අඳුර එතරම් සුන්දර එළිය ඇති වචනයක් නොවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අඳුරු වචනයකි. වචනය කියවද්දීත් එකී මූසල බව යම් තරමකින් සිතට දැනෙන්නා සේම විශේෂයෙන්ම වාස්තු යන සංකල්පයේදී මෙය තදින්ම ජන ජීවිතයට බලපාන වචනයක් බවට පත්ව තිබේ. නිවෙසක විවිධ කොටස් පිහිටන අත එකී කොටස් අඳුරු වීම තුළ ඉන් එම නිවෙසේ ජීවත් වන පිරිසට ලැබෙන ප්‍රතිඵලත් වෙනස් වෙයි.
ඒ අනුව බලන කල නිවෙසක කිසිදු කොටසක් අඳුරින් පිරී පැවැතීම සුබදායක නොවේ.
බොහෝ විට නිසි පරිදි සූර්යාලෝකය නොලැබීම තුළ ඇතැම් නිවාස දහවල් කාලයේද රාත්‍රියේ මෙන් අඳුරුව තිබෙන අවස්ථා අනන්තවත් දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් ඔබේ නිවෙසේත් ඇත්නම් ඉතා බුද්ධිමත්ව මේ කරුණු ගැන අවධානය දැක්වීම වැදගත් වෙයි.
මා මුණගැසීමට මෑතකදී පැමිණි ව්‍යාපාරික මහතකු නව නිවෙසක් මිලට ගෙන තිබුණේ කොළඹට ඉතා ආසන්න ස්ථානයකිනි. ඔහු එම නිවෙසේම සිය ව්‍යාපාරයේ කාර්යාල කටයුතුත් කරගෙන යෑමට සැලසුම් කර තිබිණි. ඒ අනුව කාර්යාලයට අවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය නිවෙසේ කාමර කිහිපයක ස්ථානගත කර ඇති අතර සුබ හෝරාවක් බලා අදාළ කටයුතු ආරම්භ කරන්නටද වගබලාගෙන තිබේ.
එහෙත් වැඩි දවසක් යන්නට ප්‍රථම ඔහුගේ ව්‍යාපාරය අඩපණ වීමට පටන් ගෙන ඇති හෙයින් අලුත් ස්ථානය ගැන සැක සිතී මා හමුවට එන්නට සිතී ඇති අතර මා එම ස්ථානයට ගියේ දහවල් 11ට පමණය. එහෙත් ඔහු එහි සියලු විදුලි පහන් රාත්‍රියේ මෙන් දල්වා තිබිණි. විශාල ගොඩනැගිල්ලක් නම් එවැනි අඳුරක් පැවැතීමට සාධාරණ හේතු තිබිය හැකි වුවත්, එය තනි මහල් නිවෙසක් වූ හෙයින් එසේ විදුලි බුබුළු දැල්වීම ගැන මගේ සිතේ ඇතිවූයේ යම් දෙගිඩියාවකි. ඒ අනුව සියලු විදුලි බුබුළු එකින් එක නිවාදැමූ මා නිවෙසේ සැබෑ ස්වරූපය දැකගතිමි. ඒ අනුව පෙනීගියේ අදාළ නිවෙසේ බොහෝ තැන්හි ස්වාභාවික ආලෝකය නොලැබෙන බවකි. එමෙන්ම ඇතැම් තැන්හි බොහෝ සුබ කිරණ ලැබෙන තැන්ද ආවරණ කර තිබිණි.
ඒ අනුව එම ස්ථානයේ තවදුරටත් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ නම් ඔහුගේ සියලු කටයුතු බංකොලොත් භාවයට පත්වන්නට ඉඩකඩ තිබිණි. ඒ තත්ත්වය පෙන්වාදී ස්ථාන හතරකින් සුදුසු ලෙස කවුළු හෝ ජනේල තබන්නට උපදෙස් දුන් අතර එක් තැනක වූ බිත්තියක් කඩා ඉවත් කරන්නට උපදෙස් දුන් මා, එම ස්ථානයේ අඳුර දුරුවන ආකාරයට කටයුතු කිරීමටද උපදෙස් දුනිමි.
එම වෙනස්කම් කිරීමෙන් පසු අදාළ ස්ථානයේ කරගෙන ගිය ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනයට හේතු විය.
මේ තත්ත්වය නිවෙසක වුවද තදබල ලෙස බලපාන අතර ඔබගේ නිදන කාමරය තදින් අඳුරුව පවතී නම් මානසික ආතතිය, අඹුසැමි ප්‍රශ්න, දූදරු ප්‍රශ්න, උදරාබාධ ආදියට හේතු වනු ඇත. එසේම විසිත්ත කාමරය අඳුරු වූ විට ආර්ථික පරිහානිය, ධනය විනාශ වීම, සතුට දුරස් වීම, සමාජයෙන් කොන් වීම හා අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වීම සිදුවනු ඇත.
මුළුතැන්ගෙය අඳුරුවීම තුළ විවිධාකාරයෙන් අසනීප ඇතිවීම, මුදල් අපතේ යෑම, විවිධ අගහිඟ ඇතිවීම ආදියට හේතු යෙදේ.
සමස්තයක් ලෙස නිවෙසම අසාමාන්‍ය ලෙස අඳුරේ ගිලී ඇත්නම් දහවල් කාලයටද ආලෝකයක් නැත්නම් තමාගේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කළ ආයෝජනවලින් පාඩු සිදුවේ.
මේ නිසා අදම ඔබගේ නිවෙසේ අඳුර දුරුකර ස්වාභාවික ආලෝකයට ඉඩදීමට කටයුතු කරන්න. එවිට ඔබගේ හෙට දවස අදට වඩා යහපත් වනු ඇත.
ප්‍රවීණ වාස්තු උපදේශක සත්‍යජිත් සම්පත්