සෙලාන් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත්වී තිබේ.
මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 45%ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ අදාළ කාලසීමාව තුළ 14.76% කින් වර්ධනය වී රු. මිලියන 17,068 මට්ටමට පැමිණ තිබේ. මෙරට බැංකු ක්ෂේත්‍රය COVID-19 නිසා ඇති වූ බලපෑම්වලින් ක්‍රමානුකූලව මිදෙමින් සිටින පසුබිමක් තුළ සෙලාන් බැංකුව පැහැදිලි වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බවට මෙම ප්‍රතිඑල මනා සාක්ෂියකි.
සෙලාන් බැංකුව නිකුත් කර ඇති ණය ප්‍රමාණය රු. බිලියන 394 සිට රු. බිලියන 428 දක්වා 8.75% කින් වර්ධනයවී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, එක්තරා දුරකට ප්‍රතිමූල්‍ය ණය සහ අපනයන බිල්පත් ආදිය අඩුවීම නිසා කාලීන ණය, චක්‍රීය ආනයන ණය, උකස් සහ කල්බදු ආදියෙහි වර්ධනයක් ඇතිවීමය. තවද බැංකුවේ වත්කම් පදනම රු. මිලියන 26,047 කින් ඉහළ ගොස් රු. මිලියන 583,755 ක් ලෙස වාර්තා වේ.











