කෙනකුගේ ජීවිතයේ කිසිවකුට නොකියනා කරුණු රාශියක් ඇති බව රහසක් නොවේ. මේ බව පුරාණයේ විසූ ඍෂිවරුන් මනාව දැන හඳුනාගෙන ප්‍රගුණ කර තිබේ. එලෙස සඟවාගෙන සිටින ඇතැම් දේ යම් යම් කාරණාවලදී තවත් අයකුට අවශ්‍ය වන බවද එකල විසූ ඍෂිවරු තේරුම් ගැනීම මත විවිධ පුද්ගලයන්ගේ ශරීරයේ ස්වභාවය අනුවත් අංග ලක්ෂණ අනුවත් එලෙස යමකු සඟවන කරුණු හඳුනාගැනීමට හැකි වන අයුරින් තොරතුරු හෙළිකිරීමට ඍෂිවරු කටයුතු කර ඇත.
එලෙස කෙනකුගේ ශරීරයේ උස ප්‍රමාණය කෙලෙසද යන්න හඳුනාගැනීමෙන් පහත පරිදි එම පුද්ගලයාගේ ගතිගුණ තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත.
උසින් වැඩි පුද්ගලයන්
යම් පුද්ගලයකු අසාමාන්‍ය උසකින් යුතු අයකු නම් හේ අන් අය ගැන ඉතා පහසුවෙන් තීන්දු තීරණවලට එන අයෙකි. එමෙන්ම තමා ගැන පමණක් සිතා තම වාසිය මුල් කොටගෙන කටයුතු කරයි. මුදල් වියදම් කිරීමට ප්‍රිය නැත. මසුරුකමින් මුදල් පොදිබඳින මොවුන් නිතරම අනෙකාව පහත් කොට කතාබස් කරයි. අන් අයගේ හැකියාවන් දැක එවැන්නක් එම පුද්ගලයාට ඇති බව පිළිගන්නට අකැමැති වෙයි. අසල්වැසියන් හා සුහදව සිටින්නට උත්සාහ කරනුයේ තමාගේ වාසියට පමණි.
ජීවිතයේ මුල් කාලයේ සැලසුමකින් තොරව කටයුතු කරන අය වුවද පසුකාලීනව කෙසේ හෝ මුදල් උපයා ගනී. එහෙත් අවශ්‍ය දේට වියදම් නොකරන ස්වභාවයක් වෙයි. නිතර නිතර සිය හැකියාවන් ගැන පම්පෝරි කියවයි.
සාමාන්‍ය උස පුද්ගලයා
මධ්‍යම ප්‍රමාණය, නැතහොත් නිසි උසකින් යුත් පුද්ගලයා ළමා කාලයේ සිටම සිය ජීවිතය සාර්ථක කරගන්නට උත්සාහවන්තව කටයුතු කරයි. එසේම අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගනී. උසස් තනතුරු සහ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබයි. රජයේ රැකියා ආදියටද වාසනාව ඇත. ගමේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් වේ. අන් අය ගැන මධ්‍යස්ථව කටයුතු කරයි. ජීවිතයේ අග භාගයේ සාර්ථකත්වය ඉහළින්ම ලබයි. ගමේ රටේ ප්‍රසිද්ධ වෙයි. මුදල් සම්බන්ධව යම් ලෝභකමක් පෙන්නුම් කළද නිසි තැන නිසි ලෙස වියදම් කරයි.
ප්‍රියමනාප පෙනුමක් මෙන්ම සාර්ථක විවාහයකටද උරුමකම් කියයි. ඇතැම් විට ජීවිතයේ විවිධ අවස්ථාවල සිය ලැබීම් කැපකර අන් අයට පිහිට වන්නට වුවද ඉදිරිපත් වේ.
සාමාන්‍ය මිටි පුද්ගලයන්
ශරීරයෙන් මිටි පුද්ගලයන් යනු තරමක් නරක ගතිගුණ ඇත්තන් ලෙස ප්‍රකටය. මේ අය උඩින් කතාකරන දෙයට වඩා වෙනස් දෙයක් සිත තුළ දරා සිටින්නන් වෙයි. එසේම අන් අයගේ දියුණුවට අකැමැති පුද්ගලයන්ය. තමාට නොලැබුණු දෙය අනෙකාට ලැබීමට විරුද්ධ වෙයි. මුදල් හදල් වියදමට ලෝභ නැතත්, ආර්ථික අතින් ශක්තිමත් වීමට වාසනාව අඩු පුද්ගලයන් ලෙස ප්‍රකට වෙයි.
විවාහය අසාර්ථක වීමට හෝ ගැළපෙන කෙනකු හමු නොවීම නිසා විවාහය ප්‍රමාද වීමටද ඉඩ තිබේ. උපන් ගමෙන් පිටදී ජීවිතයේ පසුකාලය ගෙවන්නට සිදුවේ. බලාපොරොත්තු බොහොමයක් කඩාකප්පල් වන ස්වභාවයක්ද පෙන්නුම් කෙරේ.
අසාමාන්‍ය මිටි පුද්ගලයන්
මේ අයගේ සැඟවුණු දක්ෂතා කිහිපයක් තිබෙන්නට හැකිය. එසේම තරුණ අවධිය පසුකරත්ම ජීවිතයේ ලැබිය යුතු බොහෝ දේ විවිධාකාරයෙන් ලබාගන්නන් බවට පත්වේ. තමාට උදව් කළ අය සමග සුහදව කටයතු කරන අතර අන් අයගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්න ලෙස සිතයි. මවුපියන්ට සහ ඥාතීන්ට හිතවත් වෙයි. මුදල් ගැන එතරම් තැකීමක් නොකරයි. විවිධාකාර සැලසුම් ඔස්සේ කටයුතු කර දියුණුවට මගක් සොයාගනී. විශේෂයෙන්ම ඇඟිලි තුඩු වෙහෙසා කරන කාර්යයන්ට දක්ෂ වෙයි. දක්ෂ ලියන්නන්, පරිගණක ශිල්පීන් මෙන්ම නිර්මාණකරුවන්ද මොවුන් අතරින් බිහිවනු ඇත.
එහෙත් නිතරම අකාරුණිකව ජීවත්වන ස්වභාවයන් පෙන්වයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර