‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News
මේ, 2004 එවක ජනාධිපති චන්ද්‍රිකා, ජවිපෙ එක්ක එකතු වෙලා මහ මැතිවරණයට තරග කරන්න යන වෙලාවේ ජ්‍යොතිෂවේදියෙක් ඇයට දුන්න උපදේශයය. ඒත් චන්ද්‍රිකා ඒ උපදේශය ගණන් ගත්තේ නැත. ඇයට ඕනෙ වුණේ රනිල්ගේ ආණ්ඩුව වට්ටවලා රනිල් සහ යූ.ඇන්.පී.ය ගෙදර යවන්නටය. ඇය ජවිපෙ සමග ගිවිසුමක් අස්සන් කොට එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකොට මහ මැතිවරණයට ගිහින් දින්නාය.
2004 මහ මැතිවරණය 2024 ජවිපෙ දින්න මහ මැතිවරණය මෙන් දේශපාලන සුනාමියක් විය. බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායක ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙක විය. එක වූයේ ජවිපෙ විජිත හේරත්ය. අනෙක් දිස්ත්‍රික්කවලද ශ්‍රීලනිප පතාකයන් දෙක වී ජවිපෙ අපේක්ෂකයන් එක විය. ශ්‍රීලනිපයේ පතාකයන් බොහොමයකට පාර්ලිමේන්තුවට තේරී පත්වීමටද නොහැකි විය. ඔවුන්ගේ තැන ජවිපෙ හිමිකරගෙන ජවිපෙ ආසන 41ක් දිනාගත්තේය. ඒ ප්‍රතිඵලයෙන් චන්ද්‍රිකා පමණක් නොව ශ්‍රීලනිපයම හොල්මන් විය. ජවිපෙ මන්ත්‍රීවරුන් වූ අනුර කුමාර, විජිත හේරත්, ලාල්කාන්ත, චන්ද්‍රසේන විජේසිංහ කැබිනට් ඇමැති ධුරවල දිවුරුම් දුන්හ. බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති නියෝජ්‍ය ඇමැති ධුරවල දිවුරුම් දුන්හ.
කැබිනට් මණ්ඩලය පත්කළ විගස චන්ද්‍රිකා සහ ජවිපෙ අතර ගැටුමක් නිර්මාණය විය. එයට හේතුව අනුර කුමාර සිය කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට මහවැලි අමාත්‍යාංශය ඉල්ලා සිටීමය. එහෙත් එවක ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල ඒ අමාත්‍යාංශය තමන්ට හිමි කරගෙන තිබූ අතර, ඒ අමාත්‍යාංශය අනුරට දෙන්න අකැමැති විය.
ඒ, පළමු ගැටුමය. ඊළඟට පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න චන්ද්‍රිකා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවලට කැබිනට් මණ්ඩලයේදී ජවිපෙ ඇමැතිවරු විරුද්ධ වූහ. චන්ද්‍රිකා, ජවිපෙ කොන්දේසි මත අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව සමග ගනුදෙනු කිරීම නතර කර තිබිණි. අයි.එම්.එෆ්. සිය කොළඹ කාර්යාලය වසාදමා ලංකාවෙන් පිටව ගොස් තිබිණි.
සුනාමිය ලංකාව ගිලගත්තේ මෙන්න මේ කාලයේය. සුනාමියෙන් ලංකාවම කම්පනයට පත්විය. සුනාමියෙන් ලංකාව ගොඩගැනීමට ආධාර පැකේජයක් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ යුරෝපය, නෝර්වේ මැදිහත් වීමෙන් යෝජනා කළ අතර, සහන පැකේජය ගන්න ආණ්ඩුවත් එල්.ටී.ටී.ඊ.යත් යාන්ත්‍රණයක් හදාගත යුතු යැයි නිර්දේශ කළේය. ආණ්ඩුවේ නියෝජිතයන් සහ එල්.ටී.ටී.ඊ. නියෝජිතයන්ගෙන් සමන්විත සුනාමි සහන මණ්ඩලය නොහොත් පී-ටොම්ස් කරළියට ආවේ එසේය. ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාකච්ඡා සඳහා මැදිහත්කරු වූයේ නෝර්වේය.
ජවිපෙ චන්ද්‍රිකා සමග 2004 මහ ඡන්දයට එකතු වෙලා යන්න ගිවිසුම් ගැහුවේ රට පාවාදෙන කිසිදු ගිවිසුමකට එල්.ටී.ටී.ඊ.ය සමග අස්සන් නොකරන කොන්දේසිය මතය. ඒ වගේම නෝර්වේ මැදිහත් වීමෙන් එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා නොකරන කොන්දේසිය මතය. චන්ද්‍රිකා මේ කොන්දේසි සියල්ල කඩ කළාය.
මේ වෙනකොට ජවිපෙ අභ්‍යන්තරයෙන් ජවිපෙ නායකයන්ට ලොකු බලපෑමක් එල්ල වෙමින් තිබුණේ චන්ද්‍රිකාත්, ආණ්ඩුවත් සුනාමි ව්‍යසනය නිසා දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වන නිසා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටය. කැබිනට් මණ්ඩලයේදී චන්ද්‍රිකා සමග ගැටුම් ඇතිකර ගත්තත් ආණ්ඩුවෙන් එක වරම ඉවත් වෙන්න ජවිපෙ බය විය. චන්ද්‍රිකාගෙයි ආණ්ඩුවෙයි කුණු කරගහගෙන දවසින් දවස ජනතා අප්‍රසාදයට පත් නොවිය හැකි නිසා නිලය අල්ලා ආණ්ඩුවෙන් ඉවත් වීමට ජවිපෙ තීරණය කරනු ලැබීය. චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩලය ඒ සඳහා ජවිපෙට හොඳ අවස්ථාවක් විය. අඬන්න ඉන්න බබාට ඇඟිල්ලෙන් ඇන්නා සේ චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය අස්සන් කළ විට ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් විය. ජවිපෙ ඉවත් වූයේ වීරයන් මෙන්ය. යළි ජවිපෙ වටා මිනිස්සු එක්රොක් වෙන්න පටන් ගත්හ. ජවිපෙ මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් ලබාගත් පන්නරය පාවිච්චි කරලාය.
මහින්දව ජනාධිපති කිරීමෙන් පසු ජවිපෙ මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නවාද යන්න ගැන දෙගිඩියාවෙන් සිටියහ. මහින්දත් ජවිපෙට ඇමැතිකම්දී ආණ්ඩුව තුළ අර්බුද හදාගන්න කැමැති නොවීය. මේ වෙනකොට මහින්දත් නෝර්වේ මැදිහත් වීමෙන් යළි එල්.ටී.ටී.ඊ.ය සමග සාම සාකච්ඡා පටන්ගෙන ජවිපෙ දැඩි අපහසු තත්ත්වයකට පත්කොට තිබිණි. මහින්ද එල්.ටී.ටී.ඊ.ය සමග කරන සාකච්ඡා නිසා තම සායම යන බව ජවිපෙ තේරුම්ගෙන සිටියේය. චන්ද්‍රිකාගෙන් වෙන්වී විපක්ෂයට ගියා සේ මහින්දගෙන් වෙන්වී විපක්ෂයට ගියොත් ජනතාව ඉදිරියේ ජවිපෙ විහිළුවක් බවට පත්වෙන නිසා මහින්දව යුද්ධයට තල්ලු කරගන්න ජවිපෙ සමත් විය. ඒත් මහින්ද යුද්ධය පටන්ගත් මුල් කාලයේ මහින්දට එල්.ටී.ටී.ඊ. ගුවන් ප්‍රහාරවලට සහ දරුණු පරාජයන්ට මුහුණ දීමට සිදුවිය. රටේ යුදමය වාතාවරණය නිසා ආර්ථිකය අර්බුදයකට ගොස් මිනිස්සු පීඩනයට ලක්විය. ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමෙන්ද ලංකාව පීඩාවට පත්විය. ජවිපෙ ගණන් හැදීම වූයේ මහින්දට යුද්ධය දිනන්න බැරි බවය. යුද්ධය දිගට ඇදුණොත් රට ආර්ථික අගාධයකට ගොස් එහි වගකීම තම කර මත වැටෙයි කියන බයටත්, මහින්ද ජවිපෙ තුළ සිටි විමල් වීරවංශ වැනි දේශප්‍රේමීන් කඩන නිසා හටගත් වෛරයටත් 2008 මහින්දගේ අයවැය පරාජය කොට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ජවිපෙ තීරණය කළේය. ඒත් ඊට පෙර මහින්ද ජවිපෙ දෙකඩ කොට අයවැය සම්මත කරගත්තේය.
චන්ද්‍රිකාවත් මහින්දවත් බලයට ගෙනැවිත් ජවිපෙ ඔවුන්ගෙන් වෙන්වන්නේ ඔවුන් සමග ආණ්ඩු කරන්න ගොස් ඔවුන්ගේ පාපකර්මවලට කරගහන්න බය නිසාය.
හැබැයි අද තියෙන්නේ ජවිපෙ නායක අනුර ජනාධිපති ධුරය දරන ජවිපෙ ආණ්ඩුවකි. අද අනුරගේත්, ආණ්ඩුවේත් පවු ඔක්කොටම කරගහන්න වෙලා තියෙන්නේ ජවිපෙටය.
‘චන්ද්‍රිකාගෙන් මහින්දගෙන් වෙන්වුණා වගේ ජවිපෙට අනුරගෙන් වෙන්වෙන්න පුළුවන්ද…?’
අනුර ජවිපෙ නායකයාය. ජවිපෙ චන්ද්‍රිකාගෙන් වෙන්වන විට චන්ද්‍රිකා ශ්‍රීලනිප නායිකාවය. මහින්දගෙන් වෙන්වන විට මහින්ද ශ්‍රීලනිප නායකයාය. ජවිපෙට චන්ද්‍රිකාගෙන් මහින්දගෙන් වෙන්වුණා වගේ අනුරගෙන් වෙන්වෙන්න බැරිය. අනුරගෙන් වෙන්වෙන්න නම් ජවිපෙ අනුරව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට අලුත් නායකයෙක් පත්කරගත යුතුය. ජවිපෙ අනෙක් පක්ෂ වගේ නොවේ. ඕනෑම මොහොතක නායකයන් හලන්න ජවිපෙට පුළුවන. ජවිපෙ සෝමවංශව හැලුවේ එහෙමය. ඒත් එදා සෝමවංශ කියන්නේ නිකම්ම නිකම් පක්ෂ සාමාජිකයෙකි. අද ජවිපෙ නායක අනුර විධායක ජනාධිපතිය. එහෙම බලනකොට ඒ වැඩේ ලේසි නැත. ඒක ජවිපෙ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් බැඳගෙන පැලවත්තට පැන්නා වගේ වැඩකි.










