ඇසට හසුවන දසුනක් මෙන්ම, කනට ඇසෙන ශබ්දයත් එදිනෙදා සන්නිවේදනයේදී අපට කෙතරම් ප්‍රයෝජනවත් වනවාද යන්න මා මෙන්ම ඔබත් දන්නා කරුණකි. සමාජයේ බොහෝ දෙනා හට පෙනීමේ අපහසුතා හා ඒ සඳහා වන ප්‍රතිකාර සඳහා යම් දැනුවත්කමක් ඇතත්, ඇසීමේ අපහසුතා හා ඒ සඳහා වන ප්‍රතිකාර ගැන අවබෝධය ඉතා අඩු බව පෙනී යයි.
ඇසීමේ අපහසුතාවලින් අත් මිදීමට අප “ශ්‍රවණ උපකරණ” භාවිතා කරනු ලැබේ. ශ්‍රවණ උපකරණයක් මගින් මූලිකව සිදු කරන්නේ අපගේ කනට නෑසෙන මට්ටමේ ඇති ශබ්දයන් වර්ධනය කර,කන වෙත ලබා දීමයි. අනෙකුත් උපකරණවල මෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමග ශ්‍රවණ උපකරණවල ද ඉතා සිත්ගන්නාසුලු දියුණුවක් සිදු වී ඇත. උදාහරණයක් ලෙස, කාලයත් සමග දුරකථනයේ සිදුවුණු තාක්ෂණික අංගවල දියුණුව හා සංසන්දනය කළ විට , ඒ හා සමාන දියුණුවක් ශ්‍රවණ උපකරණවලද සිදු වී ඇත. අද වන විට ශ්‍රවණ උපකරණය ශබ්ද වර්ධනය කරන උපකරණයක් පමණක් නොව ඊටත් වඩා, භාවිතා කරන පුද්ගලයාගේ විලාසිතාව මෙන්ම ශබ්දවල සුපැහැදිලි බව උපරිමයෙන් ලබා දෙන ලෙස නිමවූ ඉතා සංකීර්ණ හුරුබුහුටි තාක්ෂණික උපකරණ ලෙස ඔබ අතට පත් කර ඇත.











