පවතින හදිසි ආපදා තත්ත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයන්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත.
රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබාදෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබාදීම සඳහා 2021 ජුනි 07 වැනිදා සිට අඛණ්ඩව දින පහක් දිනපතා දීමනා ලබාදෙන බව එයාර්ටෙල් සඳහන් කළේය. මෙමගින් ඔවුන්ගේ ආදරණීයයන් සහ අත්‍යාවශ්‍ය සේවා සමග සම්බන්ධතාවන් පවත්වාගත හැකි බව එයාර්ටෙල් විශ්වාසය පළ කරයි. මේ පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි හා කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා ”වගකිව යුතු සන්නිවේදන ආයතනයක් ලෙස ජනතාව විපතට පත්වන අවස්ථාවලදී ඔවුන්ට සහන සැලසීම සඳහා ඉක්මනින් පියවර ගත යුතු බව අප විශ්වාස කරනවා. වසංගතයක්, රට අගුළු දැමීම හා ගංවතුර ආදී අවාසනාවන්ත තත්ත්වයන් සමඟ එකවර කටයුතු කිරීම අතිශයින් දුෂ්කර බව අප හොඳින් දන්නවා. එනිසා මෙවැනි අසීරු අවස්ථාවකදී මෙම සහන ඒවා අත්‍යාවශ්‍ය අයට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවැසුවේය.











