සාකච්ඡාව ලෑස්ති කළේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්!
IMF කණ්ඩායමෙන් අමෙරිකාවට ගිය පැමිණිල්ල!
පොහොට්ටු මන්ත්‍රීවරුන් රනිල්ට අඳී!
කට වරද්දා ගත් හැටි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කියුබා සහ ඇමෙරිකානු සංචාරවලදී පැවැති රැස්වීම්වල ඒ මහතා සිදුකරන ලද ප්‍රකාශ හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ ආකාරය අප පසුගිය සතියේදී මේ තීරය ඔස්සේ පළමු වරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ කියුබානු සංචාරයේදී ජනාධිපතිවරයා චීන හිතැති ප්‍රකාශයක් සිදුකිරීම හරහාත්, අමෙරිකානු සංචාරයේදී ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ටේ්‍රලියාව ඒකාබද්ධව සිදුකරන ‘අවුකුස්’ ආරක්ෂක මෙහෙයුම අත්වැරැද්දක් බවට කළ ප්‍රකාශය හරහාත් මෙම ආන්දෝලනය හටගත් බවකි. ඇමෙරිකාවේ සිටියදීම ඇමෙරිකාවට එරෙහිව කළ මෙම ප්‍රකාශය හේතුවෙන් ඒ මොහොතේම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ජාත්‍යන්තර වශයෙන් දැඩි අප්‍රසාදය එල්ල වූ ආකාරයද අපි එහිදී වාර්තා කළෙමු.Sri Lanka Latest News
ඩැමේජ් කන්ට්‍රෝල් කතාවක්!
ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්‘ තීරය ඔස්සේ ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරය තුළ සිදුවූ තවත් සිදුවීමක් වාර්තා කිරීමට සූදානම්ය. ඒ ජනාධිපතිවරයාගේ ‘අවුකුස්’ ප්‍රකාශය මුල්කරගෙන සිදුවූ තවත් සිදුවීමකි. එහිදී එල්ල වුණු දැඩි ජාත්‍යන්තර අප්‍රසාදය මුල්කරගෙන බොහෝ දෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඇතිවුණු දේශපාලන ආන්දෝලනය සමනය කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා සිදුකරන කතාවේදී ඇමෙරිකාව වර්ණනා කරමින් යම් කතාවක් කරන ලෙසටය. අවුකුස් කතාවෙන් යම් කලබලයක් මතුව ඇති බව වටහාගෙන සිටි ජනාධිපතිවරයාද මහා මණ්ඩලය අමතා කළ කතාවේදී ඇමෙරිකාව වර්ණනා කරමින් කතා කළද ජාත්‍යන්තර මාධ්‍ය හෝ මෙරට මාධ්‍ය ඊට වැඩි අවධානයක් යොමුකළ බවක් දැකගන්නට තිබුණේ නැත.
ජර්මනිය තෝරගත්තේ ඇයි?
මේ අතර ජනාධිපතිවරයා ජර්මන් සංචාරය සදඟා සිය කාලවේලාව වෙන්කරගත්තේ ඇමෙරිකාවේ සිටියදීමය. ජර්මන් සංචාරය පිළිබඳවද අප පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඊට ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් කිසිවකුත් සහභාගි වීමට සැලසුම් කොට නොතිබූ බවත්, එහි ජනාධිපතිවරයාට අමතරව සහභාගි වී සිටි එකම එක ජනාධිපතිවරයා වූයේ කසකස්තාන ජනාධිපතිවරයා පමණක් බවත්ය. අනෙක් සියලු දෙනාම මැති ඇමැති මට්ටමේ සහ ව්‍යාපාරික පැලැන්තිය නියෝජනය කරන්නන් බව අපි කියා සිටියෙමු. එසේ තිබියදීත් ජනාධිපතිවරයා ජර්මන් සංචාරයට දින යොදාගත්තේ එහිදී ජර්මානු චාන්සලර්වරයා හමුවීමටද අවස්ථාවක් ලැබෙන නිසාත්, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේ වැඩපිළිවෙළේදී පැරිස් සමාජය තුළ ජර්මනිය දැඩි බලපෑම්සහගත රටක් වීම නිසාත්ය. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී මුලින් පැරිස් සමජය ධනාත්මක ස්ථාවරයක සිටියද මේ වනවිට ඊට අදාළ වැඩසටහන ප්‍රමාද කරමින් ඔවුන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තවමත් ඇත්තේ මන්දගාමී තත්ත්වයකය.
