ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pvt Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි.
මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine Cable Depot Pvt Ltd, නම් සමාගම පිහිටුවන ලද අතර, එය ද Singapore Telecom iy Orange Marine of France අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වේ. 2018 වසරේදී ආරම්භ කරන ලද මෙම කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ එම වර්ගයේ එකම මධ්‍යස්ථානය ලෙස සැලකේ. මෙම මධ්‍යස්ථානය ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසා, මෙම කලාපයේ මෙන්ම යුරෝපයේ සිට ආසියාව දක්වා බොහෝ රටවල් සම්බන්ධ කරන, සාගරය යටින් දිවෙන රැහැන් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පහසු වී ඇත. මෙම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අතිරේක කේබල්, මෙවලම් සහ පරීක්ෂණ උපකරණ ආදිය ද මෙහි ගබඩාකර තබාගැනේ.
ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ආර්ථික ඒකක ප්‍රධානී ෆිලිප් ලූස්ලි මහතා සමග SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.