බහිරව බැල්මක් බහිරව දෝෂයක් මේ ආදී විවිධාකාර හැඳින්වීම් සහිතව පෙන්වා දෙන යම් ආකාරයක හානිදායක ක්‍රියාවන් සමුදායක් වෙයි. මේවා ඇසට නොපෙනෙන විවිධාකාර හේතු කාරණා මුල් කරගෙන සිදුවන විනාශකාරී දේවල් වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. විශේෂයෙන්ම යම් ස්ථානයක භූමියක හෝ නිවෙසක සිටින පුද්ගලයන්ට විවිධ කාරණා මුල් කරගනිමින් අනතුරු උපද්‍රව සිදුවීම ඉතා බුද්ධිමත්ව විමසා බලා එය බහිරව දෝෂයකින් සිදුවන්නක්ද යන්න හඳුනාගත යුතුය. එසේ හඳුනා ගන්නා දෝෂ සඳහා පිළියම් කිරීම මෙන්ම ස්ථාන වෙනස් කිරීම් ආදියද බොහොමයක් ප්‍රතිකර්මවලදී සිදුවේ.
කෙසේ නමුත් භූමියට අධිපතිත්වය හෝ එම ස්ථානයට අධිපතිත්වය දරන බහිරව දේවතාවා සතුටට පත් නොකර ඔහුගේ අනවසරයෙන් යමක් කිරීම බහිරව දෝෂයට ලක්වීමට ප්‍රධාන කාරණාවක් සේ සැලකෙන බැවින් තමන් අලුත් තැනක අලුත් දෙයක් කරන විට මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇතිවීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳ කතාකිරීමේදී වස්තුව ධනය මුතු මැණික් රන් රිදී ආදිය අමතක කළ නොහැකිය. මන්ද බොහෝ බහිරවයන් මෙම වස්තුවට ආශා කරමින් ඒ ඒ වස්තූන්ට බැල්ම හෙළමින් වාසය කරන්නන් බව පැවැසෙන නිසාය.
එහිදී අතීතයේ අද මෙන් සිය ධනය ආරක්ෂා කරගැනීමට දියුණු තාක්ෂණික ක්‍රම නොතිබීම හේතුවෙන් එකල බොහෝ ධනවත් පිරිස් සිය ධනය විවිධ තැන්හි රඳවා තබා ඇත. එවැනි ස්ථාන ලෙස ගල්, ගස් මෙන්ම මහ පොළොවද යොදාගෙන ඇති අතර එසේ රඳවා තැබූ ධනය කාලාන්තරයක් නොගැනීම මත ඒවා එම ස්ථාන තුළම නිදන් බවට පත්ව ඇත. එසේ නිදන් වූ වස්තුව මිහිපිට වෙසෙන බහිරවයන්ට පෙනෙන බවටද මතයක් වෙයි. එනිසා එම බහිරවයන් අදාළ ස්ථානවල නතරවී එම ධනයට ආශාවෙන් රැඳී සිටින බවත්, එසේ රැඳී සිටිමින් එම ධනයට කාගෙන් හෝ අනතුරක් වේ යැයි සිතුණහොත් එම පුද්ගලයන්ට විපත් පමුණුවන බවටත් විශ්වාසයක් වෙයි.
එසේම රත්නපුරය ආදී ප්‍රදේශවල ඇති මැණික් ඉල්ලම්ද බහිරවයන්ට හොඳින්ම පෙනෙන බව පැවැසෙයි. එනිසා ග්‍රහ තත්ත්වය බලවත් නොවූ පතල්කරුවන් හෝ අදාළ පුද පූජා නොකළ පතල්කරුවන්ගේ මැණික් ඉල්ලම වෙනත් පැත්තකට රැගෙන යන බවටද විශ්වාසයක් වෙයි. එසේම බොහෝ මැණික් පතල් හිමියන්ට මැණික් ලැබෙන්නත් මෙම තත්ත්වය බලපාන බවට විශ්වාස කෙරෙන අතර, යම් ලෙසකට අදාළ පුද පූජා තැබීමෙන් පසුව ඇතැම් පතල් හිමියන්ට මැණික් පතල් හමුවනුයේ මැණික්වලට බැල්ම හෙළ සිටින බහිරවයාගෙන් තිබූ බාධාවන් ඉවත් වීමෙන් බවට විශ්වාස කෙරේ.
බහිරවයන්ගේ වාසස්ථාන ලෙස ඇතැම් ඉඩම්ද තෝරාගෙන තිබෙනවා. යම් ලෙසකට බහිරවයන් ප්‍රිය කරන යමක් යම් ඉඩමක ඇත්නම් එම ඉඩම බහිරවයාගේ වාසස්ථානය සඳහා තෝරා ගැනෙනවා. එවැනි බහිරව වාසස්ථාන ඇති ඉඩම්වල විශාල නාගයන් සිටින බවටත් මතයක් තිබෙනවා. බහිරව දෝෂ ගැන හඳුනාගත හැකි තවත් සාධක කිහිපයක් ගුප්ත විද්‍යාවේදී හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් රාත්‍රියට විවිධ ආලෝක ඇතිවීම, මිටි විරූපී මිනිසුන් පෙනීම, ඉඩම්වල පදිංචිකරුවන් රාත්‍රියට සිහිනෙන් බියට පත්කිරීම, ඉඩමට කළු හරක් ඒමට පටන්ගැනීම, ඉඩම්වලින් පලදාව ලැබුණු ගස් නිසරු වී ආදායම අඩුවීම වැනි දේත් ප්‍රසිද්ධයි. බොහෝ දුරට බහිරවයන් කෝප වූ විට මේ තත්ත්වය වැඩි වෙනවා කියලත් කතාවක් තිබෙනවා.
මේවා සරලව සිතීම අනිටු පල ඇතිකරන්නට සමත් වෙනවා. එනිසා තමන් සිටින ඉඩමේ බහිරවයන්ට අයත් යමක් ඇතැයි සැකයක් වේ නම් පහනක් දල්වා, බහිරවයාට ඔහුගේ වස්තුව තබාගන්නා ලෙස පවසා තමන්ට එම වස්තුව අනවශ්‍ය බැවින් තමාටත් පවුලේ අයටත් ආර්ථිකයටත් කරනා හානිය නතර කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම ඔබට බහිරව කරදරයෙන් මිදී සුව සේ ජීවත් වීමට වාසනාව උදාවනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර