ඡන්දෙ කල්දාගන්න අලුත් උත්සාහයක් දරයි!
බොරු පුවත් යවපු තැන හෙළිවෙයි!
බැසිල්ගේ ගෙදර පිරිතට රාජපක්ෂවරු කවුරුත් නෑ!
අමෙරිකාවෙන් එන්න යන අලුත්ම නියෝජිතයා!
අපි ගිය සතියෙ හරියටම කිව්වා!
‘මව්රට ඔක්කොම හෙළිකළා…’
ජනවාරි 05 ගැසට් එක
ජනවාරි 19-21 නාමයෝජනා
මාර්තු 04 ඡන්දය
මුළු රටම සූදානම්’
මේ, පසුගිය සතියේ ‘මව්රට’ සති අන්ත පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයය. එයට අදාළව අප ලියා දැක්වූ පුවත මෙසේය.
‘පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව දියත් කරන ලද සියලු කුමන්ත්‍රණ පරාජයට පත්වීමෙන් අනතුරුව ලබන 05 වැනිදා මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි 10 සිට 21 දක්වා කාලය ඇතුළත නාමයෝජනා භාරදීමටත්, මාර්තු 04 වැනි සෙනසුරාදා දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් කටයුතු කරනු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගිය කාලවකවානුව පුරාම ආණ්ඩුව කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීම සඳහා උපාය උපක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි.
ඉන් පළමුවැන්න වූයේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බවත්, පවතින තත්ත්වය යටතේ එය 4,000 දක්වා අඩුකළ යුතු බවත් පවසමින් මැතිවරණය කල් දමාගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමය. නමුත් එය සාර්ථක කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත.
දෙවැනි සැලසුම වූයේ පළාත් පාලන මැතිවරණයේ තරුණ නියෝජනය 25% දක්වා ඉහළ නැංවිය යුතු බවටත්, මැතිවරණ සඳහා දරනු ලබන වියදම් සීමා කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනය කළ යුතු බව කියමින් මැතිවරණය කල්දමා ගැනීමය. නමුත් ඊටද අවස්ථාවක් හිමිවූයේ නැත.
තුන්වැනි සැලසුම වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයක් වූ ජනසභා ක්‍රමය ස්ථාපිත කළ යුතු බව කියමින් මැතිවරණය කල් දමාගැනීමය. ඒ සම්බන්ධයෙන් වරක කරු ජයසූරිය මහතා කැබිනට් රැස්වීමට පවා පැමිණ දේශනයක් පැවැත්වීමට කටයුතු කර තිබිණි. නමුත් එයද සාර්ථක කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණේ නැත.
සිවුවැනුව ව්‍යවස්ථාදායක සභාව පත්කොට මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අලුතෙන් පත්කිරීම හරහා මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. නමුත් මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු නියමිත කාලයට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාව පත් කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොලැබීම මත එම උත්සාහයද ව්‍යර්ථ වී තිබිණි.
අවසාන වශයෙන් ආණ්ඩුව මැතිවරණය කල් දමාගැනීමට යොදාගත්තේ පවතින මූල්‍ය අර්බුදයය. පවතින තත්ත්වය යටතේ මැතිවරණවලට වියදම් කිරීමට මුදල් නොමැති බව පවසමින් ආණ්ඩුව පසුගිය දින කිහිපය පුරා ප්‍රචාරයක් ගෙන යමින් තිබුණද මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මැතිවරණ සඳහා අයවැය මගින් දැනටමත් මුදල් වෙන් කොට අවසන් බවය. ඒ අනුව ආණ්ඩුවේ එම උත්සාහයද මේ වන විට ව්‍යර්ථ වී තිබේ.
ඒ අනුව බොහෝ දුරට මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ මාර්තු 04 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවකි.
මෙම පසුබිම යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂ කිහිපයක්ම සන්ධානගතව තරග කිරීමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට තිබේ.
මුලදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කරන බව දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශයට පත්වුවද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට තිබේ. බොහෝ පිරිස් පොහොට්ටුවට එජාපය සමග එක් නොවී තනිව තරග කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කරමින් ඇති බවද දැනගන්නට ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සහ විමල් වීරවංශ පාර්ශ්වය එක්ව සන්ධානගත වී නව පෙරමුණක් යටතේ තරග වැදීමට සාකච්ඡා කරමින් සිටින බවද ‘මව්රට’ට වාර්තා වේ.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙවර තනිව තරගවැදීමට තීන්දු කොට ඇත. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සමගි ජන බලවේගය අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ අතර, මේ වන විට අති විශාල පිරිසක් සජබයෙන් නාමයෝජනා ගැනීමට ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. මෙම පිරිස අතර එජාපයට සහ පොහොට්ටුවට සම්බන්ධ වී සිටි විශාල පිරිසක් සිටින බවද දැනගන්නට තිබේ.
එමෙන්ම ජාතික ජන බලවේගයද මේ වන විට පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සුළු පක්ෂ රැසක්ම සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීමට තීරණය කොට ඇත. ඒ අනුව වතුකරය නියෝජනය කරමින් පී. දිගම්බරම්ගේ පක්ෂය, සමගි ජන බලවේගය සමග සන්ධානගතව තරග කිරීමට තීරණය කොට තිබේ. වතුකරයේ අනෙකුත් දේශපාලන ප්‍රබලයා වන ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමාන් මහතා පළාත් පාලන මැතිවරණයට තනිව සිය පක්ෂය ඉදිරිපත් කිරීමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.
නැගෙනහිර බලය හොබවන ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙකේ නායකයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් තීරණය කොට ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්ව නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදීමටය.
කෙසේ වෙතත් උතුරේ පළාත් පාලන ආයතන සඳහා ප්‍රධාන සන්ධාන දෙකක් බිහිවනු ඇති බවට ලකුණු මේ වන විට පහළ වී තිබේ. ඉන් එක් සන්ධානයක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා යටතේද, අනෙක් සන්ධානය සී.වී. විග්නේෂ්වරන් මහතා යටතේද මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
මීට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයේ විශේෂම සිදුවීම වන්නේ පළමු වරට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීමය. ඒ අනුව අලුත් තරුණ මුහුණු රැසක් සහ වියතුන් විශාල ප්‍රමාණයක් කුමාර් ගුණරත්නම් මහතා යටතේ මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.’
අන්තිම තුරුම්පුවත් ගහයි!