හිටියේ දවස් 2යි!
ඒ අනුව ඇමෙරිකානු සංචාරය නිමාකොට සති අන්තයේ ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ලංකාවේ රැඳී සිටියේ දෙදිනක් පමණි. ඒ වන විට දෙවැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළ නියෝජිතයන් ලංකාවට පැමිණ සිටීම හේතුවෙන් ජනාධිපතිවරයා හා ඔවුන් අතර සාකච්ඡා සිදුවුණේද ඉරිදා දිනයේදීය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය පළමු සමාලෝචනය සිදුකරමින් අනාවරණ කරගත් තොරතුරු ජනාධිපතිවරයා හමුවේ සඳහන් කොට ඇති බවය. විශේෂයෙන් රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා නොගැනීම, දූෂණය නතර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අඩාල වී තිබීම යනාදී කරුණු මෙහිදී පෙන්වා දී ඇති මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ එම පසුබිම යටතේ දෙවැනි වාරිකය ලබාදීම කල්දැමීමේ අවදානමක් මතුව ඇති බවද ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
IMF වෙතින් ඉල්ලපු දේ!
මෙහිදී අපට ඇති තොරතුරුවලින් වැඩිදුරටත් කියැවෙන්නේ ජනාධිපතිවරයාද මෙම සාකච්ඡාවේදී සුපුරුදු පරිදි තමන්ට තව කාලය ලබාදෙන ලෙස මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කොට ඇති බවය. දෙවැනි ණය වාරිකය ලබාදීමෙන් අනතුරුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බවත්, තුන්වැනි ණය වාරිකය ලබාදෙන අවස්ථාව වන විට එම ඉලක්ක සපුරාගත හැකි බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දී ඇති බවක් ආරංචිය. නමුත් ඒ අවස්ථාවේද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපතිවරයාට එම තත්ත්වය පිළිගත නොහැකි බව දැනුම් දී ඇති බවද රාජ්‍ය රහස් තීරයට වාර්තා වූ තොරතුරුවලින් දැනගන්නට ඇත.
මරික්කාර් රහසක් හෙළි කරයි!
එම හමුවෙන් පසු ජනාධිපතිවරයා සඳුදා දිනයේදී යළි විදෙස්ගත වුණේ ජර්මනියේ පැවැති බර්ලින් ගෝලීය හමුවට සහභාගි වීමටය. එහෙත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මතු කළ යම්යම් කරුණු පිළිබඳ මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට ගැටලු රාශියක් පැනනැගී තිබිණි. ඒ අනුව එම ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊළඟට හමුවීමට සැලසුම් කර තිබුණේ ජනාධිපතිවරයාගෙන් පසු මූල්‍ය කටයුතු පිළිබඳ ඉහළ බලයක් ඇති නිලධාරියා වු මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාය. එහෙත් ඒ වනවිටත් මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණ සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යන දෙදෙනාම විදෙස්ගතව ඇති බවකි.
වගකිවයුතු කවුරුත් නෑ! අමෙරිකාවට පැමිණිල්ලක්!
ඒ පිළිබඳ සොයා බලද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ටද දැනගන්නට ලැබුණේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද යම් කටයුත්තක් මුල්කරගෙන විදෙස්ගතවී ඇති බවය. මේ තත්ත්වය වාර්තා වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෝපයට පත්වුණේ මෙතරම් වැදගත් කාරණාවක් යෙදී තිබියදීත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දු ගැනීමට වගකිව යුතු නිලධාරියකු රට තුළ නොමැති වීම නිසාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් තමන්ට දැක්වූ මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කිරීමය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඇමෙරිකාවේ පිහිටා ඇති සිය මූලස්ථානය වෙත මේ පිළිබඳ පැමිණිලි කිරීමට කටයුතු කොට ඇති බවය. ඒ ආකාරයේ පැමිණිල්ලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වත ඉදිරිපත් වීමම ඉතා බරපතළ තත්ත්වයක් බව බොහෝ දෙනාගේ අදහසය. මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය දින නියමයක් නොමැතිව කල්දැමූ බව සඳහන් කොට සිටියේ මෙවැනි පසුබිමක් මැදය.
