ලක්ෂ්මී දේවිය ගැන සත් ආකාරයකට පෙන්වා දෙන අතර ධන ලක්ෂ්මී ධනය උදාකිරීමටත්, ආදි ලක්ෂ්මී සියල්ලේ යථාර්ථය ආරක්ෂා කිරීමටත්, ධෛර්ය ලක්ෂ්මී ධෛර්යය උදාකිරීමටත් ආදී වශයෙන් ලක්ෂ්මී දේවියගෙන් පිහිට ආරක්ෂාව මෙන්ම සහයෝගය ලැබෙන විවිධ අංශයන්ට සම්බන්ධව ලක්ෂ්මී දේවිය ගැන දැක්වෙයි. ඒ අනුව අධ්‍යාපනයට ශක්තිය, ධෛර්යය, ආශීර්වාදය සපයන දේවතාවිය විද්‍යා ලක්ෂ්මී දේවිය වන අතර ඉගෙනගන්නා දරු දැරියන් ලක්ෂ්මි දේවියගේ පිහිට අයැදින්නේ නම් ඒ සඳහා විද්‍යා ලක්ෂ්මී දේවියගේ පිහිට පැතීම වඩාත් සුදුසු වේ.
යම් අයකු අධ්‍යාපන කටයුතු කෙරෙහි විද්‍යා ලක්ෂ්මියගේ ආශීර්වාදය අපේක්ෂා කරන්නේ නම් එම සහාය නොඅඩුව ලබාදී එම පුද්ගලයාට අධ්‍යාපනයේ ඉහළටම යන්නට ශක්තිය ලබාදෙන්නට විද්‍යා ලක්ෂ්මී දේවිය කටයුතු කරනු ඇත.
අතීතයේද ඍෂිවරුන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භයේදී මෙන්ම තමන් සතු දැනුම සිය ගෝල පරපුරට දායාද කිරීමට විද්‍යා ලක්ෂ්මිය නමැද පිහිට පැතූ බව පොතපතෙහි සඳහන් වේ. එසේම එකලද සරස්වතී දේවිය හා සමානවම විද්‍යා ලක්ෂ්මියද වන්දනාමානයට පාත්‍ර කළ ඔවුහු ඉන් මහත් ප්‍රතිඵල ලබාගත්හ. එහෙත් ඇතැම් විට අද වෙද්දී සරස්වතී දේවියගෙන් පමණක් ආශීර්වාද අපේක්ෂා කිරීමෙන් බොහෝ පිරිසක් තමන්ට පහසුවෙන් ළඟා කරගත හැකි ප්‍රතිඵල මඟහරවාගෙන අති බවකුත් පෙනෙන්නට තිබේ.
ඔබ මෙම තත්ත්වය වටහා ගන්නේ නම් ඉදිරියේදී මුහුණ දෙන ඕනෑම අධ්‍යාපන කටයුත්තකදී විද්‍යා ලක්ෂ්මී දේවිය අමතක නොකිරීම වඩාත් සුබදායකය. එසේම ඔබ ඉදිරිපත් වන විභාග කටයුතුවලදී පාඩම් කටයුතුවලදී පහත සඳහන් විද්‍යා ලක්ෂ්මී ස්තෝත්‍රය 21ක් වරක් සජ්ඣායනා කර ඊට සම්බන්ධ වීමෙන් ඉහළ ප්‍රතිඵල ලැබෙනු ඇත. එමෙන්ම මෙය දිනකට 21ක් වරක් සජ්ඣායනා කළ හැකි නම් වඩාත් සුබදායක වන බව සඳහන් කළ යුතුය.
විද්‍යා ලක්ෂ්මී ස්තෝත්‍රය
ප්‍රන්‍ත සුරේශ්වරී භාරතී
භෘර්ගවි ශෝක විනාශිනි රත්න මයේ
මනිමය භූෂිත කර්ණ විභූෂණ
ශාන්ති සමාවෘත හාස මුකේ
නව නිධි දායිනි කාලිමලහාරිනි
කාමිත පලඳන රාබ්ජයුතේ
ජය ජය හේ මධු සුදන
කාමිනි විද්‍යා ලක්ෂ්මී සදා
පාලය මාම්
මෙම බලගතු ස්තෝත්‍රය ගායනා කරමින් විද්‍යා ලක්ෂ්මී දේවිය නිවැරැදි ලෙස වන්දනා කරමින් දිනපතා නිසි පරිදි කටයුතු කරන්නට හැකියාව වෙතොත් ඔහුට සිය අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල උදාවනු ඇත. දෙව් ලොව දෙවියන් පවා විද්‍යා ලක්ෂ්මියට ගරුසරු දක්වමින් ඇගේ සහාය ලබාගන්නේ බුද්ධියත් ඥානයත් ඇත්නම් ඕනෑම තැනක විශිෂ්ටයකු විය හැකිය යන විශ්වාසයෙන් යුතුව බවට මතයක් වෙයි.
එමෙන්ම වර්තමානයේ ඉගෙන ගන්නා දරු දැරියන්ට කොතරම් සාර්ථක ආර්ථික පසුබිමක් සහිත මවුපියන් සිටියද එම දරුවන්ටද විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති බව රහසක් නොවේ. එම ගැටලු අතර අමතක වීම, පාඩම් නොසිටීම, පාඩම් වැඩ පැටලීම, උනන්දුවක් නැතිකම, නිදිමත ගතිය ඇතුළු විවිධ ගැටලු වෙයි.
මෙවැනි දහසක් ගැටලු බාධා සඳහා නිත්‍ය විසඳුමක් ලෙස විද්‍යා ලක්ෂ්මියගේ සහාය ආරක්ෂාව ඉතා සාර්ථක ක්‍රමයකි. විද්‍යා ලක්ෂ්මිය සතුව සැඟවුණු මහා ශක්ති කදම්භයක් ඇති බවත්, ඇයගේ එම ශක්තියෙන් ආශීර්වාදයෙන් විශ්වයෙන් ලැබෙන අශුභ කිරණවල නරක ප්‍රතිඵල වෙනස් කෙරෙන බවත් ඉන් යහපත් ප්‍රතිඵල වර්ධනය කෙරෙන බවත් පැවැසේ.
විද්‍යා ලක්ෂ්මිය නිතර නිතර ඉගෙනගන්නා දරුවන් සිටින නිවාසවලට බැල්ම හෙළයි. එහෙයින් ඇගේ පිහිට පතා ඇයව වන්දනාමාන කොට ඇගේ සහාය සහ ආශීර්වාදය නොඅඩුව ලබාගන්නට කටයුතු කිරීමට ඔබටත් හැකි නම් දැරුවාගේ හෙට දවස අදට වඩා සුබදායක වනු නිසැකය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජය ශ්‍රී නන්ද කුමාර