• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

චීන නැවෙන් ලංකාව අලුත් යුද්ධයකට පැටලෙයි! ඉන්දියාවයි-අමෙරිකාවයි නිල විරෝධය පළ කරයි! ගෝඨා අගමැති වෙන ලකුණු! රනිල් මහජන්දෙකට ලෑස්ති වෙයි! අලියයි පොහොට්ටුවයි අලුත් ලකුණකින් එක්ව ජන්දෙට එයි! සජබෙ කඩන්න හදන අවතාරය අල්ලගනී! රාජ්‍ය රහස් -EXCLUSIVE

August 7, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

බැසිල් යන්න ලෑස්ති වෙයි!

ලන්සා රනිල්ට බැහැලාම වැඩ!

ඇමැතිකම් අරන් ආණ්ඩුවට යන්න හදන සජබෙ මන්ත්‍රීවරු!

අර්බූද රැසක් එක පිට එක එයි!

මේ දිනවල ලංකාව සිටින්නේ සමාජ ආර්ථික දේශපාලන ජාත්‍යන්තර අර්බුද රැසකින් එකවර පහර කමිනි. රටේ සමස්ත ක්ෂේත්‍ර එකවර කඩාවැටීම හරහා සමාජ අර්බුදයක් මතුව ඇති අතර වසර ගණනාවක් තිස්සේ කෙමෙන් කෙමෙන් මතුව ආ මූල්‍ය අර්බුදය එකවර පුපුරා යෑමෙන් දරුණු ආර්ථික අර්බුදයක්ද රට තුළ මේ වන විට මතුව තිබේ. ඊට සමගාමීව දේශපාලන ක්ෂේත්‍රයේද බරපතළ කඩාවැටීමක් මතුව ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් බිහි නොවීම තුළය. ඉතිහාසයේ පළමු වතාවට ජනවරමකින් බලයට පැමිණි විධායක ජනාධිපතිවරයකුට ජන බලය ඉදිරියේ දණ නවමින් රටින් පලා යාමට සිදුවිය. ඒ සමගම විපක්ෂයේ චෝදනාව වී ඇත්තේ කිසිදු ජනබලයක් නොමැති පාලකයකු ජනමතය විකෘති වී ඇති පාර්ලිමේන්තුවක් හරහා තේරී පත්ව ඇති බවත්, ඒ තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය මෙතෙක් ස්ථාවර කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නොමැති බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා වැඩ භාරගත් වහා ගෝඨා ගෝ ගම පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරය මුල් කරගෙන රටට මෙතෙක් තිබූ ජාත්‍යන්තර සහයෝගයද එක රැයින් අහිමි වීමේ අවදානමකටද ලංකාව මුහුණ දුන්නේය. ඒ හරහා රටම බලාපොරොත්තුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායද මේ වන විට ඇත්තේ බරපතළ අවදානමකට ලක්වය. එමෙන්ම ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළද ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හරහා අලුත් අර්බුදයක් මතුකර ඇති බවක් පැහැදිලිවම දැකගන්නට පුළුවන.

චීන නැවෙන් ආ අලුත්ම අර්බූදය!

මේ ආකාරයේ අර්බුද ගණනාවක රට ගිලී තිබියදී තවත් අතිශය බරපතළ ජාත්‍යන්තර අර්බුදයකට පාර කපමින් පසුගිය සතියේ ලංකා ආණ්ඩුව චීනයේ අතිශය සංවේදී සන්නිවේදන උපකරණ සහිත ‘යුආන් වැන්ග් 5’ නෞකාවට ලංකාවට පැමිණීමට අවසර ලබාදීම විශේෂ සිදුවීමක් විය. චීනය මේ දිනවල සිටින්නේ ජාත්‍යන්තර යුද්ධයක මුවවිට යැයි කිවහොත් එය එතරම් අතිශයෝක්තියක් නොවේ. මන්ද යත් ඇමෙරිකානු කතානායකවරිය වන නැන්සි පොලොසි මහත්මියගේ හදිසි තායිවාන සංචාරය මුල් කරගෙන දැනටමත් චීනය, ඇමෙරිකාව හා තායිවානයට එරෙහිව යුද ප්‍රකාශ කොට තිබේ. චීනයේ දැඩි විරෝධය හමුවේ ඇමෙරිකානු කතානායකවරිය තායිවානයට ගොඩබැසීමත් සමග චීනය තායිවාන මුහුදු සීමාවේ සජීවී යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. කතානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට යද්දී තායිවාන ගුවන් සීමා උල්ලංඝනය කරමින් චීනය සිය යුද ගුවන් යානා එම කලාපයට ඉහළින් පියාසර කරවීය. ඇමෙරිකාවද ඊට වහා ප්‍රතිචාර දක්වමින් සිය යුද නැව් 3ක් තායිවාන මුහුදු සීමාව කරා රැගෙන ඒමට පියවර ගෙන තිබිණි. මෙම කලබලය හරහා තායිවානය මුල් කරගෙන චීන-ඇමෙරිකා යුද ගැටුමක් මතුවනු ඇති බව බොහෝ දෙනා අනුමාන කළද අවසන් මොහොතේ එය දෙපැත්තේම කොනිත්තා ගැනීම්වලින් පමණක් අවසන් වූ ආකාරයක් දැකගත හැකි විය.

කලාපයේ අර්බූදයකට අත වනයි!

