළිදරව්වක් කිරීමටද සූදානම්ය. පසුගිය බ්‍රහස්පතින්දා රනිල් පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනීසිටිමින් කලඑළි බැස්සේද නිකන්ම ආවාට ගියා නොව, ඔහුගේ ජ්‍යොතිෂවේදියාගෙන් ලැබුණු නක්ෂත්‍ර උපදෙස්වලට අනුවය. ඉකුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු සහ හෘදය සැත්කමෙන් පසු ඔහුගේ පෞද්ගලික ජ්‍යොතිෂවේදියා රනිල්ට දැනුම් දී තිබුණේ මේ වසරේ ජූලි මාසයේදී ගුරු කටකයට පිවිසීමෙන් පසු රනිල්ට නැවතත් හොඳ දේශපාලන කලදසාවක් උදාවීමට ඉඩ ඇති බවකි. ඒ අනුව රනිල් බ්‍රහස්පතින්දා දින පළමු වතාවට කලඑළි බැස්සේ මේ ජ්‍යොතිෂවේදියා ලබාදුන් උපදෙසකට අනුවය. එමෙන්ම ඊට දින 3කට පෙර රනිල් මල් පාරේ පිහිටි කාර්යාලයට පළමු වතාවට පැමිණ විනාඩි 15ක් පමණ ගත කර තිබුණේද එම ජ්‍යොතිෂවේදියා විසින්ම ලබාදුන් නැකතකට අනුවය.
කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති රැස්වීම ආරම්භ වීමට පෙරාතුව සියලු කෘත්‍යාධිකාර මණ්ඩල සාමාජිකයන්ට දැඩි නීතිරීති මාලාවක් නිකුත් කිරීමට පක්ෂයේ ප්‍රධානීන් පියවර ගෙන තිබිණි. ඉන් පළමු නීතිය වී තිබුණේ සියලු දෙනාම මුව ආවරණ පැලඳගෙන සිටිය යුතු බවය. එමෙන්ම කිසිදු සාමාජිකයකු රනිල්ට සමීප නොවී සිටිය යුතු බවත්, හැකිතාක් රනිල්ට දුරස්ථව සිටිය යුතු බවත් දැනුම් දී තිබිණි. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පුරාම කිසිදු එජාප නියෝජිතයකු රනිල් සමග සමීපව කතාබස් කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
එමෙන්ම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තවත් විහිළුසහගත සිදුවීම් රැසක් සිදුවිය. ඉන් එකක් වූයේ රනිල් සම්බන්ධයෙන් රාජිත කළ කරුණු දැක්වීමය. මීට පෙරාතුව වරෙක රාජිත මාධ්‍ය හමුවේ කියා සිටියේ රනිල් යළි පාර්ලිමේන්තු නොඑන බවකි. ඉන් අනතුරුව එල්ල වූ පීඩනය නිසාදෝ රාජිත නැවත වතාවක් කියා සිටියේ රනිල් පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථාවක් ඇති බවකි. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රාජිත කියා සිටියේ රනිල්ට දැන් ජනාධිපතිවරණයට තරග කිරීමට හැකියාව ඇතැයි කියාය. මීට අමතරව හරීන් ප්‍රනාන්දුද මාධ්‍ය හමුවේදී කියා සිටියේ රනිල් අවුරුදු 10කින් තරුණ වී ඇති බවත්, රනිල්ගේ කොන්ද ශක්තිමත් වී ඇති බවත්, නැවතත් රනිල්ට රටේ අනාගතය භාරගත හැකි බවත්ය.
නමුත් රනිල් ගැන කතාකරන මේ සියලු දෙනාම අමතක කරන කාරණාවක් තිබේ. ඒ, 2029 ජනාධිපතිවරණය පවත්වන විට රනිල්ට අවුරුදු 80ක්ද ඉක්ම ගොස් ඇති බවය. එමෙන්ම රනිල් ජනාධිපතිවරණ 3කටම ඉදිරිපත් වී ඒ කිසිවකින් ජයග්‍රහණය කර නොමැති බවත්ය. රනිල් මුලින්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 1999 චන්ද්‍රිකාත් සමගය. ඉන් චන්ද්‍රිකා ජයග්‍රහණය කළාය. දෙවැනි වර රනිල් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 2005දී මහින්ද රාජපක්ෂ සමගය. ඉන් මහින්ද ජයග්‍රහණය කළේය. මේ අවස්ථා දෙකේදීම රනිල් තරගයට ආවේ විපක්ෂ නායකවරයා ලෙසය. නමුත් තුන්වැනි අවස්ථාවේදී රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ ජනාධිපතිවරයා වශයෙන්ය. නමුත් ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ජනාධිපතිවරයකු තුන්වැනි තැනට ඇදවැටෙමින් නින්දාසහගත දරුණු පරාජයකට අනුර කුමාර දිසානායක මහතා හමුවේ මුහුණ දීමට එහිදී රනිල්ට සිදුවිය. එමෙන්ම 2029දී රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ විපක්ෂ නායකවරයා ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස හෝ නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් හෝ නොමැතිවය. එමෙන්ම ඒ වනවිට රනිල්ගේ වයස අවුරුදු 80ද ඉක්මවා ගොස්ය. එජාපය මේ වනවිට සූදානම් වන්නේ 2029 එවැනි ආකාරයේ දේශපාලන නාඩගමක් පෙන්නන්නටය.
මෙම වාතාවරණය දැන දැන එජාප එවැන්නක් සිදුකරන්නේ ඇයි? ඊට හේතුව වෙන මොකක්වත් නොව සජබය සහ එජාපය අතර ඇතිවීමට නියමිත සමගිය කඩාකප්පල් කිරීම සඳහා රනිල්, සාගල, වජිර ඇතුළු කිහිප දෙනෙකුට ඇති වුවමනාවය. නමුත් කනගාටුවට කරුණ වන්නේ සජබයේ සිටින පලපුරුදු යැයි කියන ඇතැම් ජ්‍යෙෂ්ඨ ඔළමොට්ටලයන්ට පවා රනිල් ගහන මේ ගේම නොතේරීමය. තමන්ගේ පක්ෂ නායකයා මාකට් කරගෙන පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔවුන්ට නොතේරීමය. රනිල් කරන දේශපාලන කුමන්ත්‍රණ හඳුනාගැනීමට නොහැකි වීමය. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප සූදානම්ය.









