පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ පිරිවැය රුපියල් බිලියන 8කට අඩුවෙන් තබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ නිමල් ජී.පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.
ඒ සදහා මැතිවරණ කොමිසම පියවර රැසක් ගන්නා බව කී පුංචිහේවා මහතා, නිවාඩු දිනයක හෝ සති අන්තයේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ නිලධාරීන්ට ගමන්, නවාතැන්, අතිකාල සහ ආහාර දීමනා ආදිය ගෙවිය යුතු බැවින් පළාත් පාලන මැතිවරණය සතියේ දිනක පැවැත්වීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් පුවත්පත සමග කියා තිබේ.
යෙදවීමට නියමිත මැතිවරණ නිලධාරීන් සංඛ්‍යාව ද ලක්ෂ දෙකකට අඩු වනු ඇත. 2018 වසරේ පැවති අවසන් පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නිලධාරීන් 250,000ක් යොදවා තිබූ අතර එහිදී මැතිවරණය පැවැත්වීමට බිලියන 5.8ක් වියදම් වී තිබිණ.
මේ අතර, ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ’ විධිවිධාන යටතේ මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ නාමයෝජනා පත්‍රවල ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවට කාන්තා අපේක්ෂිකාවන්ද ඇතුළත් වී තිබේ.
නාමයෝජනා භාර ගැනීම ජනවාරි 18 වැනි දින ආරම්භ වන අතර 21 වැනි සෙනසුරාදා දහවල් 12.00 ට අවසන් වේ. නාමයෝජනා භාරගැනීම අවසන් වී පැය එකහමාරකට පසු විරෝධතා දැක්වීමේ කාලයෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් (DROs) විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබේ.
2023 අයවැය මගින් නොවැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇත. 2023 වසරේ රජයේ වියදම බිලියන 4,667ක් බව රත්නායක මහතා පැවසීය.
2017 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 26 වැනි වගන්තියේ සඳහන් වන්නේ නාමයෝජනා භාරගැනීම අවසන් වී සති පහේ සිට සති හත දක්වා කාලය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි.