මේ අර්බුදය මධ්‍යයේ චීනය නැවත වතාවක් දකුණු ආසියානු කලාපයේ බලවතා මෙන්ම සිය පැරැණි හතුරාද වන ඉන්දියාව අවුස්සාලමින් තමන්ට අයත් යුද නෞකාවක් ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළු කිරීම සඳහා ලංකාවෙන් අවසර ඉල්ලා තිබිණි. ඒ අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සිය යුද නෞකාවක් වන ‘යුආන් වැන්ග් 5’ නෞකාවට ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදෙන ලෙස ලංකා ආණ්ඩුවෙන් නිල ඉල්ලීමක් කරමිනි. ලංකාවේ මාධ්‍ය මේ එන නෞකාව සම්බන්ධ සිද්ධියෙහි ඇති භයානකකම රටට නිසි ලෙස නොපෙන්වුවද අපට ඇති තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ මෙම නෞකාව හරහා අතිශය භයානක ජාත්‍යන්තර අර්බුදයකට ලංකාවට තල්ලු වීමට ඉඩ ඇති බවකි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් දැවැන්ත මූල්‍ය සහායක් අපේක්ෂාවෙන් සිටින අවස්ථාවකදී සහ ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ රටට එරෙහිව යෝජනාවක් සම්මත වීමේ බරපතළ අවදානමක් මතුව ඇති වාතාවරණයක් තුළ මෙම චීන නෞකාවේ පැමිණීම හරහා කලාපීය බලවතුන්ගේ අර්බුදයකටද රට මැදිකොට ඇති බවක් දැකගන්නට ඇත.

2014දිත් මේ විදිහටම චීන සබ්මැරීනයක් ආවා! 2015 ආණ්ඩුව පෙරළුණා!

චීන නෞකාව සම්බන්ධ අර්බුද ලංකාවට අලුත් අත්දැකීමක් නොවේ. 2014දී එවක පැවැති බලවත්ම ආණ්ඩුව ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද මේ චීන නෞකා අර්බුදයට මුහුණ දුන්නේය. එදාද මේ අයුරින්ම චීනය සිය සබ්මැරීනයක් කොළඹ වරායට ඇතුළු කිරීමට ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලා තිබිණි. මේ බව වාර්තා වීමත් සමග දැඩිව කලබලයට පත්වූ ඉන්දියාව කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඊට අවසර නොදෙන ලෙස ලංකාවට දැනුම් දී තිබුණද මහින්දගේ ආණ්ඩුව එම ඉල්ලීම නොතකා චීන සබ්මැරීනයට කොළඹ වරායට පැමිණිමට අවසර ලබා දුන්නේය. ඇමෙරිකාවද එම සිද්ධියට මැදිහත් වූ නමුත් මහින්දගේ ආණ්ඩුව එයද ගණනකට ගත්තේ නැත. ඒ වන විට චීන ණය ආධාර යටතේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක්ම ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබීම හේතුවෙනුත්, චීනය හා රාජපක්ෂවරුන් අතර පැවැති දැඩි මිත්‍රත්වය හේතුවෙනුත් මහින්දගේ ආණ්ඩුව එදා ඉන්දු-ඇමෙරිකා විරෝධය නොතකා චීන සබ්මැරීනයට ලංකා මුහුදු සීමාව විවර කර දුන්නේය. බොහෝ දෙනා ගණන් හදා ඇති ආකාරයට 2009දී යුද්ධය දිනා ලංකාවේ සදාකාලික පාලන බලය රාජපක්ෂවරුන් සතු කරගනු ඇති බවට සැලකුණු මහින්දගේ ආණ්ඩුව 2015දී ගෙදර යවන තැනට පාර කැපුණේ මෙසේ කොළඹට ආ චීන සබ්මැරීනයය.

යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනෙට වික්කා! 2019 ආණ්ඩුව පෙරළුණා!

ඉන් අනතුරුව 2015 යහපාලන රජය බලය අත්පත් කරගෙන එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් හම්බන්තොට වරාය චීනයට පවරා දෙද්දී නැවත වතාවක් ඉන්දියාව කලබලයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් මතුවිය. ඒ අවස්ථාවේදී ඉන්දියාව කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් හම්බන්තොට වරාය චීනයට ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කළද එම විරෝධය නොතකා රනිල් හම්බන්තොට වරාය චීනයට ලබාදීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් වූයේ එතෙක් ඉන්දියාව හා රනිල් අතර තිබූ හොඳ හිත පළුදු වීමය. නමුත් ඉන්දියාව එකල දැඩිව ලංකාවට දැනුම් දී තිබූ කාරණයක් වූයේ කලාපයේ අරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු යුද නැවක් හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බවය. අපට ඇති ආරංචිවලට අනුව නම් කියැවෙන්නේ මෙම ඉන්දීය බලපෑම මුල් කරගෙන එවක ආණ්ඩුව ඊට අදාළ වගන්තියක් හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවකි. ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් අප නොදන්නා නමුත් මේ සිදුවීමෙන් පසු යහපාලන ආණ්ඩුවද හිටි හැටියේ පෙරළී ගියේය.

ඉන්දියාව කුලප්පු වෙයි! මාධ්‍ය හරහා උත්තර දෙයි!

