ලෝක සිතියමක කොහේවත් සලකුණු කර නැති හිමාලයේ හිම කඳු අතර සැඟවුණු අද්භූත නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? එහි ජීවත් වන මිනිසුන් කිසිදා වයසට යන්නේ නැති බවත් පිරිසිදුම ආත්මයක් ඇති කෙනකුට මිස සාමාන්‍ය මිනිසකුට එය කිසිදා ඇසින් දැකිය නොහැකි බවත් පැරණි ජනප්‍රවාදවල කියැවෙනවා.Sri Lanka Latest News
බැලූබැල්මට මේක සිනමාපටයකට හෝ නවකතාවකට විතරක් සීමාවුණු කතාවක් වගේ පෙනුණත්, මේ ‘ෂැම්බලා’ (Shambhala) අබිරහස පිටුපස තිබෙන්නේ ඉතාමත් රසවත් ඓතිහාසික සංස්කෘතික සහ ආධ්‍යාත්මික පසුබිමක්. අද අපි සොයාබලමු මොකක්ද මේ ෂැම්බලා රාජධානියේ සැබෑ රහස කියලා…
‘ෂැම්බලා’ කියන්නේ ටිබෙට් බෞද්ධ මෙන්ම හින්දු සම්ප්‍රදායන් තුළ අතිශය පූජනීයත්වයෙන් සලකන ආධ්‍යාත්මික රාජධානියක්. සංස්කෘත භාෂාවට අනුව මෙහි සරල අර්ථය වන්නේ ‘සාමයේ සහ නිශ්ශබ්දතාවයේ ස්ථානය’ යන්නයි. හින්දු ග්‍රන්ථවලට අනුව මහා විෂ්ණු දෙවියන්ගේ දසවැනි අවතාරය වන ‘කල්කි’ උපත ලබන්නේද මේ පූජනීය භූමියේයි.
ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායට අනුව ෂැම්බලා කියන්නේ අපි මේ ජීවත් වන පෘථිවියේ භෞතිකව පිහිටලා තියෙන පයින් ගිහින් සොයාගත හැකි නගරයක් නෙවෙයි. එය උසස් ආධ්‍යාත්මික මානයක් දැඩි භාවනාවකින් සහ මනස දියුණු කරගැනීමකින් තොරව කිසිවකුට එහි සැබෑ ස්වභාවය දකින්න ලැබෙන්නේ නැහැ.
කාලචක්‍ර තන්ත්‍රය ෂැම්බලා පිළිබඳ ප්‍රධානතම ආඛ්‍යානය හමුවන්නේ බෞද්ධ කාලචක්‍ර තන්ත්‍රය තුළයි. එහි සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ විසින් ෂැම්බලා රාජධානියේ ‘සුචන්ද්‍ර’ රජුගේ ඉල්ලීමකට අනුව මේ උතුම් ධර්මය දේශනා කර තිබෙනවා. පසුව 11 වැනි සියවසේදී පමණ මේ කාලචක්‍ර බුදුදහම ටිබෙටය වෙත ව්‍යාප්ත වී තිබෙනවා. මේ ග්‍රන්ථවල පුදුමසහගත අනාවැකියක් තියෙනවා. ඒ තමයි අනාගතයේදී මුළු ලෝකයම යුද්ධ ක්‍රෝධය සහ අන්ධකාරයෙන් පිරිලා යන කාලෙක ෂැම්බලාවේ 25 වැනි පාලකයා වන ‘කල්කි රජතුමාල’ (රෞද්‍ර චක්‍රින්) මහා සේනාවක් සමග පැමිණ ලෝකයේ අන්ධකාර බලවේග පරාජය කරන බව. ඉන්පසුව ලෝකයේ අලුත් ‘ස්වර්ණමය යුගයක්’ ආරම්භ වන බව එහි දැක්වෙනවා. කාලචක්‍ර තන්ත්‍රයේ ගණනය කිරීම්වලට අනුව මේ මහා පෙරළිය සිදුවන්නේ ක්‍රි.ව. 2424 වර්ෂයේදීයි
මේ අද්භූත නගරය සෙවීම පිටුපස ලෝකයම හොල්ලපු දේශපාලන නායකයන්ගේ අඳුරු අතීතයකුත් හැංගිලා තියෙනවා. හිට්ලර් සහ ඔහුගේ දකුණු අත වගේ හිටපු හිම්ලර් මේ ෂැම්බලා කතාව ගැන මාර විදිහට උමතු වෙලා හිටියා. 1938 වසරේදී ඔවුන් Ahnenerbe නමින් විශේෂ නාසි ගවේෂණ කණ්ඩායමක් ටිබෙටයට පිටත්කර හැරියා. ඔවුන් විශ්වාස කළේ විශ්වයේ අසීමිත බලය සැඟවුණු ‘පෘථිවියේ අක්ෂය’ තියෙන්නේ මේ ෂැම්බලා ගුහාවක කියලයි. නමුත් අවසානයේ ඔවුන්ට කිසිදු සාක්ෂියක් හමුවුණේ නැහැ.
රුසියානු ගවේෂකයකු වූ නිකොලායි ප්‍රිවල්ස්කි 1880 ගණන්වල කුන්ලූන් කඳුකරයේ ෂැම්බලාව සෙවීමට මහා වෙහෙසක් ගත්තා. එපමණක් නොවෙයි ඉතිහාසඥ ඇන්ඩි්‍ර ස්නාමෙන්ස්කිගේ Red Shambhala කෘතියට අනුව පැරණි සෝවියට් බොල්ෂෙවික්වරුන් පවා ටිබෙටයේ දේශපාලන විප්ලවයක් ඇති කිරීම සඳහා මේ ෂැම්බලා අනාවැකිය තමන්ගේ වාසියට පාවිච්චි කරන්න උත්සාහ කර තිබෙනවා.
විද්‍යාත්මකව හෝ පුරාවිද්‍යාත්මකව බලද්දී ෂැම්බලා කියලා නගරයක් පෘථිවිය මත පවතින බවට කිසිදු සාක්ෂියක් නැහැ. විද්‍යාඥයන් පවසන්නේ මෙය හුදෙක් සංකේතාත්මක උපමාවක් පමණක් බවයි.
චීනයේ ප්‍රධාන පුවත්පතක් වන ‘චයිනා ඩේලි’හි සඳහන් වූ ලිපියකට අනුව 2004 වසරේදී පර්යේෂකයන් කණ්ඩායමක් ටිබෙටයේ ‘සකුම්බුම්’ ආරාමයෙන් ෂැම්බලාව පිළිබඳ ඉතා දුර්ලභ ලේඛනයක් සොයා ගත්තා. නමුත් එම ගවේෂණය අවසානයේ ඔවුන් තේරුම්ගත් දේ පර්යේෂක බ්‍රාම් මෙසේ පවසනවා.
‘ෂැම්බලාවේ සැබෑ අර්ථය වෙන්නේ එය භෞතිකව පොළොව මත සෙවීම නෙවෙයි එය අපේම මනස ඇතුළේ නිර්මාණය කරගැනීමයි’
බටහිර ලෝකය මුළා කළ ‘ෂැන්ග්‍රි ලා’
ජේම්ස් හිල්ටන් ලියූ සුප්‍රකට ‘ලොස්ට් හොරයිසන්’ නවකතාව හරහා බටහිර ලෝකය මේ කතාව උඩුයටිකුරු කළා. ඔහු කිසිදා ආසියාවට පය නොතැබූ කෙනෙක් වුණත් ෂැම්බලා කියන වචනය වැරදියට උච්චාරණය කරමින් ‘ෂැන්ග්‍රි ලා’ නමින් අමරණීය මිනිසුන් වසන මනඃකල්පිත නගරයක් ඔහු ලෝකයට හඳුන්වා දුන්නා. අද වනවිට බටහිර ලෝකයේ භාවනා මධ්‍යස්ථාන හෝටල් ජාල සහ ස්පා සඳහා මේ නම බහුලව භාවිත කරන්නේ සාමයේ සංකේතයක් විදිහටයි.
අපි හැමෝම ෂැම්බලාව කඳු අතර සෙව්වට කාලචක්‍ර තන්ත්‍රයට අනුව එහි සැබෑ අර්ථය හරිම ලස්සනයි. අනාගතයේදී පැමිණෙනවා යැයි කියන ‘අන්ධකාර බලවේග’ කියන්නේ පිටසක්වළ ජීවීන් හෝ වෙනත් මිනිස් කොට්ඨාසයක් නෙවෙයි. මිනිස් හිත් තුළ රජ කරන අවිද්‍යාව, තණ්හාව, ක්‍රෝධය සහ ආධ්‍යාත්මික පිරිහීමයි.
ඒ අන්ධකාරය පරදා කල්කි රජු ජය ගන්නවා කියන්නේ මිනිස් සංහතියේ සාමූහික විඥානය අවදි වී ලෝකය පුරා ආදරය, කරුණාව සහ ප්‍රඥාව පැතිරී යාමයි.
එහෙනම් ෂැම්බලාව කියන්නේ කොහේවත් තියෙන නගරයක් නෙවෙයි අපේම හිත් ඇතුළේ තියෙන පිරිසිදු නිසංසල සහ ආධ්‍යාත්මික උත්තරීතර තත්ත්වයයි. අපේ හිත්වල දයාව සහ ප්‍රඥාව වර්ධනය කරගන්නා දවසට අපිට අපේම ‘අභ්‍යන්තර ෂැම්බලාව’ සොයාගන්න පුළුවන් වේවි.
CHAMATH VLOGS










