ජාත්‍යන්තර දේශපාලන අරගලයට ශ්‍රී ලංකාව කොයි ආකාරයකින් මැදිහත් වේ දැයි යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ වන විට මතුව ඇත. එම කතාබහ උණුසුම් වී ඇත්තේ ඉන්දියාව සහ චීනය තරගයට මෙන් ශ්‍රී ලංකාව තුළ තම බලය වැඩිදියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීමත් සමඟය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංගේ මහතා දින තුනක කාලයක් උතුරු කරයේ සංචාරයක නිරත වූයේ මෙවැනි පසුබිමකය. ඒ හේතුවෙන් චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවට පත්ව එන ඉන්දීය මහකොමසාරිස්වරයෙකු උතුරුකරයේ සංචාරයක නිරත වීම සාමාන්‍ය දෙයක් වුවද, චීන තානාපතිවරයෙකු උතුරේ සංචාරයක නිරත වීම ඉතාම අහඹු සිදුවීමකි. එමෙන්ම මෙය චීන තානාපති කී. සෙන්හොංගේ මහතාගේ පළමු උතුරු සංචාරය වීමද විශේෂත්වයකි.
උතුරු සංචාරය අරඹමින් චීන තානාපතිවරයා පළමුව ගමන් කළේ යාපනයේ මහජන පුස්තකාලය වෙතටය. එහිදී යාපනය පුස්තකාලය සඳහා ලැප්ටොප් සහ පොත් පරිත්‍යාග කිරීමටද තානාපතිවරයා කටයුතු කළේය. ඉන් පසු තානාපතිවරයා ගමන් කළේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර ලෙස සැලකෙන පේදුරුතුඩුව ප්‍රදේශය වෙතටය.
එහිදී ඡායාරූප කිහිපයකටද මුහුණ දුන් තානාපතිවරයා ඇතුළු කණ්ඩායම එහි සිට ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීම් කිහිපයක්ද සිදු කර ඇත. එමෙන්ම පේදුරු තුඩුවේ සිට ඉන්දියාවට ඇති දුර ප්‍රමාණය පිළිබඳවද විමසීමට චීන තානාපතිවරයා පියවර ගෙන තිබීම කැපී පෙනෙන කරුණකි.
සංචාරයේ දෙවැනි දිනය අරඹමින් තානාපතිවරයා ගමන් කළේ චීන සමාගමක් යටතේ ක්‍රියාත්මක අරියාලේ කූඩැල්ලන් අභිජනන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහාය. ඒ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද එක් වී තිබිණි.
“ලංකාවත් චීනයත් අපි දෙගොල්ලොටම එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරන්න පුළුවන්. මම හිතනවා ඒකට මේක ආරම්භයක් කියලා. ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා”
එහිදී චීන තානාපතිවරයා අදහස් දැක්වූයේ එසේය. එමෙන්ම එහිදී උතුරේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න තොගයක් පරිත්‍යාග කිරීමටද තානාපතිවරයා කටයුතු කළ අතර උතුරේ දිස්ත්‍රික්ක පහ සඳහා ජංගම ජන පිරිපහදු පහක් ලබා දීමටද පියවර ගත්තේය. අනතුරුව යාපනයේ සුප්‍රසිද්ධ නල්ලූර් කෝවිල වෙත ගමන් කළ තානාපතිවරයා සාම්ප්‍රදායට ගරු කරමින් උඩුකය නිරුවත්ව, පලතුරු අඩංගු පූජා වට්ටියක්ද රැගෙන යමින් කෝවිල වන්දනාමාන කිරීමටද කටයුතු කළේය.
යාපනය සංචාරය නිම කළ තානාපතිවරයා යළි කොළඹට පැමිණියේ මන්නාරම හරහා වීමද විශේෂත්වයකි. එහිදී මතභේදයට තුඩු දී ඇති ආදම්ගේ පාලම නිරීක්ෂණය සඳහා චීන තානාපතිවරයා කටයුතු කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කාරණයක් විය.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇති ආසන්නතම භූමි භාගය වනුයේ මෙම ආදම්ගේ පාලම නැමැති වැලි පරයය. තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිටා ඇති මේ කලාපය තුළ කුඩා වැලිපර 16ක් පිහිටා ඇත. ඒ අතරින් 8ක අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. නාවුක හමුදා යාත්‍රාවක නැඟී මෙම වැලිපර නිරීක්ෂණය කළ චීන තානාපතිවරයා වැලිපර කිහිපයකට ගොඩ බැසීමටද කටයුතු කළේය. එම සංචාරය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ තානාපතිවරයා සඳහන් කළේ “මෙය අවසානයක් මෙන්ම ආරම්භයක්” ද යනුවෙනි.