ඩොයිෂ් වෙල් සාකච්ඡාව ලෑස්ති කළ ව්‍යාපාරිකයා!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ප්‍රකාශය සිදුකරද්දී ජනාධිපතිවරයා සිටියේ සිය ජර්මන් සංචාරය ආරම්භ කොට බර්ලිනයේය. බර්ලින් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා තවත් විශේෂ කටයුත්තකට සහභාගි වීමට සැලසුම් කොට තිබිණි. ඒ, ජර්මනියේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවක් වූ ‘ඩොයිෂ් වෙල්’ සමග සම්මුඛ සාකච්ඡාවක් සූදානම් කොට තිබීමය. මෙම සම්මුඛ සාකච්ඡාව හිටි හැටියේ අහම්බෙන් සංවිධාන වූවක් නොව, එය පසුපසද කිසියම් කතාවක් තිබිණි. එනම් මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පැවැත්වීම සැලසුම් කොට තිබුණේ ජනාධිපතිවරයා ජර්මනියට යෑමටත් පෙරාතුවය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ජර්මනිය සමග එක්ව ව්‍යාපාරික කටයුතු සිදුකරන ශ්‍රී ලාංකිකයෙකි. ජනාධිපතිවරයාට ඉතා හිතවත්ව කටයුතු කරන මෙම ව්‍යාපාරිකයාගේ මැදිහත් වීම මත සහ ජනාධිපතිවරයාගේද එකඟතාව මත සූදානම් කොට තිබුණු මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයට විශාල ප්‍රසිද්ධියක් ලබාදීම ප්‍රධානතම සැලසුම වී තිබිණි.
වාසියක් තිබ්බේ නෑ!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ප්‍රථම ජර්මානු චාන්සලර්වරයා මුණගැසී සාකච්ඡා පැවැත්වුවද බලාපොරොත්තු වූ ආකාරයේ වාසිදායක තත්ත්වයක් එම සාකච්ඡාවලින් මතුව නොතිබිණි. ජර්මනිය, පැරිස් සමාජයේ ප්‍රබල සාමාජිකයකු වුවද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේදී ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටි ප්‍රතිචාරය එම සාකච්ඡාවේදී නොලැබී තිබීම නිසා පැවැති ගැටලුකාරී තත්ත්වයද එසේම පැවැතිණි. ජනාධිපතිවරයා ඩොයිෂ් වෙල් රූපවාහිනී සාකච්ඡාව සඳහා සම්බන්ධ වූයේ එවැනි පසුබිමක් මැදය.
රළු භාෂාවක් යොදා ගනී!
ඒ නිසාමදෝ මෙම ඩොයිෂ් වෙල් සම්මුඛ සාකච්ඡාව ආරම්භ වී සුළු මොහොතකට පසු ජනාධිපතිවරයා ආවේගශීලීව සාකච්ඡාවට මුහුණ දෙන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා කෙතරම් ආවේගශීලී වූවාද කියනවා නම් මාධ්‍යවේදියාට තරමක දැඩි භාෂාවක් භාවිත කරන ආකාරයක්ද දැකගත හැකි විය. වරක් ජනාධිපතිවරයා එහිදී චැනල් 4 නාලිකාවට පහර දුන්නේය. තවත් වරක ජනාධිපතිවරයා බටහිර රටවලට පහර දුන්නේය. තවත් වරක ජනාධිපතිවරයා කාදිනල් හිමිපාණන් හා රදගුරු සම්මේලනය අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් බෙදීමක් ඇති බවට ඉඟි කළේය.
එහෙම වුණේ ඇයි?
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ රළු හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ මත දෙකක් ඉස්මතුව තිබේ. විශේෂයෙන් ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍ය මෙම සිදුවීමට යම් වීරත්වයක් ආරෝපණය කරමින් ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබූ අතර, ඇතැමුන් පෙන්වා දී තිබුණේ රට බංකොලොත් වී ජාත්‍යන්තර සහාය ඇතිව අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරන මොහොතක ජනාධිපතිවරයා මේ ආකාරයෙන් බටහිර රටවලට ප්‍රහාර එල්ල කිරීම එතරම් නුවණැති ක්‍රියාවක් නොවේ යැයි කියාය. එමෙන්ම කාදිනල් හිමිපාණන් හා රදගුරු සම්මේලනය අතර බෙදීමක් ඇති බවට ඉඟි කිරීම හරහා කතෝලික පල්ලිය පමණක් නොව කතෝලික ප්‍රජාවගේම සිත් නැවත පාරා ඇති බවක්ද ඇතැමුන්ගේ මතය විය. ඒ අනුව කියුබාවේදී චීන හිතැති ප්‍රකාශයක් සිදුකොට සහ ඇමෙරිකාවේදී අවුකුස් සංවිධානය විවේචනය කොට ඇතිකරගත් හානිය හා සමානම හානියක් ජර්මනියේදී ඩොයිෂ් වෙල් සම්මුඛ සාකච්ඡාව හරහා ජනාධිපතිවරයා ඇතිකරගත් බව බොහෝ දෙනාගේ අදහසය.
මන්ත්‍රීවරු කතාවුණා!
අනෙක් අතට පසුගිය සතියේ පාර්ලිමේන්තු සතියක් වූ බැවින් එම සතියේම මැති ඇමැතිවරුන් අතර ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව තිබුණේද ජනාධිපතිවරයාගේ මෙම ඩොයිෂ් වෙල් සම්මුඛ සාකච්ඡාවය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා පාහේ ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම හා භාෂා විලාසය හෙළාදකිමින් කතා කළද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහත් සතුටින් යුතුව කියා සිටියේ ‘රනිල් දැන් නියමෙට මහින්දට ඇඳලා’ යැයි කියාය. විශේෂයෙන් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ස්ථාවරයට පැමිණ ජිනීවා වාර්තා පිළි නොගන්නා බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක් යැයි කියාය.
පොහොට්ටුවට චූන්!
එමෙන්ම ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය පැවැති කාලයේදී බී.බී.සී. නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සහ ජනාධිපතිවරයා ඩොයිෂ් වෙල් නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම කරමින් කතා කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඊට හේතුව වී තිබුණේ බී.බී.සී. මාධ්‍ය හමුවේදී මහින්ද භාවිත කළ ‘බටහිර ප්‍රජාව’ ‘මානව හිමිකම්’ වැනි වචනම ජනාධිපතිවරයාද ඒ අයුරින්ම භාවිත ඩොයිෂ් වෙල් සාකච්ඡාවේදී භාවිත කිරීමට පියවර ගෙන තිබීමය. නමුත් වෙනසකට තිබුණේ මහින්ද එදා සම්මුඛ සාකච්ඡාව සංයමයෙන් යුතුව ලබාදීමත්, ජනාධිපතිවරයා සිය සම්මුඛ සාකච්ඡාවේදී තරමක ආවේගශීලීව හැසිරීමත්ය.
පිටවුණේ ඒ ආවේගයද?
කෙසේ වෙතත් ප්‍රශ්නය ඇත්තේ රනිල්, මහින්දට සම කළ හැකිද යන්න පිළිබඳවය. මහින්ද ඉතිහාසයේ සිටම සැලකෙන්නේ බටහිර විරෝධී නායකයකු ලෙසටය. රනිල් සැලකෙන්නේ බටහිර හිතැති පාලකයකු ලෙසටය. එම නිසා රනිල් ගැන දන්නා කියන බොහෝ දෙනකු කියන්නේ රනිල් මෙසේ හදිසියේ සිය බටහිර හිතැති ප්‍රතිපත්තිය වෙනස් කොට ඇත්තේ බටහිර රටවලින් බලාපොරොත්තු වූ ආකාරයේ උදව් උපකාර නොලැබී යෑම නිසා යැයි කියාය. උදාහරණයක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී පැරිස් සමාජය ප්‍රමුඛ යුරෝපා රටවල වැඩපිළිවෙළ තවමත් ප්‍රකාශයට පත්වී නොමැත. ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරය අතරතුරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය මුණගැසී පැරිස් සමාජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙන ලෙස ආයාචනා කර සිටියත් එය සාර්ථක වූයේ නැත. එමෙන්ම ඇමෙරිකානු සංචාරයේදී එරට ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණගැසී මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් එයද ලැබුණේ නැත. එසේම ජනාධිපතිවරයා ජර්මනියේ සිටියදී මූල්‍ය අරමුදල සිය දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම පමා කරන බවද සඳහන් කර සිටියේය. ඒ අනුව ජනාධිපතිවරයා මේ මස මැදදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා චීනයට යෑමට සිදුව ඇත්තේ හිස් අතිනි.
ජනාධිපතිවරයාගේ ඩොයිෂ් වෙල් සාකච්ඡාව හරහා එළියට පැන්නේ ඒ පීඩනය බව මේ වන විට බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මාධ්‍යවේදියාට රෑ කෑමක්!
