කොවිඩ් 19 වසංගතයෙ ප්‍රතිඵලයක් වශයෙන් 2021 පළමු කාර්තුවේදී යථා තත්ත්වයට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි නැවත බාධා ඇතිවන්නට විය. ව්‍යාපාර සහ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ හා විශේෂිත බැංකු වෙත ණය අයකර ගැනීම පමා කිරීමේ කාලය දීර්ඝ කිරීමට උපදෙස් ලබාදෙන ලදී. මෙය ක්‍රියාත්මක වෙමින් පැවති සංචාරක සහ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදුන් ණය අයකර ගැනීම පමා කිරීමේ යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමක් ලෙස ක්‍රියාත්මක විය. රජය පනවන ලද සහනශීලී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ මහ බැංකුවේ විධිවිධානයන්ට අනුකූල වීම පිණිස සම්පත් බැංකුව කඩිනමින් අවශ්‍ය සියලු පියවර ගන්නා ලදී. වසංගත තත්ත්වය හේතුවෙන් සිය ගනුදෙනුකරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. සම්පත් බැංකුවේ බදු පසු ලාභය ලෙස 2020 පළමු අර්ධය සඳහා වාර්තා කළ රු. බිලියන 3.9ට සාපේක්ෂව 2021 එම කාලච්ඡේදය සඳහා රු. බිලියන 7ක් වාර්තා කිරීමට බැංකුව සමත් විය. කළමනාකාරීත්වය විසින් ක්‍රියාවට නංවන ලද විධිමත් පිරිවැය පාලන ක්‍රමෝපායන් සහ අනෙකුත් නව ප්‍රයත්නයන් සමඟ ඒකාබද්ධව මුළු මෙහෙයුම් ආදායමෙහි සිදුවූ 16.7ක ඉහළ යාම බදු පසු ලාභයෙහි 78.1%ක සැලකිය යුතු වර්ධනයට හේතු විය.











