දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීතය පෝෂණය කළ නිර්මාණකරුවන් තිදෙනකුගේ සුවිශේෂී නිර්මාණය වූ ‘චන්ද්‍රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ ගීතය නැවැතත් බොහෝදෙනාගේ කතාබහට ලක්වන සේ කරළියට පැමිණ තිබෙනවා. ඒ අභිෂේකා විමලවීරගේ නවතම නිර්මාණය වන ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය හරහායි. වර්තමානයේ සිටින තරුණ නිර්මාණකරුවන් අතර ගුණාත්මක නිර්මාණ බිහිකරමින් සෙමින් ගමනක් යන ඇය තම නවතම නිර්මාණය වන ‘චන්ද්රමණ්ලේ’ ගැන අපට කීවේ මේ විදිහට.
අභිෂේකා මොකක්ද මේ ‘චන්ද්‍රමණ්ඩලේ’?
චන්ද්‍රමණ්ඩලය කියන්නෙ මගේ අලුත්ම ගීතය. ඇත්තටම අවුරුදු දෙකකට තුනකට කලින් මට ඕනෙ වුණා තාත්ත ගැන ගීතයක් නිර්මාණය කරන්න. ඒ අනුව නිර්මාණය වෙච්ච ගීතය තමයි ‘චන්ද්‍රමණ්ඩලය’.
සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ඉතාම ජනප්‍රිය ගීතයක් වන ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය හා ඔබගේ ගීතය අතර සම්බන්ධයක් තියෙනවද?
ඇත්තටම කිව්වොත් මගේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ‘චන්ද්‍රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ කියන ගීතයට කළ පිළිතුරු ගීතය කිව්වොත් නිවැරැදියි. සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයෙන් කියැවෙන්නෙ දුවෙක් නැති වුණ තාත්ත කෙනෙක් ගැන. මගේ ගීතයෙන් කියවෙන්නෙ තාත්ත කෙනෙක් නැතිවුණ දුවෙක් ගැන.
සුනිල් එදිරිසිංහ මහත්මයගෙ වගේම ඔබේ ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය ලියන්නෙත් රත්නශ්‍රී විජේසිංහ මහත්මය?
ඔව්. සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතය ලිව්ව රත්නශ්‍රී විජේසිංහ මහත්මය තමයි මේ සින්දුව ලියන්න සුදුසුම කෙනා කියල මට හිතුණ. මොකද එතුමටත් ඉන්නෙ දුවෙක්. සාමාන්‍යයෙන් රත්නශ්‍රී මහත්මයගෙ බොහෝ ගීත ගත්තම එතුම ලියල තියෙන්නෙ එතුමගෙ පෞද්ගලික අත්දැකීම මත. සුනිල් එදිරිසිංහ මහත්මයෙග ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය කරල තියෙන්නෙත් එතුමගෙ යාළුවෙක්ට වුණ පෞද්ගලික අත්දැකීමක් මත. ඉතින් මම ගීතය ගැන යෝජනාව කළාම එතුම මට කිව්ව සති දෙකක් විතර දෙන්න මම සින්දුව ලියල දෙන්නම් කියල. එහෙම කිව්වට විනාඩි 10ක් ඇතුළත මේ ගීතය ලියන දුන්න.
ගීත දෙකටම සම්බන්ධ වන ඊළඟ කෙනා හමුවෙන්නෙ සංගීත නීර්මාණය පැත්තෙන්?
ඔව්. ඇත්තටම සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයට වගේම මගේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මය. සින්දුව රෝහණ වීරසිංහ මහත්මයට දුන්නට පස්සෙ එතුම ඒක ඉතාම ආදරයෙන් භාරගත්ත. මොකද රෝහණ අංකල් අපේ තාත්තවත් ඉතාම හොඳින් හඳුනන කෙනෙක්.
ඔබ කලින් ‘නේත්‍රා’ කියල අම්ම ගැන ගීතයක් කළා. ඇයි ඒ එක්කම තාත්ත ගැන ගීතයක් කරන්න හිතුවෙ?
ඇත්තටම ‘නේත්‍රා’ ගීතය කරන්න කලින් තමයි මම චන්ද්‍රමණ්ඩලේ ගීතය කළේ. මීට අවුරුදු තුනකට විතර කලින් තාත්ත නැතිවුණ ගමන්ම තමයි මං ඒ වෙනුවෙන් මේ ගීතය කළේ. ඒත් මේක එළියට දාගන්න පුළුවන් වුණේ ‘නේත්‍රා’ ගීතයට පස්සෙ.
මේ ගීතය එළිදක්වන දවසත් විශේෂයි නේද?
ඔව්. ගීතය එළිදැක්වුවෙ අගෝස්තු 23 වැනිදා. එදා තමයි මගේ පියා වන සුනිල් විමලවීරගෙ උපන් දිනය යෙදිල තියෙන දවස. ඉතින් එදාටම ගීතය එළිදක්වන්න පුළුවන් වීම ගැන මම ඉතාම සතුටු වෙනව.
ගීතය එළිදක්වන්නෙ වෙනස්ම ආකාරයේ මියුසික් වීඩියෝවක් එක්ක?
ඇත්තටම මගේ කලින් නිර්මාණය වගේ නැතුව ඉතාම සරල විදිහෙ මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කළේ. සින්දුවට වැඩිය වීඩියෝව ඉස්මතු කරන්න ඕනෙ නෑ කියල මතයක් තමයි ඒක නිර්මාණය කරද්දි මූලිකව අපි හිතුවෙ. මේ සඳහා මගෙන් කිසිම මුදලක් අය කරන්නෙ නැතුව මේ විදිහට මියුසික් වීඩියෝව කරල දුන්නෙ රංග එස්. බණ්ඩාර. අනිත් එක තමයි මගේ දුවත් මාත් එක්ක මේ ගීතයෙ රංගනයට එකතු වෙනව.
මේ වෙද්දි මොනවගේ ප්‍රතිචාරද ගීතයට ලැබෙන්නෙ?
ගීතය එළිදක්වල ඇත්තටම තාම දවස් කීපයයි. මේ වෙනකොට ඉතාම හොඳ ප්‍රතිචාර ගීතයට ලැබෙනව.
ඉන්දික වික්‍රමරත්න