මේ හා සමානවම අදද මතුව ඇත්තේ චීන නෞකාවක් මුල් කරගෙන බරපතළ තත්ත්වයකි. මේ ආකාරයේ චීන නෞකාවක් ලබන 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, එවැන්නක් සඳහා ලංකාව පැත්තෙන් ඊට අවසරයක් ලබාදී තිබේද යන්න පිළිබඳවය. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් කියා තිබුණේ ඉහළ මට්ටමින් ඒ සඳහා අනුමැතියක් ලබාදී නොමැති නමුත් ආරක්ෂක අමාත්‍යංශය සහ විදේශ අමාත්‍යංශය පහළ මට්ටමින් එ සඳහා අනුමැතියක් ලබා දී ඇති බවකි. ඒ වන විට අගමැතිවරයා වශයෙන් පමණක් නොව වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන්ද කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ සමගම ඉන්දීය මාධ්‍යවල ප්‍රධානම පුවත බවට පත්වූයේ ලංකාවට පැමිණිමට නියමිත මෙම චීන නැවය. ඒ අනුව මෙම චීන නැවට අදාළ විවිධ පුවත් ඉන්දීය මාධ්‍ය තුළ වාර්තා වීමට පටන්ගත් අතර බොහෝ දෙනා මතුකර සිටි කාරණයක් වූයේ ඉන්දීය ආණ්ඩුවේ අනුදැනුම සහිතව මෙම පුවත් පළවනවා යැයි කියාය.

කන්න දුන්නු අත හපා කන්න හදනවාද?

කෙසේ වෙතත් එම පුවත් හරහා මෙකී චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් පවතින ආකාරයක් පැහැදිලිව දැකගන්නට ලැබිණි. අනෙක් අතටඉන්දියාව මෙම විරෝධය මතු කළේ ඉකුත් මාස කිහිපය ඇතුළත ලංකාව බරපතළ ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටියදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය පහසුකමක් ලබාදී පළමු අසල්වැසියා වශයෙන් ලංකාව බේරාගත් සිදුවීම පසුබිමේ තබාගෙනය. බොහෝ දෙනා චීනය මෙම අසීරු අවස්ථාවේදී ලංකාවට උදව් උපකාර කරනු ඇති බව සිතා සිටියද චීනය ඒ මොහොතේ ලංකාවේ උදව්වට පැමිණියේ නැත. ඉන්දියාව ඒ මොහොතේ ලබාදුන් ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදල නොවන්නට ඒ මාස කිහිපය ඇතුළත ඉන්ධන, ආහාර සහ ඖෂධ ලංකාවේ නැත්තටම නැතිවී යෑමට ඉඩ තිබිණි.

ඉන්දියාව නිල විරෝධය පළ කරයි!

නමුත් එවැන්නකට ඉඩ නොතබා ලංකාව ගලවා ගැනීමට ඉන්දියාව කටයුතු කළද ඒ පිළිබඳ හෝ නොතකා මෙසේ චීන ඔත්තු බලන නෞකාවකට ලංකාවට පැමිණිම අවසර ලබාදීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා මුණගැසුණු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සිය නිල විරෝධය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි. අපට ඇති ආරංචිවලට අනුව නම් එහිදී ජනාධිපතිවරයා මෙය යුද ක්‍රියාවලියක් නොවන බැවින් එම නැව පැමිණීම නැවැත්වීමට හේතු දක්වන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බව ආරංචිය. ඊට මහකොමසාරිස්වරයා හේතු දැක්වූවාද නැද්ද යන්න පැහැදිලි නැතත් පසුගිය දින කිහිපයේ ඉන්දීය මාධ්‍ය දෙස බලන විට එම පාර්ශ්වයෙන් ඕනෑවටත් වඩා හේතු දක්වා තිබූ බවක් පැහැදිලිවම දැකගත හැකි විය.

නැවෙන් කරන්න පුලුවන් දේ!

ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම පෙන්වා දී තිබුණේ මෙම චීන නැව මගින් කිලෝමීටර් 750ක් දුර පිහිටි ඕනෑම ස්ථානයක ඡායාරූප ගැනීමේ හැකියාවක් පවතින බවකි. එමෙන්ම මෙම ඔත්තු බලන නෞකාවේ ක්‍රියාකාරීත්වය හරහා චන්ද්‍රිකා මාර්ගයෙන් එම කටයුතු ඉතා පහසුවෙන් කළ හැකි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිණි. විශේෂයෙන්ම ඉන්දියාව දැඩි කලබලයට පත්ව ඇත්තේ මෙම වපසරියට දකුණු ඉන්දියාවේ පිහිටි ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර ඇතුළු අධි ආරක්ෂිත ස්ථාන රැසක්ම ඇතුළත්ව තිබීම මුල් කරගෙනය. නමුත් එම තත්ත්වය ලංකා ආණ්ඩුවට දැනුම් දීමට ඉන්දියාව කටයුතු කළේද යන්න පැහැදිලි නැත.

අමෙරිකාවත් සටනට මැදිවෙයි!

කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මෙම චීන නැවට පළවූ විරෝධය ඉන්දියාවෙන් පිටතටද විහිදී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ, ඇමෙරිකාවද මෙම චීන නෞකාවට එරෙහිව ප්‍රබල මැදිහත් වීමක් සිදුකිරීමට තීන්දු කිරීමත් සමගය. ඒ සඳහා ඔවුන්ට මැදිහත් වීමට හැකි වූයේ දකුණු ඉන්දියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම ඉලක්ක කරගෙන පිහිටුවා ඇති ‘කොඩ්’ (QUAD) සංවිධානයේ සාමාජිකයකු ලෙස ඇමෙරිකාවද කටයුතු කිරීමය. එහි සෙසු රටවල් වන්නේ ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාවටය. ඒ සියලු රටවල් චීනය සමග යහපත් අයුරින් සබඳතා පවත්වාගෙන යන රටවල් නොවේ. ඒ අනුව ඇමෙරිකාවද මෙරට සිය තානාපතිවරිය වූ ජූලි චන්ග් මහත්මිය හරහා සිය නිල විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පළකිරීමට පසුගිය සතියේ පියවර ගෙන තිබිණි.ඒ අනුව මෙම සිදුවීම හරහා චීන නෞකාව මුල් කරගෙන ‘කොඩ්’ සංවිධානයේ රටවල් අතරද සාකච්ඡාවක් සිදුව ඇති බව ඉතා පැහැදිලිය. එහිදී ඉන්දියාව ලංකා ආණ්ඩුවට හම්බන්තොට ගිවිසුමේ වගන්ති කඩකොට ඇති බවක් දැනුම්දී ඇති බවද ආරංචිය.

ආණ්ඩුවට ඇති විකල්ප දෙක!

කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් මේ සියලු විරෝධතාවන්හිදී පෙන්වා දී ඇති කාරණාව වන්නේ මෙම නැව යුදමය නෞකාවක් නොවන බවත්, එය හම්බන්තොටට එන්නේ ඉන්ධන සහ සේවා පහසුකම් ලබාගැනීම සඳහා පමණක් වන බවත්ය. ඒ අනුව මෙම චීන නැවේ අර්බුදයෙන් මිදීම සඳහා දැන් ලංකාවට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකකි. ඉන් එකක් වන්නේ චීන නැවට හම්බන්තොටට ඇතුළු වීමට ලබාදී ඇති අවසරය අත්හිටුවීමය. දෙවැන්න නම් චීන නෞකාවට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර නොදී ඉන්ධන ඇතුළු අනෙකුත් සේවා පහසුකම් සපයා දීමට කටයුතු කිරීමය. නමුත් මේ විකල්ප දෙකම පවතින්නේ ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ නොවේ. මන්ද යත් ඉන්දියාවේ ඉල්ලීමට අනුව පළමු විකල්පය ක්‍රියාත්මක කළහොත් එය චීනය හා ලංකාව අතර බරපතළ අර්බුදයකට මඟ පෑදෙන්නක් වනු ඇති බව රහසක් නොවේ. දෙවැනි විකල්පය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් අප සතුව තිබෙන්නේද යන්න ඊළඟ ප්‍රශ්නයය. ඒ අනුව ලංකාව මේ වනවිට සිටින්නේ මඟ හිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී යන තත්ත්වයකට මුහුණ දීලාය. මන්ද මේ කිසිවක් නොකර චීන නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩ දීම භයානක තත්ත්වයක් බව බොහෝ දෙනාගේ විග්‍රහය වී තිබීම නිසාය.

චීන සල්ලිවලට වහ වැටිලද?

ඒ කොයි හැටි වෙතත් මෙපමණ අවදානමක් ගෙන චීනය සමග ආණ්ඩුව මිත්‍රත්වයක් ගොඩනගාගැනීමට කටයුතු කරන්නේ මන්ද යන්න බොහෝ දෙනාට මතුව ඇති ඊළඟ ප්‍රශ්නයය. මන්ද පසුගිය අසීරු කාලයේදී චීනය ලංකාවට ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට පවා පියවර ගෙන තිබීම ඊට හේතුවය. ඒ අනුව ලංකාවට තිබූ එකම විකල්පය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් එහි ණය වැඩසටහනට අනුගත වීම පමණි. හිටපු මුදල් ඇමැති අලි සබි්‍ර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. සිරිවර්ධන යන මහත්වරුන් වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට ගොස් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගත්තේ ඒ අනුවය. එමෙන්ම මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවට පැමිණ එහි මුල් වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට පවා කටයුතු කර තිබිණි.

IMF-ඉන්දීය ආධාර නවතී!

නමුත් මේ වන විට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කාරණාවක් වන්නේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ දුරට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට නොලැබෙනු ඇති බවය. එමෙන්ම පසුගිය දිනවල ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය මුල් කරගෙන සහ අරගලයට සම්බන්ධව සිටි පිරිස් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම මුල් කරගෙන මේ වන විට ආණ්ඩුවට අලුත් අර්බුදයකටද මුහුණ දීමට සිදුව තිබේ. ඒ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ මූල්‍ය අරමුදලේ ආධාර අවිනිශ්චිත බවත්, යම් මුදලක් ලැබුණත් ඒ සඳහා බොහෝ කල් ගත විය හැකි බවත්ය.
ඒ අනුව මීට දින කිහිපයකට ඉහතදී ලංකාව යළිත් වතාවක් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී අපට දැනගන්නට ඇති ආකාරයට ඉන්දියාව මෙම ණය මුදල් පියවන ආකාරය පිළිබඳවත්, මෙම ණය අවසන් වූ පසු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් ලංකාවෙන් විමසා ඇති බවක් ආරංචිය. ඊට ලංකාව පාර්ශ්වයෙන් පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

ඩොලර් බිලියන 4ක් ඉල්ලයි!

එම තත්ත්වය යටතේ දැන් ලංකාවට ඉතිරිව ඇති එකම විකල්පය වී ඇත්තේ ඉන්දියාවෙන් ලබාගත්තා වැනි වූ ණය පහසුකමක් චීනයෙන්ද ලබාගැනීමය. එසේ ලබාගෙන තවත් මාස කිහිපයක් යම් යම් අර්බුද මැද වුව ඉදිරියට ඇදගෙන යෑමටය. ඒ සඳහා වෙනත් කිසිදු රටකින් ණය ආධාරයක් නොලැබෙන තත්ත්වයක් යටතේ දැනටමත් ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය මුදල් ඉල්ලා ඇති බවත් ආරංචිය.

ඊටපස්සේ මොකද වෙන්නේ!

ආණ්ඩුව මෙතරම් අවදානමක් ගැනීමට පියවර ගෙන ඇත්තේද එම මුදල ඔළුවේ තබාගෙන විය යුතුය. නමුත් මේ කියන ආකාරයට ඩොලර් බිලියන 4ක ණය මුදලක් චීනයෙන් ලංකාවට ලැබුණද එය සෑහෙන්නේ මාස දෙකහමාරක්, තුනක් වැනි කෙටි කාලයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා පමණකි. ඉන් පසු කරන්නට යන දේ පිළිබඳ පැහැදිලි තත්ත්වයක් ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට නැත. නමුත් මෙම මුදල චීනයෙන් ලැබුණද ඉන්පසු ලංකාවට මුහුණ දීමට සිදුවන ජාත්‍යන්තර බලපෑම් හමුවේ කුමන තත්ත්වයක් උදාවනු ඇතිදැයි දැන් තියා අනාවැකි පළකිරීමට නොහැකිය.

මාර්තුවේ මහජන්දයකට යන සූදානමක්!

කෙසේ වෙතත් මේ දේශපාලන හැලහැප්පිලි මධ්‍යයේ ආණ්ඩුව ඇතුළේ තවත් අලුත් දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, චීන ණය මුදලින් කෙසේ හෝ ඉදිරි මාස කිහිපය ඇදගෙන ගොස් ලබන මාර්තුවේ මහ මැතිවරණයකට යෑමය. දැනට ඇති ව්‍යවස්ථාවේ බලතල අනුව ලබන මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන අතර දැනට ඇති අර්බුදවලින් ගැලවීම සඳහා එය හොඳම විකල්පය ලෙස ආණ්ඩුවේ මෙම අභ්‍යන්තර සාකච්ඡාවලදී කතාබහට ලක්ව ඇති බව දැනගන්නට ඇත. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවේ විග්‍රහයට අනුව මේ මොහොතේ මැතිවරණයකට ගියහොත් කිසිවකුටත් බහුතර බලයක් ලබාගත නොහැකි තත්තවයක් මතු වනු ඇති බවත්, එහිදී ජනාධිපතිවරයා ලෙස රනිල්ට ආණ්ඩු පිහිටුවීම සඳහා ඕනෑම පාර්ශ්වයකට ආරාධනා කළ හැකි බවත්ය. එමෙන්ම අගමැතිවරයාට ලෙස පත්කරනුයේ කවුරුන්ද, අමාත්‍ය මණ්ඩලය පත්කරන්නේ කෙසේද යන කරුණු සියල්ල ජනාධිපතිවරයාට තීරණය කළ හැකි බැවින් එහි වාසිය ලබාගත යුතු බව මෙම සාකච්ඡාවන්ට සහභාගි වූ පිරිසේ අදහස වී තිබේ.

අලියයි-පොහොට්ටුවයි එක්වී අලුත් ලකුණකින් ජන්දෙට!

එමෙන්ම මහමැතිවරණයක් කැඳවන්නේ නම් ඊට තරග වදින ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. එහිදී බොහෝ දෙනෙක් පෙන්වා දී ඇත්තේ වැඩි වාසියක් ලබාගැනීමට නම් පොහොට්ටුව හා එක්ව එජාපය අලුත් ලකුණක් යටතේ තරග කළ යුතු බවත්, එහිදී එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරා පත්කරගත හැකි බවත්ය. කෙසේ වෙතත් ජනාධිපති ධුරය භාරගනිද්දී රනිල් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තවත් වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට පොරොන්දුවක් ලබාදී තිබුණද දැනට මතුව ඇති තත්ත්වය යටතේ එය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන තත්ත්වයක් මතුව ඇති බව මෙහිදී සඳහන් කළ හැකිය.

ලන්සා රනිල්ගේ ගොඩ වැඩි කරයි!

අනෙක් අතට අප මීට පෙර සතියකදී සඳහන් කළ ආකාරයට රනිල් වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සා පොහොට්ටු මන්ත්‍රීවරුන් එකතු කර දීමේ මෙහෙයුම සාර්ථකව දියත් කර ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. ඒ යටතේ දැනටමත් ලන්සා පොහොට්ටු මන්ත්‍රීවරුන් 56 දෙනකුගේ සහාය ස්ථිර ලෙසම රනිල්ට ලබාදීමට පියවර ගෙන අවසානය. ඒ අනුව රනිල්ගේ සැලැස්ම වී ඇත්තේද මෙහි ඇති වාසිය ලබාගෙන හදිසි මහ මැතිවරණයකට ගොස් එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් යළි බලයට පත්කර ගැනීමය. එසේත් නැත්නම් හැකි ඉක්මණින් පොහොට්ටුවේ සිරකාරයකු ලෙස කටයුතු කිරීමෙන් මිදීමය.

බැසිල් පොහොට්ටු කාර්යාලයේ වැඩ ගොඩක!

රනිල් මේ ආකාරයට තමන්ට වාසිසහගත ලෙස දේශපාලන පිටිය සකසා ගැනීමට ඉත්තන් එහෙ මෙහෙ කරද්දී පොහොට්ටුවද ඊට සූදානම් ශරීරයෙන් යුතුව කටයුතු කරන ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ. ඒ අනුව සති දෙකකට පමණ පසු පසුගිය අඟහරුවාදාද පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු කාර්යාලයට පැමිණ කණ්ඩායම කිහිපයක් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. එම සාකච්ඡාවලදී බැසිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමටද පියවර ගත්තේය. ඒ, ආණ්ඩුවත් සමග මේ අසීරු කාලසීමාවේදී කිසිදු ගැටුමක් ඇතිකර නොගෙන කටයුතු කරන ලෙසටය.

මම යනවා! එනකන් ප්‍රශ්න හදාගන්න එපා!

‘මට රට යන්න තියෙන උසාවි තහනම ඉවත් කළාම මම මාස දෙක තුනකට රට යන්නයි හිතාගෙන ඉන්නේ. එතකන් ආණ්ඩුවත් එක්ක ගැටුම් ඇතිකර නොගෙන වැඩ ටික කරගෙන යන්න. අනෙක මේ කාලෙදි අපිට විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ හින්දා මේ මාස දෙක තුනේ පරිස්සමෙන් යන්න ඕනෙ. දැනට රටේ තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් තරම් ආණ්ඩුවට සහාය දෙන්න ඕනේ…’ යනුවෙන් කී බැසිල් කළ යුතු වැඩ කටයුතු ගණනාවක්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පැවරීමටද පියවර ගත්තේය. ඒ අනුව බැසිල් සැලසුම් කොට ඇත්තේ මේ මාස දෙක තුන ගතවීමෙන් පසුව නැවත වතාවක් පොහොට්ටුව පණගසා ගන්නටය.

ගෝඨා බ්‍රහස්පතින්දා ලංකාවට!

අනෙක් අතට මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. පසුගිය සතියේ ගෝඨා සම්බන්ධයෙන් කරන්නට යන දේ ගැන සාකච්ඡා ගණනාවක්ම පැවැති අතර එහිදී බොහෝ දෙනකු සඳහන් කර තිබුණේ නොබෝ දිනකින්ම ගෝඨා සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවකි. ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ ලබන බ්‍රහස්පතින්දා එනම් ලබන 11 වැනිදා ගෝඨා සිංගප්පූරුවේ සිට යළි ලංකාව බලා ඒමට සැලසුම් කර ඇති බවකි. මේ බව ගෝඨා සිංගප්පූරුවේ සිට රනිල්ට ලබාදී ඇති දුරකතන ඇමතුමකින්ද තහවුරු කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රනිල් ගෝඨා එනවාට අකැමැති වෙයි!

කෙසේ වෙතත් ගෝඨා යළි ලංකාවට පැමිණීමට සියල්ල සූදානම් කරන අතරවාරයේ රනිල් පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍යයක් වන ‘වෝල් ස්ටී්‍රල් ජර්නල්’ වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබුණේ ගෝඨාට ලංකාවට පැමිණීමට සුදුසු වෙලාව මෙය නොවේ යැයි කියාය. ඒ හරහා රනිල් දී තිබූ පණිවුඩය වූයේ ගෝඨා දැන්ම ලංකාවට නොපැමිණිය යුතු බවකි.

හාමුදුරුවරු නම් එක පයින්!

නමුත් රනිල්ගේ මෙම ප්‍රකාශයත් සමග පොහොට්ටුවද ගෝඨාගේ ලංකා ගමන සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගෝඨා මේ මොහොතේ ලංකාවට පැමිණීම අත්‍යාවශ්‍ය යැයි කියාය. පොහොට්ටු මහලේකම්වරයා වූ සාගර කාරියවසම් සඳුදා දින මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ගෝඨා යළි දේශපාලනය කිරීමට සූදානම් නම් ඊටද අවශ්‍ය වටපිටාව සකසා දීමට පොහොට්ටුව සූදානමින් සිටින බවකි. මීට අමතරව ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සීලවිමල නාහිමියන්ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබණේ ගෝඨාභය ලංකාවට පැමිණෙන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට ආණ්ඩුව වගබලාගත යුතු බවකි. එමෙන්ම කෝට්ටේ පාර්ශ්වයද එම මතයම තහවුරු කරමින් අදහස් දැක්වීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.

පොහොට්ටුව යළි ගෝඨාට හැරෙයි!

ඒ අනුව ගෝඨා සම්බන්ධයෙන් මේ වන විට පොහොට්ටුවේ ඇතුළේද යම් මතවාදීමය වෙනසක් සිදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. ජන අරගල හේතුවෙන් ගෝඨා කිසිවකුටත් නොකියා රටින් පිටවීම හේතුකොටගෙන පසුගිය කාලයේදී ‘ගෝඨා අපිවයි ආණ්ඩුවයි දෙකම කෑවා…’ යනුවෙන් ප්‍රසිද්ධියේම අදහස් දැක්වූ යම් යම් පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් තුළ මේ වන විට ගෝඨා සම්බන්ධයෙන් කිසියම් අනුකම්පාවක් මතුව තිබෙන ආකාරයක් දැකගන්නට තිබේ. ‘මොනවා වුණත් ගෝඨා ගිය අවුරුදු දෙකහමාරේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩ කළා…’, ‘ජනාධිපති ධුරයෙන් යන්න සිද්ධ වුණත් ගෝඨා අරගලකාරයන්ට ගහන්න ගියේ නෑ…’ යනාදී වශයෙන් කියමින් මෙම පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් ගෝඨා පිළිබඳ අදහස් දක්වන ආකාරයක්ද දැකගැනීමට පුළුවන. එමෙන්ම ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ තවමත් ජනවරම පවතින්නේ ගෝඨා සතුව යැයි කියාය.

බැසිල් ටිකක් අවුලෙන් වගේ!

මේ සියල්ල අතරවාරයේ ගෝඨා ලංකාවට පැමිණෙන දිනට මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කටුනායකට ගොස් ඒ මහතා පිළිගන්නට සූදානමින් සිටින කසුකුසුවක්ද පසුගිය සතියේ පොහොට්ටුව ඇතුළේ පැතිර යනු දැකගත හැකි විය. එම පුවත වාර්තා වීමත් සමග බැසිල් තරමක කලබලයට පත්වූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එසේ වුවහොත් ආණ්ඩුව හා පොහොට්ටුව අතර අනවශ්‍ය ගැටුමක් මතුවනු ඇති බවට සිතූ බැසිල් එසේ ගෝඨාව පිළිගැනීමට කටුනායකට යනු ඇති බවට සිතිය හැකි වියත්මග නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම කතාකොට එසේ නොයන ලෙස දැනුම්දී ඇති බවද ආරංචිය. එමෙන්ම උත්සව තබා ඊට ප්‍රසිද්ධියක් නොදෙන ලෙසද බැසිල් නියෝජිතයන් කිහිප දෙනකු හරහා ඔවුන්ට දැනුම්දී ඇති බවද ආරංචිය. මෙය ඊට වේලාව නොවන බවද බැසිල්ගේ ස්ථාවරය වී තිබේ.

මහින්ද එන්නම කියයි!

කෙසේ වෙතත් බැසිල් මේ ආකාරයයට විවිධ පුද්ගලයන් හරහා මන්ත්‍රීවරුන්ට පණිවුඩ යැව්වද එය එසේම වේවිදැයි සැක සහිතය. මන්ද බැසිල් එසේ කීවත් මහින්ද අවස්ථා ගණනාවකදීම ගෝඨාට කතාකොට කියා ඇත්තේ වහාම ලංකාවට පැමිණෙන ලෙසය. ‘ඔයා ගිය එක වැරැදියි. අපෙන් ඇහුවෙවත් නෑ. ඔයා දැන් ලංකාවට එන්න…’ යනුවෙන් මෙහිදී මහින්ද ගෝඨාට දැනුම්දී ඇති බවද ආරංචිය. ඒ අනුව ගෝඨා දැන් සිටින්නේ ලබන බ්‍රහස්පතින්දා දින ලංකාවට නැවත පැමිණීමටය. එසේ පැමිණෙන ගෝඨාට හිටපු ජනාධිපතිවරයකුට හිමි ආරක්ෂාව, නිල නිවාස ඇතුළු වරප්‍රසාද හිමිවීමට නියමිතව තිබුණද දැනට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ගෝඨා සිය නිවස පිහිටි මිරිහානේ පදිංචි වීමට සූදානමින් සිටින බවකි.

ගෝඨා අගමැති වෙයිද?

අනෙක් අතට ජනාධිපති ධුරයෙන් ඉවත් වුවද කිසිම ස්ථානයක ගෝඨා තමන් සම්පූර්ණ වශයෙන් දේශපාලනයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් කර නොමැත. ඒ අනුව ලංකාවට පැමිණීමෙන් පසු ගෝඨා ක්‍රමයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. එපමණක් නොව ගෝඨා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටද බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේ ජාතික ලැයිස්තුවෙන් ගෝඨා පාර්ලිමේන්තු පැමිණියහොත් තවමත් පාර්ලිමේන්තු බහුතරය පොහොට්ටුව සතු බැවින් අගමැතිවරයා වශයෙන් පත්වීමටද ඉඩකඩ නැතිවා නොවේ. එසේ වුවහොත් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිවරයාගේ බලතලද වැඩි වන බැවින් ගෝඨාට යම් බලයක්ද පාර්ලිමේන්තුව තුළ හිමිවනු ඇත. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයෙන් ආරම්භ වන සතිය ගෝඨාට පමණක් නොව ලංකාවේ දේශපාලනයටද ඉතා තීරණාත්මක වනු ඇත.

සර්වපාක්ෂික ආණ්ඩුව හැදෙයිද?

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් පසුගිය සඳුදා (03) ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනාවක් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව යමින් පසුගිය සඳුදා දින සිටම ආණ්ඩුව ඇතුළේ සිටින සහායක පක්ෂ මෙන්ම විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂද වරින් වර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී ඇතැම් පක්ෂ ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළට සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කළ ආකාරයක්ද දැකගත හැකි විය.

සජබය ඇතුළේ මත දෙකක්!

කෙසේ වෙතත් මෙහිදී යම් මතභේදකාරී තත්ත්වයක් දැකගන්නට ලැබුණේ සමගි ජන බලවේගය තුළය. සජබය මුල සිටම දැරූ ස්ථාවරය වූයේ ඇමැතිකම් නොගෙන විපක්ෂයේ සිට සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සහාය දැක්වීමට සූදානම් බවය. නමුත් ප්‍රශ්නය වූයේ සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ අවස්ථාවේ වගකීම් ගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට අදහස් ප්‍රකාශ කර සිටීමය. එම පිරිස සජබය ඇතුළේද මේ මතය ප්‍රකාශ කර සිටීම නිසා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට පසුගිය බදාදා දිනයේදී පක්ෂයේ කළමනාකරණ කමිටුව කැඳවීමට සජිත් පියවර ගත්තේය.
ඒ අනුව පැවැති සාකච්ඡාවට සජිත්, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, ඉමිටියාස් බාකීර් මාකාර්, තලතා අතුකෝරාල ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් එක්ව සිටියහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මද්දුමබණ්ඩාර, රාජිත, හර්ෂ, ඉරාන් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී තනතුරු ගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහාය දැක්විය යුතු බව ප්‍රකාශ කර සිටීමය.

හර්ෂ ගන්න කැමැත්තෙන්!

එහිදී සජිත් එහි ඇති වාසිය කුමක්ද යන්න පැහැදිලි කරන ලෙසත්, විපක්ෂයේ සිට පාර්ලිමේන්තුවේ ඊට සහාය දැක්වීමට හැකි බවත් සඳහන් කරද්දී හර්ෂ කියා සිටියේ එසේ වගකීම් ගෙන ආණ්ඩුවට එක්වීමෙන් රටට වාසියක් වනු ඇති බවකි. නමුත් සජිත් පෙන්වා දුන්නේ එය විපක්ෂයේ සිටිමින්ම කළ හැකි යැයි කියාය.

කිරිඇල්ල-තිස්ස-ඉමිතියාස් විරුද්ධ වෙයි!

නමුත් හර්ෂ කියා සිටියේ ඉදිරියේදී ප්‍රබල ආර්ථික තීන්දු තීරණ රැසක්ම ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත්, යම් යම් ආයතන පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇති බවත්, ආණ්ඩුව ඇතුළේ සිටීමෙන් එම කටයුතු පහසුවෙන් කළ හැකි බවත්ය. ඊට පිළිතුරු දුන්නේ කිරිඇල්ලය. කිරිැඇල්ල කියා සිටියේ ඒ සියල්ල විපක්ෂයේ සිට කළ හැකි බැවින් ආණඩුවට එක්විය යුතු නැති බවකි. කිරිඇල්ල සිටි මතයේම හිඳිමින් තිස්ස අත්තනායකත්, ඉමිටියාස් බාකීර් මාකාර් මහතාත් පෙන්වා දුන්නේ විපක්ෂයේ සිටිමින් මේ සියල්ල කළ හැකි යැයි කියාය.

මද්දුමබණ්ඩාරගේ මාර බය!

මෙහිදී පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ තරමක් අරුම පුදුම කතාවකි. රංජිත් කියා සිටියේ මේ අවස්ථාවේ ආණ්ඩුවට එක් නොවුණහොත් රනිල් පක්ෂය දෙකඩ කරනු ඇති බවත්, පසුව පක්ෂයෙන් පළිගනු ඇති බවත්ය. කෙසේ වෙතත් පක්ෂ මහලේකම්වරයා මේ අයුරින් අදහස් දක්වද්දී සෙසු පිරිස් තරමක් පුදුමයෙන් යුතුව ඒ දෙස බලා සිටින ආකාරයක්ද දැකගත හැකි විය.

සජිත් අවතාරය හොයාගෙන!

මේ අතරවාරයේ සජිත් අපූරු කතාවක් සිහිපත් කරමින් සජබය දෙකඩ කිරීමට ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත්, ඒ පිටුපස සිටින අවතාරය කවුරුන්ද යන්න තමන් හොඳින්ම දන්නා බවත්ය.

‘සජබය කඩන්න ආණ්ඩුව ඇතුළේ විවිධ කුමන්ත්‍රණ වෙනවා කියලා මම දන්නවා. ඒවා පිටිපස්සේ ඉන්න අවතාරයත් කවුද කියලා මම හොයාගෙන තියෙන්නේ. මේ අයම තමයි මට යූ.ඇන්.පී. එකෙන් ගිහින් සජබය හදන්න කියලා මගේ පිටිපස්සෙන් ඇවිත් කරදර කළේ. දැන් ඒ අයම තමයි සජබය කඩලා මන්ත්‍රීවරු ආණ්ඩුවට අරන් ඇමැතිකම් දෙන්න හදන්නේත්…’ යනුවෙන් සජිත් කියද්දී ඊට ප්‍රතිචාර දක්වමින් ගයන්ත එක්තරා පුද්ගලයකුගේ නමක් සඳහන් කළේය. සජිත්, ‘ඔව් එයා තමයි…’ කියා කියද්දී රැස්වීමේ සිටියවුන් සියල්ලම පාහේ තුෂ්නිම්භූතව එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටිනු දැකගත හැකි විය.

කිරිඇල්ල අන්තිමට කියපු දේ!

කෙසේ වෙතත් සාකච්ඡාව අවසාන භාගයේදී කිරිඇල්ල එක්තරා විශේෂ ප්‍රකාශයක් සියල්ලන්ටම සිදුකළේය. ඒ, තමන් කිසිදු අවස්ථාවක පක්ෂ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ තනතුරු ලබා නොගන්නා බවය.

‘මම ඔය හැමෝටම කියන්නම්. මම නම් කවුරු ගියත් ආණ්ඩුවට ගිහින් තනතුරු අරගන්නේ නැහැ. අපි ගම්වල ඡන්ද ගත්තේ ආණ්ඩුවට ගිහිල්ලා ඇමැතිකම් ගන්න නෙවෙයි. ඒ නිසා සජබය ගියත් මම නම් ආණ්ඩුවට යන්නේ නෑ. අපිට ජන වරම තියෙන්නේ විපක්ෂයේ ඉඳන් වැඩ කරන්න. අපිට ඇමැතිකම් ගන්න ජනවරමක් දීලා නෑ. ඒ නිසා ඔයගොල්ලන්ට ඕනෑ නම් ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් ගන්න. මම තනියම හරි විපක්ෂයේ ඉන්නවා…’ යන්න කිරිඇල්ලගේ ස්ථාවරය විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රනිල් වැඩේ පටන් ගත්තා! හැබැයි අපි වැඩේ අවසන් කරනවා! ජනාධිපතිටයි පාර්ලිමේන්තුවටයි දේශපාලන ප්‍රහාරය එල්ල නොකර වෙන කොතනටවත් ගහලා වැඩක් නෑ! (VIDEO)

Next Post

ආර්ථික අර්බූදය දරුණුයි! හැම පැයකදීම රට රස්සාවලට තිස් දෙදෙනෙක් රටින් පිටවෙයි! දවසට 768ක්!

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.