මෙරට පොදු ජනතාවගේ බැංකුකරුවා මෙන්ම ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව සුබවාදී අපේක්ෂාවන් පෙරදැරිව සිය 60 වැනි සංවත්සරය සමරන 2021 නව වසරට පියනගයි.
පසුගිය වසර ගත් කල, විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වූ ජනතාවට, ව්‍යවසායකයින්ට සහ තනි පුද්ගලයින්ට සිය ජීවනෝපායන් සහ ව්‍යාපාර අවස්ථා යළි නඟාසිටුවීමට අතහිත දෙමින් මෙන්ම ගනුදෙනුකරුවන්ට සිය බැංකුකරණ අවශ්‍යතා පහසුවෙන් හා ආරක්ෂාකාරිව සපුරා ගැනීමට දිවයින පුරා ශාඛා 741 කින් සමන්විත සහ මිලියන 14 කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ විශාලතම බැංකුව ලෙස මහජන බැංකුව පහසුකම් සලසන ලදී.
ඒ අනුව පසුගිය වසර මුල සංචරණ සීමා පැනවූ සමයේ ගනුදෙනුකාර සේවාවන් පහසු කිරීම වෙනුවෙන්ම වෙන්කළ කාර්යය මණ්ඩලයක් සමඟ 80%ක් පමණ ශාඛා සහ සියලුම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන විවෘතව තැබීමට මහජන බැංකුව කටයුතු කරන ලදී. එමෙන්ම මහජන බැංකුව දියත් කළ දොරින් දොර ජංගම බැංකුකරණ සේවාව ඔස්සේ දිවයින පුරා ස්ථාන 1500ක් හරහා ගනුදෙනු 22000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරිණි.