පසුගිය කාලය පුරාම චීන තානාපති කාර්යාලය කටයුතු කළේ දේශපාලනික ගැටුම් ඇති කරන ආකාරයෙන් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. අර්බුදයකට ලක්ව ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශ සිදු කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළ අතර මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමටද කටයුතු කළේය. එමෙන්ම ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය හරහා මෙරට මාධ්‍ය වෙත සෘජු පිළිතුරු ලබා දීමටද චීන තානාපති කාර්යාලය කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය තවත් වැදගත් වන්නේ උතුරේ දූපත් තුනක සිදු කිරීමට ගිය විදුලි ව්‍යාපෘති තුනක් නැවැත්වීමට සිදු වූ බව චීන තානාපති කාර්යාලය විසින්ම ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම සංචාරය සිදු වීමය.
ඩෙල්ෆ්, නයනතිව් සහ අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට ගිය විදුලි ව්‍යාපෘති තුනක් අත්හිටුවූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබූ අතර ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුණේ තෙවැනි පාර්ශ්වයක ආරක්ෂක සැලකිල්ල ඒ සඳහා හේතු වූ බවය. චීන තානාපති කාර්යාලය එම නිවේදනය නිකුත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියදී වීමද විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් අනුමැතිය චීන සමාගමකට ලබා දෙනු ලැබූවේ මෙම වසරේ මුල් භාගයේදීය. එම ටෙන්ඩරය චීන සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් දැක්වූ බවද ඒ දිනවල වාර්තා විය. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය අත්හල බව පවසමින් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කර තිබුණේ සූර්ය බලාගාර 12ක් ඉදිකිරීම සඳහා මාලදිවයින් රජය සමඟ ගිවිසුම් ගත වූ බවය.
චීන තානාපතිවරයා උතුරේ සංචාරයේ නිරතව සිටියදී මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා හමුවීමට කටයුතු කිරීමද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කාරණයක් විය. දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. එමෙන්ම පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී ඇති වූ එකඟතාවයන්ට අදාළ කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා වූ බවද විදේශ අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කර තිබිණි.
චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමු වූයේ මේ කරුණු කාරණා සියල්ල හේතුවෙනි. එක් පසෙකින් දැන ගැනීමට ලැබෙන්නේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආකාරයෙන් ණය ලබා දීමට චීනය කටයුතු නොකරන බවය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව වෙත වඩාත් නැඹුරු වෙමින් පවතින බවද විශේෂඥයන්ගේ අදහස වී ඇත.
චීන තානාපතිවරයා ලංකාවේ කොහෝ කොතැනක ගියත් එය ශ්‍රී ලංකා රජයට නම් එතරම් විශේෂත්වයක් නොවනු ඇත. ඒ මේ මොහොතේ ඊට එරෙහිව ගත හැකි කිසිදු පියවරක් රජය සතු නොවන නිසාය. නමුත් තම රට ආසන්නයටම පැමිණ චීන තානාපතිවරයා මේ ආකාරයෙන් රැඟුම් දැක්වීම ඉන්දියාව කොයි ආකාරයකින් දරා ගනීවිදැයි යන්න බරපතළ ගැටලුවක් වී ඇත. එක් අතකින් චීන තානාපතිවරයා උත්සාහ කරන්නේ ඉන්දියාව ඇවිස්සවීමට දැයි යන සැකයද බොහෝ දෙනකු තුළ ඇත. ඒ කොයි දේ වුවද, මේ මොහොතේ ඒ දෙස බලා සිටිනු හැර වෙන කළ හැකි දෙයක් අපේ රටට ඇති බවක් නම් අපට පෙනෙන්නේ නැත.
චන්දන පොන්නම්පෙරුම