බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන් ප්‍රකට රෙදිපිළි අලෙවි සලේ සිදුවීම සම්බන්ධයෙන් සහ එතැන මොකක්ද සිද්ධ වුණේ කියන එක ගැන දැන් සියලු දෙනාම දන්නවා. ඒ නිසා අපි තවදුරටත් අදාළ ආයතනයේ නම ගම නොකියා ඉඳීමෙන් ලැබෙන සදාචාරාත්මක වාසියක් නෑ. නමුත් ඒ ආයතනයේ නම සඳහන් කිරීම නිසා යම් හෙයකින් ඔවුන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවෙනවා නම් අපි මුලින්ම ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම කියවන ඔබෙනුත් අපි ඉල්ලා සිටිනවා හවුස් ඔෆ් ෆැෂන් රෙදිපිලි අලෙවිසල සම්බන්ධයෙන් 100%ක් මේ මතයේ ඔබ සිටිය යුතු නෑ කියලා. ඔවුන් ඉතා සුහදශීලී කාර්යමණ්ඩලයක් ලෙස කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. ඒ නිසා මේ කාරණාවේදී ඔවුන් පිළිබඳ ඇතිකරගන්නා හිත් තැවුල වැඩිදුර රැගෙන යා යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඔබ.
මේ සිදුවීමේ අලුත්ම තත්ත්වය ලෙස වාර්තා වෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවය කරන ආරක්ෂකයන් දෙදෙනකුට ව්‍යාපාරිකයකු විසින් යම් චෝදනාවක් කළ බවයි. එම චෝදනාව මොන ආකාරයෙන් සිද්ධ වුණාද, ඔහු බැණවැදුණාද, අමනාප වන ආකාරයේ යමක් කිව්වාද යන්න අපි දන්නේ නෑ. නමුත් යම් කිසිවක් ඔහු කියා ඇති බව අපට වාර්තා වෙනවා. මෙම සිදුවීමත් එක්ක ඇතිවූ යම් උරණවීමක් මෙසේ දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වූ බව තමයි වාර්තා වෙන්නේ. මෙම ගැටුමේදී හවුස් ඔෆ් ෆැෂන්හි සේවයේ නියුතු කිහිප දෙනෙක්ම එකතු වෙලා ඔහුට පහර දෙන ආකාරය අපි දකිනවා. ඔහුත් මේ අයට පහර දීමට පැමිණෙන ආකාරය අපි දකිනවා. මේ සිදුවීමේදී දැන් චෝදනාව එල්ල වෙලා තියෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවකයන්ට. සේවකයන් ලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ රාජකාරිය කරන අය. ඔවුන්ට කිසිසේත්ම අයිතියක් නැහැ තමන්ගේ පාරිභෝගිකයාට පහර දෙන්න. පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කිරීමයි ඔවුන්ගේ වගකීම වන්නේ. මෙම පාරිභෝගිකයාගේ හැසිරීම මොන වගේද කියන්න අපි දන්නේ නැහැ. පාරිභෝගිකයෙක්ටත් ආයතනික වගකීමක් නැති වුණත් ඔවුන්ට මානුෂීය වගකීමක් තිබෙනවා මේ ආයතනයේ සේවකයන්ට මනුෂ්‍යයන් විදියට සලකන්නට. ඔවුන් එසේ කළාද නැද්ද යන්න අපි දන්නේ නෑ. නමුත් අපි බොහෝ තැන්වලදී දකින කාරණයක් තමයි විශාල ආයතනවලට උජාරුවට යන ලොකු ලොකු මිනිස්සු එහි ඉන්න කුඩාම සේවකයන්ට දරුණු ලෙස තර්ජනය කරන හැටි, චෝදනා කරන හැටි, ඔවුන් අපහසුතාවට පත්කරන හැටි. මේ සේවකයන් මෙහි රැකියාවේ නිරතව ඉන්නේ තමන්ට ජීවත් වීම සඳහා මුදලක් උපයා ගැනීම සඳහායි. නමුත් ඔවුන් මනුෂ්‍යයන් වග අප සියලු දෙනාම සිහි තබාගත යුතු කාරණයක් වනවා. බොහෝ විට බොහෝ දෙනකුට එවැනි කාරණා අමතක වීම කනගාටුදායක කරුණක්. අප දැක තිබෙනවා ඇතැම් අවස්ථාවලදී මේ ආකාරයෙන් සේවකයන් ඉතා පහත් තත්ත්වයට දමමින් ඇතැම් අය කටයුතු කරන ආකාරය. නමුත් මෙහිදී එවැන්නක් සිදුවුණාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම බොහෝ ආයතන අපි දකිනවා ඒ ආයතනවල සේවකයන් තමන්ගේ පාරිභෝගිකයාව තුට්ටු දෙකට දාලා, ඔහුව අපහසුතාවට පත්කරලා, ඔහුට උදව් නොකර කටයුතු කරන ආකාරයන්. මේ සිද්ධිය සිදුවුණේ කොහොමද කියන එක ගැන අපට තවමත් පූර්ව නිගමනයකට නිශ්චය කිරීමකට පැමිණීමට හැකියාවක් නෑ. නමුත් අපට එක දෙයක් නම් පෙනෙන්න තිබෙනවා. පහුගිය කාලයේ නෝ ලිමිට්, ෆැෂන් බග් වගේ රෙදිපිලි අලෙවිසල්වලට විශාල වශයෙන් එල්ල වුණා විවිධ චෝදනා. මෙවැනි සිදුවීමක් ඔවුන් අතින් සිදුවුණා නම් එයට ජාතිවාදය ගාවා ගැනීමට සමහර දේශපාලකයෝ බලාගෙන ඉන්නවා. ඔවුන් ජාතිවාදය අවුලලා, රෙදිපිලි අලෙවි සල්, ඇතැම් ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩාවැට්ටවීමට කටයුතු කළ ආකාරය අපි දැක්කා. නමුත් එය සාධාරණ වැඩක් කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. මොකද රටක ජාතිය ආගම කුලය මත පදනම් වෙලා ව්‍යාපාර පවත්වාගෙන යනවා නම් එය ඉතා බරපතළ ප්‍රශ්නයක් බවට පත්වේවි. අපි දන්න තරමින් විය යුත්තේ එය නොවෙයි. ව්‍යාපාරිකයා කවුරු වුණත්, ව්‍යාපාරිකයෙක්. සේවකයා කවුරු වුණත් සේවකයෙක්. පාරිභෝගිකයා කවුරු වුණත් පාරිභෝගිකයෙක්. මේ සියල්ල ගැන සැලකිලිමත්ව, මේ සියල්ල ගැන උනන්දුවෙන්, මේ සියල්ල ගැන කැමැත්තෙන් අප කටයුතු කළ බවයි අපේ විශ්වාසය. එසේ නොවුණහොත් බොහෝ විට ගැටුම් උත්සන්න වෙලා ඒවා නරක අතට හැරෙන්න ඉඩ තිබෙනවා. මේ ව්‍යාපාරය සම්බන්ධයෙනුත් සිදුවුණේ එවැන්නක්. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් ඉන්නවා හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවයේ නියුතුව සිටි සේවක මහතුන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා පුද්ගලයෙක් පැමිණ තමන්ට පහරදුන් බවට. ඔහු නීතිඥයකු මාර්ගයෙන් පැමිණ මේ වන විට පොලිසියට භාරවී තිබෙනවා. නීතිය පසිඳලීමේ කාර්යය ඒ ආකාරයෙන් සිද්ධ වෙමින් තිබෙනවා.
රටක ව්‍යාපාර තමයි ඒ රටේ ආර්ථික ශක්තිය වන්නේ. විශේෂයෙන් මෙවැනි අලෙවිසල්වලට වැඩිපුර පැමිණෙන්නේ විදේශිකයන්. ඒ ව්‍යාපාරවල ප්‍රධාන ඉලක්ය වන්නේ විදේශිකයන්. ඒ ආකාරයට විදේශිකයන් ඉලක්ක කරමින් පවත්වාගෙන යන ව්‍යාපාරවල සේවකයන් කටයුතු කරන්නේ මෙවැනි නොහික්මුණු ආකාරයට නම්, මේ ව්‍යාපාර කඩාබිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම මෙවැනි කාරණා නිසා අපේ සංචාරක කර්මාන්තයටත් එයින් හානියක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම එවැනි ස්ථානවලට රෙදිපිලි මිලදී ගන්න යන පාරිභෝගිකයන්ටත් වගකීමක් තිබෙනවා ඔවුන් මේ නැතිකර දමන්නේ එම ව්‍යාපාරික කීර්ති නාමය පමණක් නම් ඔවුන් සිතා සිටිනවා නම් එය වැරැදියි. එයින් නැති වෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ කීර්ති නාමයටත් වඩා, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කීර්ති නාමයයි. ඒකට හේතුව වන්නේ ඔවුන් නිතර යනෙන අලෙවි සලක මෙවැනි ගැටුමක් දුරදිග යෑම, පොලු අරගෙන පහර දෙන ආකාරය සමාජ ජාලගත වීම යන මේ සියල්ලත් එක්ක බොහෝ පුද්ගලයන් පූර්ව නිගමනයකට පැමිණෙනවා ශ්‍රී ලාංකිකයන් දැන් සිටින්නේ මේ තත්ත්වයේ කියලා. ඒකට හේතුව ඉතාම ඉහළ ආගන්තුක සත්කාරයක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය නිසා රිදිලා, ශ්‍රී ලාංකිකයන් විශාල පීඩාවකට පත්වෙලා ඉන්න වග ඔවුන් සිතීම. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයකදී රටකට මුහුණ දෙන්න සිද්ධ වෙන භයානක අර්බුදයක් ගැන අපි ඔබට ඉඟි පළකරන්නේ. අපි රටක් විදියට ඉදිරියට යෑමට නම් මෙවැනි ව්‍යාපාරික ගැටුම්වලදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම මේක බැරි වෙලාවත් වෙන කඩේක වුණා නම් ඒක කොහොම ජාතිවාදයකට ඈඳා ගනීද කියන එක ගැනත් අපි කතා කළ යුතුයි. මක්නිසාද යත් හෙට එවැන්නක් සිදුවිය හැකි නිසා, ජාතිවාදය අපේ රටේ දේශපාලකයන්ගේ ඉනිමඟක් නිසා, ඔවුන්ට එගොඩ වෙන්නට තනාගත් පාලමක් නිසා එවැනි පාලමක් හෙට කවුරුන් හෝ කෙනෙක් රැගෙන ඇවිල්ලා එගොඩ මෙගොඩ යාවෙන ඔවුන්ගේ ස්වර්ග රාජ්‍යයේ සිහින දොරටුව බවට පත්කර ගන්නට බැරිකමක් නැති නිසයි. කුමක් වුවත් හෙට එතරම් සොඳුරු නැති බව අපි දන්නා කාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා හවුස් ඔෆ් ෆැෂන් බිඳ නොවැටෙන්නටත්, පාරිභෝගික විශ්වාසය බිඳ නොවැටෙන්නටත්, සංචාරක කර්මාන්තය බිඳ නොවැටෙන්නටත් මෙය හේතු වේවි කියලා.
ජීවන පහන් තිළිණ