කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ‘කෘෂි රන් ණය’ වැඩසටහන තුළින් රත්තරන් උකසට තබා බැංකුවෙන් කෘෂි ණයවලට සහන පොලියක් අය කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව, මේ වනවිට ශ්‍රී ලංකාවේ බැංකු රත්තරන් උකස් කිරීමේදී අයකරන අඩුම පොලී අනුපාතය කොමර්ෂල් බැංකුව අයකරන බවත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් රත්තරන් උකස් කර ණය ලබාගැනීමේදී එහි පොලී අනුපාතය වාර්ෂිකව 7.5%ක් වන බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ණය වැඩසටහන කෘෂිකාර්මික, ධීවර සහ පශු සම්පත් අංශයේ සිටින ගොවි ජනතාවට සහාය දැක්වීම සඳහා සැලසුම් කර තිබෙන අතර කැරට් 24 රන් පවුමක් උකස් කිරීමේදී රුපියල් 70,000ක අත්තිකාරම් මුදලක් මෙම ණය වැඩසටහන මගින් ලබාගත හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම ණය වැඩසටහනේදී උකස් කාලය සම්පූර්ණ වීමට පෙර කලින් දැනුම්දීමකින් තොරව ණය සහ පොලී මුදල් ගෙවීමෙන් රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව තිබෙන බව බැංකුව සඳහන් කරයි.
මෙහිදී, කෘෂි රන් ණය ගනුදෙනුකරුවන්ට උකස් කාලය අවසන් වනවිට එකවර පොලිය සහ ණය මුදල ගෙවා රන් භාණ්ඩ බේරාගැනීමට හෝ මාස 12ක් පුරා මාස්පතා ප්‍රාග්ධනය සහ පොලී මුදල කොටස් වශයෙන් ගෙවා රන් භාණ්ඩ බේරාගැනීමට අවස්ථාව බැංකුව ලබාදී තිබේ. බැංකුව සඳහන් කරන්නේ දෙවැනි විකල්පය යටතේ රන් භාණ්ඩ බේරාගැනීමේදී ගෙවීමට සිදුවන්නේ අවසානයට ඉතිරිවී තිබෙන ප්‍රාග්ධනය සහ පොලී මුදල් පමණක් බවයි.