ඒ අනුව අප කළ මෙම හෙළිදරව්වේ දිනයක් පමණක් එහා මෙහා කොට මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය කැඳවන ගැසට් පත්‍රය නිකුත් කළේ පසුගිය බදාදා (04) වැනිදාය. අනෙක් සියලු මාධ්‍යයන් මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට අඩුවැඩි වශයෙන් සම්මාදම් වෙමින් ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකරද්දී අප පමණක් මුල සිටම ආණ්ඩුව ගෙනගිය මෙම වැඩපිළිවෙළ එකින් එක රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.
ව්‍යවස්ථාදායක සභාව ඉක්මනින් දාගන්න ගේමක්!
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ඡන්ද ගැසට්ටුව ප්‍රකාශයට පත්කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී පවා ආණ්ඩුව මැතිවරණය කල් දමාගැනීමේ සිය සැලසුම අතහැර තිබුණේ නැත. ඒ අනුව ආණ්ඩුව පසුගිය පළමුවැනිදා (ඉරිදා) හදිසි සූම් සාකච්ඡාවක් කැඳවූයේ කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන මැතිවරණය කල්දමා ගැනීමේ අවසන් උත්සාහයත් දැරීම සඳහාය. කෙසේ හෝ පාර්ලිමේන්තුව 05 වැනි දින කැඳවා ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන මැතිවරණ කොමිසමේ සංශෝධනයක් හරහා ඡන්දය කල් දමාගැනීම ආණ්ඩුවේ අවසන් සැලසුම වී තිබිණි. මන්ද යත් ආණ්ඩුවට ලැබී තිබුණු නීති උපදෙස්වලින් නීතිමය ගැටලුවක් මතු නොවන ආකාරයට කටයුතු කළ හැකි එකම විකල්පය එය බවට දනුම් දී තිබීම ඊට හේතුව විය.
සජිත්ට කෝල් එකක්! හදිසි සූම් සාකච්ඡාවක්!
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ඉරිදා දින කොළමින් පිට පිහිටි පාසල්වලට බස් රථ ප්‍රදානය කරමින් සිටි අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කියැවුණේ එදින සවස 7.30ට කතානායකවරයා සහ අගමැතිවරයා සහභාගි වන සූම් සාකච්ඡාවක් සංවිධාන කොට ඇති බවත්, කතානායකවරයා ඉන් අනතුරුව විදෙස්ගත වීමට නියමිතව ඇති බැවින් කෙසේ හෝ ඊට සම්බන්ධ වන ලෙසත්, ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත්ය.
පුංචිහේවා 5ට කල් දැම්මේ ඇයි?
කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා උද ෑසනම ලද මේ පුවත අපද අතිවිශේෂ ප්‍රවෘත්තියක් ලෙස අප www.mawratanews.lk වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. අප එය පළ කළේ මේ සූම් මීටිම හරහා ඡන්දය කල්දමා ගැනීමට කුමක් හෝ ගැටයක් ආණ්ඩුව ගසනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ මතුව තිබූ සැකය නිසාමය. මන්ද යත් දෙසැම්බර් අවසන් සතියේ මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට පසුව එය ජනවාරි 05 දක්වා කල්දැමීමට තීරණය කළ බවට කළ ප්‍රකාශයත් සමග කුමක් හෝ යටිකූට්ටු වැඩක් දියත් වෙමින් පවතින ආකාරයක් සියල්ලන්ටම වැටහී තිබිණි. පුංචිහේවා මහතා රාජපක්ෂවරුන්ගේ අතිශය සමීප හිතවතකු වීමද මෙම සැකය වඩාත් තීව්‍ර වීමට හේතු වී තිබිණි. මේ නිසා බැලූ බැල්මට තිරය පිටුපස හිඳිමින් කවුරුන් හෝ පුංචිහේවා මහතා මෙහෙයවන බවට බරපතළ සැකයක්ද ඒ අවස්ථාවේදී විපක්ෂයට මතුව තිබිණි.
සාකච්ඡාවට අගමැතිත් ඇවිත්!
ඒ අනුව නියමිත වෙලාවට සජිත් සූම් සාකච්ඡාවට සම්බන්ධ වෙද්දී කතානායකවරයා සහ අගමැතිවරයාද ඊට එක්ව සිටින ආකාරයක් සජිත්ට දැකගත හැකි විය. එහිදී සජිත් මුලින්ම විමසා සිටියේ මේ තරම් වැදගත් සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විය යුතු නැති බවත්, තමන් කොළඹ ආ පසු ඒ සම්බන්ධයෙන් මුණගැසී සාකච්ඡා කළ හැකි බවත්ය. නමුත් ඊට කතානායකවරයා කියා සිටියේ මෙය හදිසි සාකච්ඡාවක් බැවින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සූදානම් කළා යැයි කියාය. හැකි ඉක්මනින් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් පත්කරගැනීම මෙහි අරමුණ බවද කතානායකවරයා කියා සිටියේය.
සජිත් කේන්තියෙන් උත්තර දෙයි!
කෙසේ වෙතත් කතානායකවරයා දුන් මෙම පිළිතුරත් සමග සජිත් වෙනදාට වඩා තරමක් දැඩි ස්වරූපයකින් යුතුව සාකච්ඡාවට එක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
‘ඇයි මේ සිවිල් නියෝජිතයන් පත්කිරීම ගැන ඔබතුමාලා මෙච්චර හදිසි වෙලා වැඩ කරන්නේ? ව්‍යවස්ථාදායක සභාව කියන්නේ රටේ නීති හදන තැන. ඒ නිසා ඒකට පත්කරන නියෝජිතයන් ගැන කාටවත් චෝදනාවක් කරන්න බැරිවෙන විදියට අපි ඒ පත්කිරීම කරන්න ඕනෙ. ඒක අතිශය ස්වාධීන වෙන්න ඕනෙ. අපට මතකයි මීට කලින් හිටපු පාලකයෝ මේ ව්‍යවස්ථාදායක සභාව බුල්ඩෝස් කරන්න කටයුතු කළා. ආයෙ එහෙම දෙයක් නොවෙන්න වැඩ කරන්න අපට ලොකු වගකීමක් තියෙනවා. මොකද ආණ්ඩුවට ව්‍යවස්ථාදායක සභාව පාලනය කරන්න ඉඩ දෙන්න බෑ වගේම ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුව පාලනය කරන්නත් ඉඩ දෙන්න බෑ. මම විපක්ෂ නායකවරයා වෙලා ඉන්නකම් ආණ්ඩුවට ව්‍යවස්ථාදායක සභාව ඉත්තෙක් විදියට පාවිච්චි කරන්න ඉඩ තියන්නේ නෑ. මේ සිවිල් නියෝජිතයන් තුන්දෙනා පත්කරනකම් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ තුන්දෙනා නම් කළත් සුළු පක්ෂවල නියෝජිතයො පත්කරනකම් ඒ කටයුතු කරන්නත් බෑ. මොකද මෙතැන එකඟතාවක් තියෙනවා ඉස්සෙල්ලාම සුළු පක්ෂ නියෝජිතයො පත්කරනකම් මොනවත් කරන්න නෑ කියලා. දෙමළ පක්ෂ ඉතා සාධාරණ විදියට ඔවුන්ගේ නියෝජිතයා ලෙස සිද්ධාර්තන් මහතා නම් කළා. නමුත් ආණ්ඩුවේ පාර්ශ්වයක් ඒකට උදය ගම්මන්පිල මහත්තයා නම් කළා. ඉස්සෙල්ලාම ආණ්ඩුව ඇතුළේ තියෙන මේ බෙදිම නවත්තලා සුළු පක්ෂ නියෝජිතයා නම් කරලා ඉන්න. ඊට පස්සේ අපි සිවිල් නියෝජිතයන් තුන්දෙනා ගැන කතා කරමු….’ යැයි සජිත් තරමක් දැඩි ස්වරයෙන් කියද්දී කතානායකවරයා කියා සිටියේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කොට ඉන් අනතුරුව ඒ පිළිබඳ කතා කරමු යැයි කියාය. නමුත් සජිත් ඊට එකහෙළාම සිය විරෝධය පළ කළේය.
කතානායකගේ කටින් රහස එළියට පනී!
කෙසේවෙතත් මෙම සූම් සාකච්ඡාව හදිසියේම සංවිධාන කිරීමේ රහස කතානායකවරයාගේ කටින් පැන්නේ ඒ මොහොතේදීය. ‘5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවලා තියෙන නිසා එදාට මේ නම් තුන ඉදිරිපත් කරන්න ලෑස්ති කරලයි තියෙන්නේ…’ යනුවෙන් කතානායකවරයා කියද්දී 05 වැනිදාට ආණ්ඩුව ගහන්න යන ගේමේ දිග පළල වහාම සජිත්ට වටහාගත හැකි විය.
මේක කාටවත් බුල්ඩෝස් කරන්න දෙන්න බෑ!
‘නෑ මේක 05 වැනිදාට ගේන්න ඕනෙ කියලා නියමයක් නෑනේ. 06 තියෙනවා, 07 තියෙනවා 8 තියෙනවා. ඒ හින්දා අපි මේක සාකච්ඡා කරලා කරමු. ඔක්කොටම ඉස්සෙල්ලා ඔබතුමා මැදිහත් වෙලා සුළු පක්ෂ නියෝජිතයො පත්කරන්න කියලා කියන්න. ඊට පස්සේ අපි සිවිල් නියෝජිතයො පත්කරමු. අනෙක මේක හොඳට මතක තියාගන්න. අපි 21 වැනි සංශෝධනයට සහයෝගය දුන්නේ මේක එක එක්කෙනාට බුල්ඩෝස් කරන්න නෙවෙයි. අපි මේකට සහාය දුන්නේ නැත්නම් එදා 21 වැනි සංශෝධනය පරදිනවා. ඒ නිසා මේක බුල්ඩෝස් කරන වැඩේට ඔබතුමාටවත් අගමැතිතුමාටවත්, මටවත් අතගහන්න අයිතියක් නෑ…’ යනුවෙන් සජිත් දැඩිව කියද්දී කතානායකරවාද කීවේ තමන්ද ඊට එකඟ බවකි.
අන්තිමේ කතානායකත් එකග වෙයි!
‘විපක්ෂ නායකතුමා කියන කතාවට මමත් එකඟයි. අපි මේක අතහරිමු. ඉස්සෙල්ලාම සුළු පක්ෂ නියෝජිතයා පත්කරලා ඊට පස්සේ සිවිල් සංවිධාන නියෝජිතයන් තුන්දෙනා පත්කරමු…’ යනුවෙන් කතානායකවරයා කියද්දී අගමැතිවරයාද ඊට එකඟතාව පළකරනු දැකගත හැකි විය. ඒ අනුව 05 වැනි දින ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී නම්කොට ඒ හරහා මැතිවරණය කල්දමාගැනීමේ ආණ්ඩුවේ තවත් උත්සාහයක් ව්‍යර්ථ වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
තවත් ගේම් තුනක් ගහයි!
මේ ආකාරයට සාකච්ඡාව කිසිදු තීන්දුවකින් තොරව අවසන් වූ බවට වූ පණිවුඩය මොහොතක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ටද වාර්තා විය. ඒ අනුව කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සඳහා තවත් කළ හැකි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් අතර සිදුවිය. එහිදී යෝජනා කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් කෙරිණි. එසේ පැමිණි එක් යෝජනාවකින් කියැවුණේ දැනට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කොට ඇති මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්තගේ පෞද්ගලික යෝජනාවක් වූ තරුණ නියෝජනය 25%ක් බවට පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ හරහා පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමේ මාර්ගයක් සකස් කරගැනීමය. දෙවැනි යෝජනාව වූයේ මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට වූ මතයක් සමාජයේ ඇතිකොට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම තුළ ඒකමතිකභාවයක් නැති බවට වූ මතයක් රට ඇතුළේ සකස් කිරීමය. තුන්වැනි යෝජනාව වූයේ ඡන්ද කිරීමට මුදල් නොමැති බවටත්, ඡන්දය සඳහා මේ මොහොතේ බිලියන 10ක් වෙන් කළහොත් රාජ්‍ය සේවක වැටුප් හෝ විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් නොව, වී මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් මතුවනු ඇති බවට වූ මතයක් රට තුළ නිර්මාණය කිරීමය. ඒ අනුව මෙම මෙහෙයුම් තුනම එකවර ක්‍රියාත්මක කිරීමටද එම සාකච්ඡාවේදී තීන්දුවක් ගැනිණි.
කොමිසම ඇතුළේ බෙදීමක්?
මෙහිදී මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට මතයක් රට පුරා ගෙන යා යුතු බවට වූ යෝජනාව කවුරුන් හෝ විසින් ලබාදුන් ලනුවක් විය යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරයය. එම යෝජනාවෙන් කියැවී තිබුණේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගෙන් එක් අයකු හෝ ඉවත් වුවහොත් කොමිසම මගින් නිකුත් කරන ගැසට් පත්‍රවල වලංගුතාවයක් නොමැති යැයි කියාය. ඒ අනුව කොමිසම තුළ බෙදීමක් ඇතිකොට සභාපති නිමල් පුංචිහේවා මහතා හෝ වෙන කවුරුන් හෝ ඉවත් කරන තැනට වැඩ සැලසුවහොත් පළාත් පාලන මැතිවරණය කල්දමාගත හැකි බව මෙම යෝජනාව ඉදිරිපත් කළ පිරිසේ අදහස විය.
කතාව ගියේ එකම තැනකින්!
ඒ අනුව හිටිහැටියේම සියලු පුවත්පත්වල, වෙබ් අඩවිවල පළවූ පුවතකින් කියැවුණේ මැතිවරණ කොමිසම තුළ විශාල බෙදීමක් අතැයි කියාය. සියලු මාධ්‍යවල එකවර පළවූ මෙම පුවත දුටු හැටියේම සියලු දෙනාටම එක තැනකින් මෙම පුවත සියලු මාධ්‍ය වෙත බෙදාහැර ඇති බව වටහාගැනීම අසීරු නොවීය.
පාර්ලිමේන්තුවේ ගහන්න ගිය ගේම රිවස් වෙයි!
මීට අමතරව 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමට නියමිතව තිබුණත් ආරම්භයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පෙර කතිකා කරගෙන තිබූ පරිදි ප්‍රේමනාත් දොළවත්තගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වහා විපක්ෂය දැඩි විරෝධය පළකරමින් කියා සිටියේ ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණය කල්දැමීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවකි. එහිදී නැගී සිටි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී එය පාර්ලිමේන්තුව දක්වා පැමිණිය යුතු නිශ්චිත ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්නේදැයි කියාය. මුලින් මුලින් ආණ්ඩුවේ නියෝජිතයන් ඊට ලිස්සා යන ආකාරයේ පිළිතුරු ලබාදුන්නත් අවසානයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නිශ්චිත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇතැයි කියාය. ඒ අනුව එය පාර්ලිමේන්තුවට පැමිණෙන විට පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් වී තිබෙනු ඇති බවද අධිකරණ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ඒ අනුව වංගුවක් ගසමින් දොළවත්තගේ මන්ත්‍රී යෝජනාව හරහා ඡන්දය කල්දමා ගැනීමට ආණ්ඩුව ගැසූ ගැටයද ව්‍යර්ථ වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
හැම පත්තරයකම ගියේ එකම කතාවක්!
ඒ වන විටත් මැතිවරණ කොමිසම අඟහරුවාදා දිනයේදී මැතිවරණය පවත්වන බවට වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබූ නිසා ආණ්ඩුව ඊළඟට සැලසුම් කළේ මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට වූ පුවත යළි සමාජගත කරමින් එවැනි අවස්ථාවකදී මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට වන මතය රට තුළ ස්ථාපිත කිරීමය. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදී සියලු මාධ්‍යවල පළවූ පුවතකින් කියැවුණේ ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා සාකච්ඡා කළ බවත්, එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක මතයකට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්ය. ලංකාදී ඇතුළු සියලු පුවත්පත් මෙම පුවත වාර්තා කොට තිබුණේ මේ ආකාරයටය.
පත්තරවල ගිය කතාව මෙන්න!
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නීතිපති සංජය රාජරත්නම්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ හතර දෙනෙක් ද සහභාගී වූහ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.
මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නේය නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලූවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක් නොදැරීම නිසා අදාළ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇත්තටම වෙච්ච දේ මෙන්න! එක මතයකද අහයි!
පුවත්පත් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කළත් අප හට නම් දැනගැනීමට ඇත්තේ මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කොමිසම තුළ එක මතයක් ඇති බව විමසද්දී පැමිණ සිට නිලධාරීන් විසින් සාමාජිකයන් සියලු දෙනාම එක මතයක සිට කටයුතු කරන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවකි. ඊට ජනාධිපතිවරයා කිසිදු පිළිතුරක් දී නැති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. නමුත් මාධ්‍යවල පළවූ පුවතින් කියැවී තිබුණේ ජනාධිපතිවරයා එක මතයක සිට කටයුතු කරන ලෙසට කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දුන් බව වීම විශේෂ සිදුවීමක් විය.
දැන් ඡන්දෙ කොහොමද?
එමෙන්ම මැතිවරණය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා කොමිසමෙන් විමසා සිටියේය. එහිදී කොමිසමේ සභාපති නිමල් පුංචහේවා මහතා තියා සිටියේ ව්‍යවස්ථා ගැටලුවක් හෝ අධිකරණ ගැටලුවක් මතු නොවන්නේ නම් කිසිද් ගැටලුවකින් තොරව මැතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කරන බවකි. ඊටද ජනාධිපතිවරයා කිසිදු පිළිතුරක් දී නොමැති බව ආරංචිය. එමෙන්ම නීතිපතිවරයා මෙහිදී කිසිදු වචනයක් කතා කොට නොමැති බවද දැනගන්නට තිබේ.
අපේ කිසිම බෙදීමක් නෑ! පුංචිහේවා මව්රටට විශේෂ ප්‍රකාශයක් කරයි!
කෙසේ වෙතත් මේ ආකාරයට මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට සියලු මාධ්‍ය පුවත් වාර්තා කිරීමත් සමග ‘මව්රට’ පුවත්පත මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ඍජුවම දුරකතන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී පුංචිහේවා මහතා ඍජුවම කියා සිටියේ කොමිසම තුළ කිසිදු බෙදීමක් නොමැති බවකි. මෙවැනි පුවත් කවුරුන් හෝ එක් තැනකින් යවන බවද පුංචිහේවා මහතා ‘මව්රට’ට සඳහන් කර සිටියේය. එමෙන්ම මින් මතුවට ජනාධිපතිවරයා කැදවූවද මෙවැනි සාකච්ඡාවලට එක් නොවීමට කොමිසම මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන ඇති බවද ආරංචිය.
කියපු කතාව මෙන්න!
‘කොමිසම ඇතුළේ කිසිම බෙදීමක් නෑ. අපි සාමූහික වගකීමකින් යුතුවයි කටයුතු කරන්නේ. හැම ප්‍රශ්නයකදීම අපි කතාබහ කරලා සියලු දෙනාගේම එකඟත්වයකින් තමයි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒක සාමූහික එකමුතුවකින්, එකඟතාවකින් අපි කරලා තියෙනවා. ඒ හැම තැනකදීම ඒවා ලිඛිතව සටහන් වෙලා තියෙනවා. මේ එක තැනකින් කවුරු හරි නිවුස් ප්ලාන්ට් කරනවා කොමිසම ඇතුළේ බෙදීමක් තියෙනවා කියලා. සමහර මාධ්‍යත් මේක උලුප්පලා පෙන්නනවා. හැබැයි අපි අතරේ කිසිම බෙදීමක් මතවාදයක් නෑ. මැතිවරණයේ කටයුතු අපි ඒ විදියටම ඉදිරියට කරගෙන යනවා…’ යන්න පුංචිහේවා මහතා ‘මව්රට’ට කළ ප්‍රකාශය විය.
සාමාජිකයන් පස් දෙනාම එකට!
ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, කොමිසම ඇතුළේ බෙදීමක් නිර්මාණය කොට ඡන්දය කල්දැමීමට ආණ්ඩුව කළ සැලසුම අසාර්ථක වී ඇති බවය. ඊට අමතරව මැතිවරණ කොමිසම තුළ බෙදීමක් හටගෙන ඇති බව ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව කීවත්, පසුගිය දින කිහිපය පුරා කොමිසම විසින් නිකුත් කළ සියලු නිවේදනවලට එහි සාමාජිකයන් පස්දෙනාගේම ඒකමතික අනුමැතිය හිමිව තිබීමද විශේෂ සිදුවීමක් විය.
වියදමත් අඩු කරයි!
මීට අමතරව බ්‍රහස්පතින්දා උදේම පුංචිහේවා මහතා තවත් ප්‍රකාශයක්ද කළේය. ඒ, මැතිවරණයට යන වියදම් සම්බන්ධයෙනි. එහිදී ඔහු කියා සිටියේ මැතිවරණයට බිලියන 10ක මුදලක් වියදම් වනු ඇති බව කීවත්, එය බිලියන 08 දක්වා අඩු කරගැනීමට සැලසුම් කර ඇති බවය. විශේෂයෙන්ම මැතිවරණය නිවාඩු දිනයක නොතබා, සතියේ දවසක පැවැත්වීම මගින් විශාල වියදමක් අඩු කරගත හැකි බවද හෙතෙම කියා සිටියේය. එමෙන්ම මැතිවරණයට මේ වන විටත් අයවැය මගින් මුදල් වෙන්කර ඇති බවද පුංචිහේවා සඳහන් කර සිටියේය. ඒ අනුව මැතිවරණයට මුදල් නැති බව කියමින් ඡන්දය කල්දැමීමට ආණ්ඩුව ගෙනගිය ප්‍රචාරයද එතැනින්ම අහෝසි වී තිබේ.
17 වැනිදාත් ගේමක් ගහයිද?
කෙසේ වෙතත් මැතිවරණයේ දිනය සහ නාමයෝජනා බාරගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි දිනය. නමුත් ලබන 17 වැනිදා පාර්ලිමේන්තු දිනයේදී අවසන් වශයෙන් මැතිවරණය කල් දමාගැනීම සඳහා කිසියම් උපක්‍රමයක් ආණ්ඩුව විසින් දියත් කිරීමට සූදානමින් සිටින බවටද මේ වන විට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වෙමින් තිබේ. විශේෂයෙන්ම තරුණ නියෝජනය 25%ක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කොට නියමිත ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් ගෙන එන බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවද ලබන 17 වැනිදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමේ සූදානමක් පිළිබඳවද විපක්ෂයට තොරතුරු වාර්තා වී තිබේ. ඒ හරහා මැතිවරණය සම්බන්ධයෙන් කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව පැවසේ.
අලියත් පොහොට්ටුවත් අලි අමාරුවක!
මේ සියල්ල අතරවාරයේ මැතිවරණයට නාමයෝජනා ලබාදීමෙන් පසු බරපතළම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් පොහොට්ටුවටත්ය. විශේෂයෙන්ම දැනට එජාපය මුහුණදී ඇති තත්ත්වය යටතේ මැතිවරණයට ඉදිරිපත් වනවා තබා, මැතිවරණයට අපේක්ෂකයකු සොයාගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා දිනයේම ප්‍රකාශ කර සිටියේ තමන් කිසිදු මැතිවරණ වේදිකාවකට නොපැමිණ ස්වාධීනව කටයුතු කරනවා යැයි කියාය. මේ හරහා එජාපයේ දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලීම සඳහා එජාපය පසුගිය දින කිහිපය පුරාම යැවූ පණිවුඩයකින් කියැවුණේ දැනට ප්‍රාදේශීය සභාවල සිටින එජාපයේ සියලු නියෝජිතයන් අලියා ලකුණ යටතේ යළිත් නාමයෝජනා ලබාදිය යුතු බවත්, මැතිවරණයක් නොපැවැත්වෙන නිසා ඔවුන්ට තවත් වසරක් හෝ මාස හයක් මන්ත්‍රීවරුන් වශයෙන් එම තනතුරුවල සිටිය හැකි බවත්ය. යම් හෙයකින් නාමයෝජනා ලබා නොදුනහොත් ඔවුන්ට මන්ත්‍රී ධුරවල සිටිය නොහැකි වනු ඇති බවටත්, ඉදිරි මැතිවරණයේදී තරග කළ නොහැකි වනු ඇති බවටත් එජාපය සිය මන්ත්‍රීවරුන්ට ලබාදුන් පණිවුඩයේ සඳහන්ව තිබිණි. මේ පණිවුඩය මේ ආකාරයෙන්ම පොහොට්ටුවත් සිය සාමාජිකයන්ට ලබාදීමට කටයුතු කළ ආකාරයක් පසුගිය සතියේ දැකගත හැකි විය.
ආධාරත් නැති වෙන ලකුණු!
මේ ආකාරයට එජාපය සහ පොහොට්ටුව මැතිවරණය කල් යන බවට ප්‍රචාරයක් ගෙන ගියෙ ්කෙසේ හෝ දැනට සිටින අපේක්ෂකයන් වෙනත් පක්ෂවලට නොගොස් එම පක්ෂවලින්ම මැතිවරණයට ඉදිරිපත් කරගැනීම සඳහාය. දැනටමත් 70%ක පමණ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂය වෙත දැනුම් දී ඇත්තේ තමන් මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව යටතේ ඉදිරිපත් නොවීමට තීන්දු කොට ඇති බවකි. ඒ අනුව පොහොට්ටුවද මේ වන විට මැතිවරණය සඳහා අපේක්ෂකයන් සොයාගැනීමේ බරපතළ ගැටලුවකට මුහුණ පා සිටී. පක්ෂ දෙකම එකතුවී මැතිවරණය මාස 06කින් හෝ වසරකින් කල් යනු ඇති බවට ප්‍රචාරය කරමින් සිටින්නේ මේ කරුණ මුල් කරගෙනය.
මූල්‍ය අරමුදල බලන් ඉන්න දේ!
කෙසේවෙතත් ආණ්ඩුව සැලසුම් කරන ආකාරයට මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කැඳවා තිබියදී එය කුමන හෝ දහන්ගැටයක් ගසා කල් දැමීමට කටයුතු කළහොත් රටට ඉන් අත්වන ප්‍රතිඵල භයානක විය හැකිය. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව බලා සිටින්නේ ලංකාව ඇතුළේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බිහිවන තුරුය. මූල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා වන පීටර් බෲවර් මහතා මීට මාස කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණ බලධාරීන් සමග සාකච්ඡා කොට පැවැත්වූ මාධ්‍ය හමුවේදීද අවධාරණය කොට කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අපේක්ෂිත දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම් ලංකාව තුළ ජනවරමක් සහිත ආණ්ඩුවක් බිහිවිය යුතු යැයි කියාය. ඒ ජනවරම කුමක්ද යන්න මැනගැනීමට හැකි ප්‍රධානම මිනුම් දණ්ඩ වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයය. නමුත් ආණ්ඩුව එයද කල්දැමීමට සූදානම් වනවා කියන්නේ ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ආධාර පවා නොලැබී යන තත්ත්වයක් මතුවනු ඇති බවක්ය. එපමණක් නොව වෙනත් රටවල සහ සංවිධානවල ආධාර පවා එවිට ලංකාවට නොලැබී යන තත්ත්වයක් මතුවනවා නිසැකය.
ගෝඨාගේ ගෙදරට ජූලියා ආවද නැද්ද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලකට පසු විවේකයක් ගතකිරීම සඳහා සිය බිරිය, පුතා, ලේලිය සහ මිණිබිරිය සමග ඩුබායි සංචාරයකට එක්ව සිට නැවත ලංකාවට පැමිණියේ පසුගිය බ්‍රහස්පතින්දා (05) දිනයේදීය. මෙම සංචාරයේදී අප වරින් වර ගෝඨා යන එන තැන්, ඡායාරූප සහිතවම අප වෙබ් අඩවිය වූ අඅඅගප්අර්ඒබැඅිගකන හි පළ කළේ මෙරට කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳ වාර්තා නොකර සිටි පසුබිමකය. ඒ අනුව ගෝඨා ඩුබායි මිරකල් ගාර්ඩ්න්හි විවේක සුවයෙන් ගතකරන ආකාරයත්, වෙළෙඳ සාප්පුවල සිය බිරිය සමග ඇවිදිමින් සිටින ආකාරයත්, පෞද්ගලික සත්ව උiානයකට ගොස් සතුන් සමග සිටින ආකාරයත් ඡායාරූප සහිතවම පළ කිරීමට අපි පියවර ගත්තෙමු.
අපි කියපු කතාව හරි!
ඒ අතරවාරයේ පසුගිය සතියේ අප ගෝඨා පිළිබඳ තවත් විශේෂ පුවතක් අනාවරණ කළෙමු. ඒ, ගෝඨා හමුවීමට ඔහු රැඳී සිටින මලලසේකර මාවතේ නිවෙසට ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පැමිණි බවත්, තවදුරටත් ඇමෙරිකානු වීසා ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසට ඇය ගෝඨාට දැනුම් දෙනු ලැබූ බවත්ය. අප එම පුවත අනාවරණ කළේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගිය දිනයේ මෙරට සියලු මාධ්‍ය ගෝඨා ඇමෙරිකාව බලා ගිය බවට අතේ පැලවෙන පට්ටපල් බොරුවක් පළකොට තිබීම නිසාය. එහීදී අප කියා සිටියේ ගෝඨා ඇමෙරිකානු වීසා ඉල්ලුම් කොට එය ප්‍රතික්ෂෙප වුණු තැන ඩුබායි බලා ගිය බවත්, මෙසේ වරින් වර ඇමෙරිකානු වීසා ඉල්ලා සිටීම හේතුකොට ගෙන ඇමෙරිකානු තානාපතිනිය එසේ නොකරන ලෙස නිවෙසටම පැමිණ දැනුම් දුන් බවත්ය.
සුගීෂ්වර දන්නවද දන්නේ නෑ!
කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයෙන් පසුව එක්තරා වෙබ් අඩවියක් ගෝඨාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර හට ඇමතුමක් දී මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී සුගීෂ්වර එවැන්නක් සිදු නොවූ බවටත්, එය අසත්‍යයක් බවටත් ප්‍රකාශ කර තිබුණු අතර, පසුව යට කී එම වෙබ් අඩවිය මහා ලොකුවට එම පුවත වාර්තා කර සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් සුගීෂ්වර එම සිදුවීම හරියටම දන්නවාදැයි අප නොදන්නා නමුත් අප ඉතා වගකීමෙන් කියා සිටින්නේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගෑමට ප්‍රථම ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාගේ නිවෙසට පැමිණ එම පණිවුඩය ලබාදුන් බවය. එහිදී ගෝඨා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් අයැදුම් කර තිබුණේද තමන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම සඳහා පමණක් සංචාරක වීසා (විසිට් වීසා) ලබාදෙන ලෙසටය.
ග්‍රීන් කාඩ් යළි ඇප්ලයි කරලා!
කෙසේ වෙතත් මෙවර අප ගෝඨා සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. ඒ, ගෝඨා ඩුබායි රාජ්‍යයේ සිටින අතරතුරදී නැවත වතාවක් ඇමෙරිකාවට යෑම සඳහා ග්‍රීන් කාඩ් ලොතරැයියට අයැදුම්පතක් ඉදිරිපත් කොට ඇති බවය. ඒ බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර දන්නවාදැයි කියන්න දන්නේ නැති නමුත් එවැන්නක් සිදුවූ බව අප මෙහිදී වගකීමෙන් යුතුව කියා සිටීමට සූදානම්ය. පවතින තත්ත්වය යටතේ එයද හිමිවේදැයි කියන්නට අප දන්නේ නැත.
බැසිල්ගේ ගෙදර පිරිතක්!
පොහොට්ුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල වාසය කරන්නේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය පසුපස පිහිටා ඇති නිවෙසකය. සාමාන්‍යයෙන් බැසිල්ගේ නිවෙසේ විශේෂ සාකච්ඡා, රැස්වීම්, සාද, රාත්‍රී භෝජන සංග්‍රහයන් නිතර පැවැත්වුණද පරිත්‍රාණ ධර්ම දේශනා, දානමාන පින්කම් එහි සිදුවන බවක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් මේ දිනවල බැසිල්ගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මියද ලංකාවේ සිටින බැවින් පසුගිය දිනෙක බැසිල්ගේ නිවෙසේ පරිත්‍රාණ ධර්ම f්දශනාවක් සහ දානමය පින්කමක් සංවිධාන කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ වසරක් ගෙවී නව වසරක් උදාවන ඉකුත් දෙසැම්බර් 31 වැනිදාය.
රාජපක්ෂවරු කවුරුත් නෑ!
කෙසේ වෙතත් බැසිල්ගේ නිවෙසේ පැවැති මෙම පිරිත් පින්කමේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ රාජපක්ෂ පවුල නියෝජනය කරමින් කිසිදු අයකු ඊට සහභාගි නොවී සිටීමය. සාමාන්‍යයෙන් මහින්දගේ නිවෙසේ හෝ වේවා, චමල්ගේ නිවෙසේ හෝ වේවා නිතර නිතර පිරිත්, දානමාන පින්කම් පැවැත්වෙන අතර, ඊට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් බොහෝ දෙනා සහභාගි වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ නිවෙසේ එදින පැවති පිරිත් පින්කමට මහින්ද හෝ චමල් හෝ නාමල් හෝ ශෂීන්ද්‍ර හෝ ශිරන්ති හෝ සහභාගි නොවීම විශේෂ සිදුවීමකි. එමෙන්ම පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද දෙසැම්බර් 31 වැනිදා වීම හේතුවෙන් මන්ත්‍රි මුහුණුද එහි 10කට 12කට වඩා දැකගන්නට නොවීය. ඒ අනුව පැමිණ සිටි පිරිස අතරද රාජපක්ෂ පවුලේ කිසිවකු දැකගන්නට නොලැබීම පිළිබඳ යම් කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයද එහි තවත් මාතෘකාවක් වී තිබිණි.
ආරක්ෂාව ගැන ලොකු කතාවක්!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ඉන්දියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ඒ පිළිබඳ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී චීන සහ හොංකොං පරිගණක ලිපිනයන් සහ ඊමේල් ලිපිනයන් ඔස්සේ මෙම ප්‍රහාරය දියත්ව ඇති බව ඉන්දියාව විසින් අනාවරණ කරගෙන ඇති බවත්ය. ඒ අනුව ඉන්දීය සගර කලාපීය ආරක්ෂාව මුල් කරගෙන ඉන්දු-චීන ගැටුම උත්සන්න වී ඇති බවත්, ඉන්දියාව සිය සාගර කලාපයේ ආරක්ෂාව ඉතා දැඩි කොට ඇති බවත්, හදිසියේම ඉන්දීය නාවික හමුදාපතිවරයා ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වූ ආකාරයත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු. එමෙන්ම වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්වය යටතේ ඉන්දියාව ත්‍රිකුණාමලයට ඇස ගසාගෙන සිටින බවද එහිදී අපි සඳහන් කර සිටියෙමු.
අමෙරිකාවෙන් එන්න යන නියෝජිතයා!
මෙවර අප හෙළිකරන්නට සූදානම් වන්නේ මෙම සිදුවීම් පෙළට අදාළව සිදුවන්නට නියමිත කිසිවකුත් නොදන්නා තවත් විශේෂ සිදුවීමකි. ඒ, ලබන 10 වැනිදා ඇමෙරිකාවේ ජෝ බයිඩන් රජයේ විශේෂ නියෝජිතයකු ලංකාවට පැමිණීමට සූදානමින් සිටින ආකාරයය. මෙම විශේෂ නියෝජිතයා බයිඩන් පාලනය විසින් දකුණු ආසියානු කලාපය භාරව පත්කළ ආරක්ෂක උපදේශකවරිය වූ ‘සුමෝනා ගුහා’ය. ඇය ඉන්දීය සම්භවයක් සහිත ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනීමක් ඇති විද්වතෙක් ලෙස ප්‍රකටය. මෙම සංචාරයේදී ඇය ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව අති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ලංකාවෙන් ඉන්දියාවට!
කෙසේ වෙතත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඇය ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් සංචාරය කිරීමට නියමිතය. එහිදීද ඉන්දීය සාගර කලාපය තුළ මතුව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ. පසුගිය දින කිහිපය ඇතුළත ඉන්දීය රජයේ ඉහළ පෙළ නිලධාරීන් ලංකාවට පැමිණ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති පසුබිමක බයිඩන් පාලනයේ ඉහළ පෙළ ආරක්ෂක නියෝජිතයකු ලංකාවට පැමිණීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
චීනය කලබල වූ කැබිනට් පත්‍රිකාව!
පසුගිය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලංකාවට ලැබෙනු ඇති බව මුලින් මහ බැංකුව ප්‍රකාශ කොට තිබුණත් මේ වන විට එය ලබන මාර්තු දක්වා කල් යෑමට ඉඩ ඇති බවක් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරුන්ම ප්‍රකාශ කරන ආකාරයක් දැකගන්නට ඇත. ඒ සඳහා හේතුවී ඇත්තේ චීනය සහ ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට මූල්‍ය අරමුදල විසින් කොන්දේසියක් ඉදිරිපත් කොට තිබීමය. තවමත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයෙන් සහ ඉන්දියාවෙන් නිශ්චිත වචනයක් නොලැබීම හේතුකොට ගෙන මූල්‍ය අරමුදලේ සාකච්ඡා එක තැන පල්වන ආකාරයක් දැකගැනීමට පුළුවන. යම් හෙයකින් මේ රටවල් දෙකෙන් එකක් හෝ අවුල් වුවහොත් ණය නොලැබීමේ අවදානමක්ද මතුව නැතුවා නොවේ.
අලුත් ඉල්ලීම් එයි!
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමෙන් පසු චීනය බොහෝ කලබලයට පත්වූ බවක් දැකගත හැකි විය. ඒ, එදින කැබිනට් රැස්වීමට තීරණාත්මක ව්‍යාපෘති රැසක් ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවට ඔවුන්ට තොරතුරු වාර්තා වී තිබීම නිසාය. ඒ අනුව මේ පිළිබඳ දීර්ඝ සොයාබැලීමකින් පසු චීනයද මේ වන විට තමන්ට අවශ්‍ය ලංකාවේ ව්‍යාපෘති පිළිබඳ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ආරංචිය. දැනටමත් ඔවුන් ඉන් කොටසක් ආණ්ඩුවට ඉදිරිපත් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
බැලන්ස් කරන්න පුලුවන් වෙයිද?
ඒ අනුව දැනට මතුව ඇති තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය යන දෙකම සමබර කරගැනීමට නම් දෙරටම ඉල්ලන ව්‍යාපෘතිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දෙරටටම ලබාදී ඒ රටවල් දෙකම සතුටු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බවක් දැකගන්නට තිබේ. යම් හෙයකින් එසේ නොකළහfාත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ අනුව ලංකාවේ ව්‍යාපෘති මුල් කරගෙනද ඉන්දියාව හා චීනය අතර සීතල යුද්ධයක් හටගෙන ඇති බවක් මේ සිදුවීම් හරහාද සැකගැනිමට පුළුවන.
විරෝධයේ අලුත්ම රැල්ල!
පසුගිය සතියේ සභාපතිවරු මුල් කරගෙන විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධානම සිදුවීම වූයේ මග නැගුම ආයතනයේ සභාපතිවරයාට මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට අලුත් අවුරුද්දේ සේවකයන්ගෙන් එල්ල වූ ප්‍රතිචාරයය. අලුත් අවුරුද්දේ මග නැගුම පෑලියගොඩ පිහිටි වැඩපළේ අලුත් අවුරුදු කෑම මේසයක් සූදානම් කොට තිබූ අතර ඊට සහභාගි වීමට පැමිණි සභාපතිවරයාට හා ඉහළ පෙළේ නිලධාරීන්ට සිදුවූයේ සේවකයන්ගේ කිරිබත් ප්‍රහාරවලට ලක්වීමටය. ඊළඟට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අලුත් අවුරුද්දේ සේවකයන් කැඳවා තිබුණු අතර සභාපතිවරයා කතා කිරීමට සූදානම් වෙද්දී සියලු සේවක සේවිකාවන් නැගිට සභාපතිවරයාට පිටුපා ගිය ආකාරයක් දැකගත හැකි විය. බොහෝ දෙනා එහිදී සඳහන් කොට තිබුණේ අරගලයෙන් ජනතාව විසින් නායකයන් පලවා හැරීමෙන් අනතුරුව ආයතනවල සේවකයන් විසින් දේශපාලන පත්කිරීම් පිළි නොගන්නා අලුත් රැල්ලක් රට තුළ මතුවෙමින් පවතින ආකාරයක් දැකගත හැකි බවකි.
වැලේ වැල් නැතිවත් බෝනස් දීලා!
මීට අමතරව පසුගිය සතියේ තවත් සභාපතිවරුන් දෙදෙනෙක්ද රටේම පමණක් නොව ජනාධිපතිවරයාගේ අවධානයටද ලක්විය. ඒ, වෙන කවුරුවත් නොව ශ්‍රීලන්කන් සභාපතිවරයා වූ අශෝක් පතිරගේ මහතාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වූ මොහොමඩ් උවයිස් මහතාත්ය. මොවුන් දෙදෙනා රටේම අවධානයට ලක්වූයේ කෝටි ප්‍රකෝටි ගණන් මෙම ආයතන දෙක පාඩු ලබන බව කියමින් මේ වසරේද එහි සේවකයන්ට බෝනස් ගෙවීමට පියවර ගෙන තිබීම නිසාය. ඒ සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය කෝටි 58ක්ද, තෙල් සංස්ථාව කෝටි 1,200ක්ද වැයකර ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද වහාම වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබුණත් ඉන් ඉදිරියට යමක් වේදැයි දැන්ම තියා කාටවත් කිව නොහැකිය.
ශෂීන්ද්‍ර කෝට් ගලවා යළි සාටකයට!
රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන දෙදෙනා පසුගිය කාලයේදී දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන් සමග අර්බුදයක් නිර්මාණය කරගෙන සිටි බව පසුගිය අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මහින්ද සහ බැසිල් සම්බන්ධ වූ දේශපාලන සිදුවීම් රැසක්ම චමලුත්, ශෂීන්ද්‍රත් මඟහැර සිටි බවකි. එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ පවුලට කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව සිටින බවත් එහිදී අපි පෙන්වා දුන්නෙමු. ඒ සමීප වීම කොතෙක්ද කියනවා නම් වරක් මහින්ද විසින් ශෂීන්ද්‍රව දේශපාලන වශයෙන් භෞතීස්ම කරමින් පලඳවනු ලැබූ කුරහන් සාටකය නොමැතිව ටයි කෝට් හැඳ ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු පැමිණි බවක්ද අපි ඡායාරූප සහිතව පෙන්වා දුන්නෙමු.
කෙසේ වෙතත් මේ වන විට අපට දැනගන්නට ලැබී ඇත්තේ ශෂීන්ද්‍ර නැවතත් ටයි කෝට් අතහැර සුපුරුදු කුරහන් සාටකය පැලඳ පාර්ලිමේන්තු පැමිණෙන බවකි. ඒ, ජනාධිපතිවරයා සමග හිත් අමනාපයක් නිසාද, එසේත් නැතිනම් නැවතත් රාජපක්ෂ පවුල සමග එකතු වී ගමනක් යන්නට තීරණය කර ඇති නිසාදැයි කියන්න දන්නේ නැත.