කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වැනිදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප්‍රධාන දර්ශකයන්හි කැපීපෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවැනි කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි්‍රලියන 01ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය මෙම කාලසීමාව තුළදී රුපියල් බිලියන 79.931ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය 2020 වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී 6.34% ක වර්ධනයකි. එසේම, මෙය 2021 දෙවැනි කාර්තුව සඳහාද 11.23%ක වර්ධනයක් වේ.
බැංකු සමූහය 2021 පළමු කාර්තුවේදී ලබාගත් සෘණ 2%ක පොලී ආදායම් වර්ධනය දෙවැනි කාර්තුව වන විට 9%ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර 2021 පළමු අර්ධය අවසානයේදී රුපියල් බිලියන 63.355ක පොලී ආදායමක් ලබාගෙන තිබෙන්නේ පෙර වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 3.22%ක වර්ධනයක් පෙන්වමිනි.











