අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් දුවන්නේ එකිනෙකා පරයා තව තවත් දේපළ එකතු කරගන්නයි. තමන් සතු දේ රැකගන්නයි. හැබැයි මියයනකොට මේ කිසිම දෙයක් අපිට අරන් යන්න බැහැ කියන සැබෑ යථාර්ථය තේරුම් ගත්තු උතුම් මිනිස්සුත් අප අතරේ තවමත් ජීවත් වෙනවා.Sri Lanka Latest News
පසුගිය දිනක අපට අසන්නට ලැබුණු එවැනි සුවිශේෂ මනුෂ්‍යත්වය රන් අකුරින් ලියපු අපූර්ව චරිතයක් තමයි සරත් මුදුන්කොටුව මහතා. ඔහු විශ්‍රාමික ඉංජිනේරුවරයෙක්. කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගෙවපු ඔහු අද මුළුමහත් සමාජයටම ලබාදීලා තියෙන්නේ මිල කළ නොහැකි ජීවිතේටම ගත හැකි ලොකුම පාඩමක්.
දරාගත නොහැකි ශෝකය හමුවේ සැලුණේ නැති මිනිසෙක්…
තමන් පණ වගේ ආදරය කරපු බිරිඳ සහ එකම පුතණුවන් මෙලොවින් සමුගෙන යාම ඕනෑම මිනිසෙකුට දරාගන්න බැරි මහා කන්දක් වගේ දුකක්. සරත් මහතාටත් ඒ දුක ඒ විදිහටම දැනුණා.
නමුත් ඔහු තමන්ගේ ඒ පෞද්ගලික ශෝකය දේශපාලන වේදිකාවක් කරගත්තේ නැහැ. ප්‍රසිද්ධියක් ලබාගන්න මාධ්‍ය සංදර්ශන පවත්වන්න ගියේත් නැහැ. තමන්ගේ ආදරණීයයන්ගේ මතකය සදාකාලික කරන්න ඔහු තෝරාගත්තේ ගලෙන් හෝ සිමෙන්තියෙන් හදන අජීවී ස්මාරක නෙවෙයි. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ අසරණ මිනිසුන්ගේ මුහුණුවල සිනහවක් ඇති කිරීමයි.
තම අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් ඔහු සතු වටිනාම දේපළක් වුණු හෝමාගම පිහිටි ඉඩම විකුණන්න ඔහු තීරණය කළා. ඒ ලැබුණු මුදල් තමන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කරන්නේ නැතුව දැඩි ආර්ථික අපහසුතා මැද හිසට සෙවණක් නැතුව ළතැවුණු පාදුක්කේ ප්‍රදේශයේ අසරණ පවුල් 11ක් වෙනුවෙන් වියදම් කරන්න ඔහු පියවර ගත්තා.
ඒ අහිංසක පවුල් 11 වෙනුවෙන් ස්ථිර, ලස්සන නිවාස 11ක් තමන්ගේම පෞද්ගලික ධනයෙන් ඉදිකරලා ඒවායේ යතුරු ඒ අයගේ අතට පත්කරන්න සරත් මහතා කටයුතු කළා.
සරත් මහතාගේ මේ උදාර මෙහෙවර නිවාස 11ක් හදලා දීමෙන් විතරක් නතර වුණේ නැහැ. ඒ නිවාසවලට එන අහිංසක දරුවන්ගේ අනාගතය සහ මානසික සුවය ගැනත් ඔහු හිතුවා. ඒ නිසාම එම නිවාස සංකීර්ණය අසල තිබුණු සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක තමන්ගේම පෞද්ගලික මුදලින් සියලු පහසුකම් සහිත අලංකාර ළමා උද්‍යානයක් ඉදිකරලා දෙන්නත් ඔහු කටයුතු කළා.
අද ඒ නිවාසවලින් ඇහෙන දරුවන්ගේ සුරතල් සිනා හඬත් හවස් යාමයට ඒ ළමා උද්‍යානයේ නිදහසේ සෙල්ලම් කරන දරුවන්ගේ සතුටු පිරි මුහුණුත් සරත් මහතාගේ මේ උතුම් ක්‍රියාවට තියෙන ජීවමාන සාක්ෂි වැනියි.
සැබෑ ධනය කියන්නේ බැංකු පොත්වල තියෙන ඉලක්කම් නෙවෙයි. තවත් මිනිහෙක්ගේ කඳුළක් පිසදාලා ගන්න පුළුවන් සැනසීමයි. මියගිය අයට පින් පමුණුවන්න පුළුවන් හොඳම විදිහ ජීවත්වෙන අසරණ මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් කිරීමයි.
අපේ රටේ මිනිස්කම නැති වෙලා කියලා වැළපෙන සමාජයක භෞතික දේපළක් සදාකාලික මිනිසත්කමක් බවට පරිවර්තනය කරපු සරත් මුදුන්කොටුව මහතා වැනි උතුම් මිනිසුන් අපේ රටට මහත් ආඩම්බරයක්.
CHAMATH VLOGS











