ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟලුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක අත්හදා බැලීම්වලින් අනතුරුව ජූලි මැද භාගයේදී මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂිතය.
රෙදිවලින් සැකසූ අනෙකුත් මුඛ ආවරණ මෙන් නොව, මුළුමනින්ම ස්වභාවික මෙම මුඛ ආවරණය 100%ක් ජාත්‍යන්තර ප්‍රතිචක්‍රීකරණ ප්‍රමිතියට (GRS) අනුව සහතික කරන ලද කපුවලින් නිමවා තිබෙන අතර, කසින විට හෝ කතා කරන විට මුවින් පිටවන කෙළ බිඳිති බැහැරට යාම එමගින් වැළැක්වේ. මෙම ස්වභාවික විෂබීජ නාශක මුඛ ආවරණය දෛනික භාවිතයට සුදුසු බව සනාථ කරමින්, මෑතක සිදු කරන ලද AATCC 100 ප්‍රති-ක්ෂුද්‍ර ජීවී රෙදිපිළි පරීක්ෂණවලින් අනාවරණය වූයේ, ඒ සඳහා භාවිත කරන ලද තුල්සි සහ කොහොඹ නිස්සාරක බෝවන ශ්වසන රෝගවලට එරෙහිව ඉතාමත් ප්‍රතිඵලදායක බවයි.