කෙසේ වෙතත් ඩොයිෂ් වෙල් සම්මුඛ සාකච්ඡාව හරහා යම් අවුලක් නිර්මාණය වී ඇති බව ජනාධිපතිවරයා සමග ජර්මනියේ සංචාරය කළ සෙසු පුද්ගලයන්ට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ඒ අනුව වහාම සිදුව ඇති හානිය කළමනාකරණය කරගැනීමේ එක්තරා මෙහෙයුමක් ඔවුන්ගේ පාර්ශ්වයෙන් දියත් විය. අපට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ සම්මුඛ සාකච්ඡාව පැවැති දිනම හෝ ඊට පසු දින ඩොයිෂ් වෙල් සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා හට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කොට ඇති බවය. එම රාත්‍රී භෝජන සංග්‍රශයේදී මාධ්‍යවේදියා සමග ඉතා සුහදව සාකච්ඡා කොට මෙම සිදුවීම දුරදිග රැගෙන නොයන ලෙසට ඉල්ලීමක් කොට ඇති බවද එම නිල නොවන ආරංචිවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.
ඒවා දාන්න එපාලු!
මීට අමතරව සාකච්ඡාවේදී තරමක් උණුසුම් වූ ඇතැම් සිදුවීම් ඒ අයුරින්ම විකාශය කිරීම සම්බන්ධයෙන් යළි සිතා බැලීමක් කරන ලෙසද මෙහිදී පිරිස මාධ්‍යවේදියාගෙන් කාරුණික ඉල්ලීමක් කොට ඇති බවටද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව යම් යම් සංස්කරණය කිරීම්වලින් පසුව මෙම වීඩියෝව එළියට දැමුණු බවද එම නිල නොවන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනප්‍රිය අයවැයක්!
මේ සියල්ල අතරේ 2024 වසරේ අයවැය ලබන මාසයේදී මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පවතින පීඩනය හමුවේ ජනතාවද බලා සිටින්නේ මෙවර අයවැයේදී කුමන හෝ සහනයක් තමන්ට හිමිවනු ඇතැයි කියාය. ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදීද බැසිල් අයවැය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කොට තිබිණි. එමෙන්ම බැසිල්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදීත් අවධාරණය කොට තිබුණේ ජනාධිපතිවරණයට ප්‍රථම ඉදිරිපත් කරන අවසන් අයවැය මෙය වීම හේතුවෙන් ජනතාවට සහන ලැබෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කළ යුතු බවකි. මීට අමතරව මේ වන විට මාධ්‍ය හමුවලට එන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පවා ප්‍රකාශ කරන්නේ ඉදිරි අයවැයේදී ජනතාවට සහන ලබා දිය යුතු යැයි කියාය. මහින්දද පසුගිය සතියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විදුලි බිල මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, ජනතාවට විදුලි බිල් ගෙවීම අසීරු බවත්ය.
සජබය අමුතු වැඩක!
සමගි ජන බලවේගයද මේ දිනවල සිටින්නේ අයවැයට සූදානම් වෙමිනි. ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් අයවැය වීම හේතුකොටගෙන සජබය සැලසුම් කර ඇත්තේ අයවැය සම්බන්ධයෙන් සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය සහ ජනතාවට අයවැය හරහා මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වය පෙන්වා දීමට සජබය සැලසුම් කර ැති බවක් දැනගන්නට තිබේ.
අකුරු 3ද 4ද?
මීට සති තුනකට ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් පොහොට්ටුවෙ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව අපි හෙළිදරව්වක් සිදුකළෙමු. එහිදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අකුරු තුනේ අයකු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වන බවට ඉඟි කර සිටියත් අපි පැහැදිලිවම කියා සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනේ නමක් සහිත අයකු නොව අකුරු හතරේ අයකු යැයි කියාය. එහිදී එම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පැහැදිලි තොරතුරු අප සතුව තිබුණද සදාචාරාත්මක හේතු මත අපි එය අනාවරණ නොකරන බවද කියා සිටියෙමු. නමුත් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අප කළ අනාවරණයෙන් පසු අකුරු හතරේ පොහොට්ටුවේ අපේක්ෂකයා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවට අනුමාන කොට පුවත් පළකළද, වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප සිටින්නේ නිවැරදි අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළිකිරීමට මෙය අවස්ථාව නොවන බවකි.
බැසිල් අවසන් තීන්දුව අරන්!
කෙසේ වෙතත් මේ වන විට පොහොට්ටුවේ මහමොළකරු වන බැසිල් ඇතුළු තීන්දු තීරණ ගන්නා ප්‍රධානීන් අකුරු හතරේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ තීන්දුව ගෙන අවසානය. මන්ද යත් පොහොට්ටුවේ මෙම තේරීම මත පොහොට්ටුවේත්, රාජපක්ෂවරුන්ගේත් අනාගතය රැඳී පවතින බව රාජපක්ෂවරුන් හොඳටම දැන සිටීම ඊට හේතුවය. එම නිසා පොහොට්ටු ප්‍රධානීන් තීන්දු කොට ඇත්තේ අකුරු හතරේ මෙම අපේක්ෂකයා සමග සම්පූර්ණ ශක්තිය යොදා ජනාධිපතිවරණයට මුහුණ දීමටය. ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපතිවරයා වෙත කිසිසේත්ම නොලැබෙන බවය.
ලන්සාත් ෆේල්!
මේ සම්බන්ධයෙන් මුල සිටම ජනාධිපතිවරයාටද යම් සැකයක් නොතිබුණා නොවේ. ජනාධිපතිවරයා ආරම්භයේදීම පොහොට්ටුව කඩන වැඩේ තමන්ට හිතවත් පොහොට්ටු මන්ත්‍රීවරයකු වූ නිමල් ලන්සා හට භාරදී තිබුණේ ඒ හේතුවෙනි. ලන්සාගේ මේ මෙහෙයුම ආරම්භයේ සිටම අපි වරින් වර එහි අලුත්ම තත්ත්වය රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. පළමුව ලන්සා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම මෙහෙයුම දියත් කළ ආකාරයත්, පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා වාසය කළ බෞද්ධාලෝක මාවතේ නිල නිවෙසේ සිට මෙහෙයුම දියත් කළ ආකාරයත්, පසුව රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි නව දේශපාලන කාර්යාලයක් විවෘත කර එය සිදුකළ ආකාරයත් අපි පැහැදිලි කළෙමු. එමෙන්ම මුලින් මුලින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඊට එක්වන බවට පොරොන්දු දී පසුව ලන්සාට ‘පොල්ල’ තැබූ ආකාරයද අපි පෙන්වා දුන්නෙමු. අනතුරුව එම සන්ධානයේ නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කිරීමට සැලසුම් කොට ඇති බවද අපි එහිදී කියා සිටියෙමු.
අනුර යාපාත් ෆිනිෂ්!
ඒ අනුව මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිකිරීමට සූදානම් වන්නේ ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ මෙම අලුත් සන්ධානයේ අලුත්ම තත්ත්වය පිළිබඳවය. මීට දින කිහිපයකට ඉහතදී කුරුණෑගල අනුර යාපාගේ නිවෙසේ මෙම නව සන්ධානය බිහිකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළකර සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසකටම මෙම සාකච්ඡාවට සහභාගි වීමට ආරාධනා කොට තිබූ නිසා ලන්සාත්, අනුර යාපාත් සිතා සිටියේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි කියාය. නමුත් අවසානයේදී ඊට සහභාගි වී තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනකු පමණක් වීම විශේෂ සිදුවීමකි. ඒ, නිමල් ලන්සාත්, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාත් පමණි. මීට අමතරව පොහොට්ටුවේ ආසන සංවිධායකවරු කිහිප දෙනෙක් පමණක් එම රැස්වීමට සහභාගි වීමට කටයුතු කොට තිබීම නිසා එම රැස්වීම අන්තිම අසාර්ථක එකක් බවට පත්ව තිබිණි.
සෞඛ්‍ය ඇමැතිකමට පොල්ලක්!
මීට අමතරව පසුගිය සති කිහිපය තුළ ජනාධිපතිවරයාට සම්බන්ධ තුන්වැනි පාර්ශ්වයකින් අනුර යාපා මහතා හට දී තිබුණු පණිවුඩයකින් කියැවුණේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාගැනීමට සූදානම් වන්න යැයි කියාය. අනුර යාපා ඊට කැමැත්ත පළකොට තිබුණද පොහොට්ටුවට මේ ආරංචිය ලැබීමත් සමග වහාම එම පාර්ශ්වයෙන් ආණ්ඩුවට ලබාදුන් පණිවුඩයකින් කියැවුණේ තම පක්ෂය ලබාදුන් නම්වලට අමතරව වෙනත් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලබාදුනහොත් ඒ සම්බන්ධයෙන් තම පක්ෂය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් යැයි කියාය. ඒ අනුව අනුර යාපාගේ ඇමැති සිහිනය එතැනින්ම අවසන් වී තිබිණි.
ජනපති මන්ත්‍රී කණ්ඩායමට එයි!
ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ඩොයිෂ් වෙල් සම්මුඛ සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා රැස්වීමට සහභාගි වීම තරමක් ප්‍රමාද වී තිබූ බැවින් ඊට සහභාගි වී සිටි පොහොට්ටුවේ සුළු පිරිසක් වූ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා රැස්වීමට පැමිණ කතා කරනු ඇති බවට අනුමාන කළ කාරණා කිහිපයක්ම සිනාසෙමින් එකිනෙකාට පවසා ගන්නා ආකාරයක් දැකගත හැකි විය.
පොහොට්ටු මන්ත්‍රීවරු රනිල්ට අඳී!
‘ඔන්න මං මන්ත්‍රීවරුන්ට පාරවල් හදන්න සල්ලි දෙන්නයි යන්නේ…’ යනුවෙන් එක මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා කියන ආකාරය අනුකරණය කර පෙන්වදීදී, තවත් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා අනුකරණය කරමින් කියා සිටියේ, ‘ඔන්න මං ඕගොල්ලන්ට රස්සා දෙනවා…’ යැයි කියාය. මේ ආකාරයට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු විහිළු තහළු කරමින් ජනාධිපතිවරයා අනුකරණය කරද්දී තරමක් ජ්‍යෙෂ්ඨ පොහොට්ටු මන්ත්‍රීවරයකු සිනාසෙමින් කියා සිටියේ අපූරු කතාවකි.
අමුත්තන් තුන්දෙනකුත් ඇවිත්!
‘මම උඹලට කිව්වෙ නැද්ද ජනාධිපතිතුමා කියන කිසි දෙයක් වෙන්නෙ නෑ කියලා. කෝ උඹලා මම කියන දේ ඇහුවෙ නෑනේ. දැන් උඹලටම තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා…’ යන්න ඒ මන්ත්‍රීවරයා කී කතාව විය. කෙසේ වෙතත් මෙම කතාවට වැඩිදුර යෑමට ඉඩ නොලැබුණේ ජනාධිපතිවරයා තවත් තිදෙනකු සමග ඒ අවස්ථාවේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට කටයුතු කිරීම නිසාය. ඒ තිදෙනා වූයේ මහබැංකු අධිකපති නන්දලාල් වීරසිංහත්, මහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනත්, මුදල් අමාත්‍යාංශ උපදේශක එච්. සමරතුංග මහතාත්ය. ජනාධිපතිවරයා මේ තිදෙනා කැටුව පැමිණ තිබුණේම මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය ලබාදීම පමා කිරීමට ගත් තීරණයෙන් පසු මතුව ඇති තත්ත්වය මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දීම සඳහාය. ඊට හේතු වූයේ එම තීන්දුවත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය බිඳී ඇති බවට ජනාධිපතිවරයා අනුමාන කර තිබීම නිසාය.
මන්ත්‍රීවරු ගණන් අරන් නෑ!
කෙසේ වෙතත් වෙනදා නම් ජනාධිපතිවරයා මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැටුව පැමිණෙද්දී පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වුණද එදින දක්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එදින කිසිදු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා කැටුව ආ මෙම නිලධාරීන් එතරම් ගණන් ගැනීමට කටයුතු කර නොතිබිණි. එමෙන්ම ඔවුන් මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේද නැත. මේ බව ජනාධිපතිවරයාටද නොදැනුණා නොවේ.
වීරසේකර ප්‍රශ්න අහයි!
නමුත් සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණක් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත් අතර, ඔහු විමසා සිටියේ මූල්‍ය අරමුදල සඳහන් කර ඇති බරපතළ කොන්දේසි ඉටුකරන්නේ කෙසේදැයි කියාය. එසේ වුවහොත් ජනතාව මත තවත් පීඩනයක් පැටවීමට සිදුවනු ඇති බවද වීරසේකර චෝදනා මුඛයෙන් කියා සිටියේය. විශේෂයෙන්ම බිත්තර, අල, ලූනු වැනි ද්‍රව්‍ය මේ වන විටත් පිටරටින් ආනයනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට බිත්තර, අල, ලූනු ගොවීන් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් වීරසේකර පෙන්වා දුන්නේය.
සමරතුංග දීපු උත්තරය!
එහිදී ජනාධිපති උපදේශක එච්. සමරතුංග මහතා කියා සිටියේ මෙරට අල, ලූනු ගලවන සමය ජීවන කමිටුවට දැනුම් දුන්නේ නම් ඒවාට බදු පනවන අයුරු පිළිබඳ සාකච්ඡා කොට තීන්දු ගත හැකි බවය. සමරතුංගගේ මෙම පිළිතුරත් සමග කිසිවකුත් නොසිතූ පරිදි නැගී සිටියේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුය. නලින් ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ, ‘ඔබතුමා හරියට කතා කරන්නේ අපි වැරැදියි වගේනේ. මිනිස්සුන්ට මේ වෙලාවේ අඩු මුදලට කන්න බොන්න කොහෙන් හරි ගෙනත් දෙන්න ඕනේ. අපිට ඒවට හදිසි තීරණ ගන්න බෑ. ඒ ගැන තීන්දු ගන්න මුදල් අමාත්‍යාංශයේ ජීවන කමිටුව තියෙනවා. ලූනු ගලවන කාලෙ ගැන ඕකෙ කතා කර ඉද්දී මෙහෙ ඔක්කොම වෙලා ඉවරයි’ යැයි කියාය.
නලින්ට යකා වැහෙයි!
නලින්ගේ මෙම ප්‍රකාශයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ද විවිධ අභිනයන්ගෙන් තල්ලුවක් දීමත් සමග එන පොට හොඳ නැති බව ජනාධිපතිවරයාටද වැටහිණි. එහිදී වහාම ජනාධිපතිවරයා එම සාකච්ඡාවට මැදිහත් වෙමින් කියා සිටියේ, ‘මේ නිලධාරීන් තුන්දෙනාට දැන් විශේෂ සාකච්ඡාවකට යන්න තියෙනවා. ඒ නිසා ඒ අයව අපි නිදහස් කරමු.’ යැයි කියාය. ඒ ආකාරයට වහාම නන්දලාල්, මහින්ද සිරිවර්ධන සහ සමරතුංග යන තිදෙනා සාකච්ඡාවෙන් පිටකළ ජනාධිපතිවරයා, ඊට සුළු මොහොතකට පසු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද අවසන් කිරීමට පියවර ගත්තේය.
සජිත්ට ශ්‍රීලනිපයෙන් පණිවුඩයක්!
මේ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබිණි. කවුරුත් දන්නා පරිදි ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමග මේ වන විට එම පක්ෂය ඇත්තේ බරපතළ අර්බුදකාරී තත්ත්වයකය. පක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ මෛත්‍රීපාල සමග ශ්‍රීලනිපයට කිසිසේත්ම කිසිදු ඉදිරි ගමනක් නැතැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම දේශපාලනයට සම්බන්ධ නැති එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයකු අතේ සජිත්ට පණිවුඩයක් එවා තිබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ පසුගිය දිනෙක ශ්‍රීලනිප ප්‍රබලයන් දෙදෙනකු තමන් මුණගැසුණු බවත්, ඔවුන් කණ්ඩායමක් වශයෙන් තවත් කිහිප දෙනකු සමග සජබයට එක්වීමට හෝ සජබයේ ප්‍රධානත්වයෙන් පිහිටුවන සන්ධානයට එක්වීමට සූදානම් බවත්ය. ඊට එකඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක්ද මෙම විශේෂ පුද්ගලයා සජිත්ගේ අතට පත්කිරීමට පියවර ගත්තේය.
එක නමකට විතරක් විරෝධය!
ඒ අනුව සජිත් එම නම් ලැයිස්තුව හොඳින් බැලීමෙන් පසු, එක් නමක් හැරුණු විට අනෙක් සියලු මන්ත්‍රීවරුන් සජබයට එක් කරගැනීමට සූදානම් බව දැනුම් දී සිටියේය. එක් මන්ත්‍රීවරයෙක්ට බරපතළ චෝදනා එල්ල වී තිබීම නිසා හෙතෙම සජබයට එක්කර ගත නොහැකි බව සජිත්ගේ ස්ථාවරය විය. එම නිසා අනෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් ඔවුන්ට ඍජුවම සජබය සමග එක්විය හැකි බවත්, එසේත් නොමැති නම් සජබය ප්‍රමුඛ සන්ධානයට එක්විය හැකි බවත්, එය ඔවුන්ගේ කැමැත්ත බවත් එහිදී සජිත් මෙම විශේෂ පුද්ගලයාට දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව ඉදිරියේදී එම මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සංවිධාන කිරීමට තමන් සූදානම් බවද සජිත් එම පුද්ගලයාට දැනුම් දීමට පියවර ගත්තේය.