ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් සියලු සේවා සපයමින් මහින්ද්‍රා ට්‍රැක්ටර් සේවා කඳවුරක් පැවැත්වීමට සීමාසභිත ඩීසල් සභ මෝටර් ඉංජිනේරු පොදු (ඩීමෝ) සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය මෑතකදී කටයුතු කළේය. ‘කන්නෙ ගොඩයන්න දැන්ම රෙඩි වෙන්න’ යන තේමාව යටතේ, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩසටහනේදී ගොවීන්ට එළඹෙන වගා කන්නය සඳහා තම ට්‍රැක්ටර් සූදානම් කරගැනීම සඳහා අවස්ථාව සැලසිණි. එමෙන්ම මෙම වැඩසටහන තුළදී ගොවීන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද ඩීමෝ සමාගම කටයුතු කළේය. ඩීමෝ සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය වසර 30ට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහැරීම් සමාගම ලෙස කටයුතු කරයි.
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකි පදනම් කරගනිමින් මෙම සේවා කඳවුර පැවැත්වීමේ කාලය තීරණය කිරීමට ඩීමෝ සමාගම කටයුතු කළේය.
මෙම සේවා කඳවුර රට පුරා ස්ථාන 105කදී, දින 35ක් පුරා පැවැත්වුණු අතර ට්‍රැක්ටර් 1800කට අධික සංඛ්‍යාවක් සඳහා සේවාවන් සිදුකරන ලදී. සෑම ස්ථානයකදීම නිසි සුදුසුකම් සපිරූ කාර්මික නිලධාරීන් හා සහායකයන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ සඳහා යෙදවීමට ඩීමෝ සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය කටයුතු යොදා තිබිණි.
මෙම ස්ථානවලට ට්‍රැක්ටර් රැගෙන පැමිණි ගොවීන්ට වෛද්‍යවරුන් ලවා තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගැනීමටද අවස්ථාව උදාවිය. මෙම වෛද්‍ය කඳවුරුවලදී රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය ආදිය පරීක්ෂා කරන ලද අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ඖෂධ හා වැඩිදුර පරීක්ෂණද නියම කෙරිණි.