දරුවකු නැණ ගුණ ඇති උතුම් මිනිසකු බවට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබාදීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ මේ කටයුත්ත සඳහා සම්බන්ධ කරගත්තේ ගමේ වැඩිහිටියකු, උගතකු හෝ බුද්ධිමතකු යැයි සැලකෙන විශේෂ කෙනෙකි. ඒ අතර පාසලේ විදුහල්පති, පන්සලේ හාමුදුරුවෝ හෝ ගමේ වෙද මහතාටද ප්‍රධාන තැනක් හිමි විය. එහෙත් අද වෙද්දී තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් මව හෝ පියා අකුරු කියවන කටයුත්තට මුල්වන බව පෙනී යයි.
අකුරු කියැවීමේ කටයුත්තට කාලය ආසන්න වෙද්දී සුදුසු ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ කේන්දරය පරීක්ෂා කර සුදුසු දිනයක් නැකැතක් සාදවාගත යුතුය. ඉන් පසුව අදාළ දිනයට පෙර දින පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශීර්වාද ලබාගැනීමෙන් දරුවාගේ අනාගතයට සෙතක් සිදුවේ. අධ්‍යාපනය නිසි අයුරින් පිහිටන්නටද එය ශක්තියක් වේ.
අකුරු කියවන දිනයේ සුබ මොහොතට පෙර නුවණට අධිපති ගණ දෙවියන්ට සහ සකල කලාවට අධිපති සරස්වතී දේවියට පූජාවන් තැබිය යුතුය. එම පූජාව තැබීමේදී පිරිසිදු කර, කහ දියර ඉස පිළියෙළ කරගත් විශේෂ තැනක් සූදානම් කරගත යුතු අතර, එම ස්ථානයේ මේසයක් තබා ඊට සුදුසු පිරුවටයක් එළා සූදානම් කරගන්න. ඒ මත ගණ දෙවියන්ගේ හා සරස්වතී දේවියගේ ඡායාරූප හෝ ප්‍රතිමා දෙකක් තබාගන්න.
ඉන් පසුව වෙන වෙනම දෙවියන් සඳහා පූජා වට්ටි සකස් කළ යුතුය. ගණ දෙවියන්ට වෙනම පූජා වට්ටියකුත්, සරස්වතී දේවියට වෙනම පූජා වට්ටියකුත් ලෙස සකස් කරගත් පූජා වට්ටි දෙක දරුවා ලවා දේව රූප ඉදිරියේ තැන්පත් කරවන්න. පසුව දෙවිවරු වෙනුවෙන් පහන් දෙකක් දල්වන්න. ඊට අලුත් පහන් තැටි දෙකක් සපයාගත හැකි නම් වඩාත් ගැළපේ. ඉන් අනතුරුව සුවඳ දුම් අල්ලා, සුවඳ කූරු දැල්විය යුතුය. එසේ සූදානම් කළ පූජා ස්ථානය වටා තෙවරක් දරුවා දක්ෂිණාවෘතව පැදකුණු කරවන්න. ඉන් පසු දේව රූප සහිත පූජා මේසය ඉදිරිපිට දරුවාව හිඳුවන්න. වාඩිවූ දරුවාට දේව රූප පෙනෙන ආකාරයේ උසට ගැළපෙන මේසයක් මේ සඳහා යොදාගත හැකි නම් වඩාත් සුදුසු වේ.
දරුවා වාඩිකරවූ පසු මවුපියන්ද එම ස්ථානයේ වාඩිවී දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ගණ දෙවියන් සහ සරස්වතී දෙවියන්ගෙන් පිහිට පතා දෙවියන්ට පින් දීමෙන් පසුව සුබ මොහොතට දරුවාට අකුරු කියවන්න.
මේ කටයුත්තේදී ඒ ඒ දරුවාගේ කේන්දරය පරීක්ෂාවෙන් පසුව සුදුසු අකුරු ජ්‍යොතිෂවේදියා සඳහන් කරනු ඇත. සුබ මොහොතට එම අකුරක් කියවීමෙන් වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට දරුවාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙනු ඇත.
පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය
- පලතුරු වර්ග 05යි. (අඹ, කෙසෙල්, දොඩම්, උක් දඬු, තැඹිලි, දිවුල් වැනි පලතුරු විශේෂයෙන් සුදුසු වේ.)
- කැවිලි වර්ග 05යි. (එහිදී කොණ්ඩ කැවුම්, අග්ගලා හා කිරියා කෑලි වැනි කැවිලි විශේෂ වේ.)
- උක් හකුරු
- මුං ඇට සහ එළකිරි යොදා සැකසූ කිරිබත්.
- කහ, රතු සහ සුදු මල් යොදා සැකසූ මල් මාලා.
ඉහත සඳහන් වර්ගම සොයාගත නොහැකි නම් ඊට ආදේශකයක් යොදාගැනීමද වරදක් නොවේ. වඩාත් වැදගත් වන්නේ කටයුත්ත සඳහා පේවී සැදී පැහැදී කටයුත්ත ඉටුකිරීමයි.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර