සෙනසුරු ග්‍රහයාගේ ස්වරූපය බැලුවොතින් ඔහු නොණ්ඩියෙක් ලෙස හැඳින්විය හැකියි. කකුලේ කුණු සැරව ගලමින් සිටින එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපල ලැබෙන්නේ විනාශයටයි. කෝටිපතියෙකු, හිඟන්නෙකු බවට පත්කරන්නේ ඉතා කෙටි කාලයකදියි. හිඟමනයට බස්සන්නෙකු ලෙස ශනි පිළිබඳ කතාවක් මටත් මගේ පියා කියනු අසා ඇත. කළ පව් ගෙවෙන්නට වන කාලයද සෙනසුරු අපල ගෙන දෙන කාලය ලෙස සඳහන් කිරීම වරදක් නැත.
සෙනසුරු ග්‍රහයා සඳුගෙන් 4, 5, 8, 9, 10 යන රාශිවල ගමන් කරන කාලය ඒරාෂ්ටක අපල කාලය වෙයි. තවද ඔබගේ හඳහනේ සඳුගෙන් දෙපැත්තේ ශනි ගමනත්, චන්ද්‍ර ඒරාෂ්ටක අපල කාලයකි. චන්ද්‍රයා සිටි රාශියෙන් 8 වැන්නේ ශනි ග්‍රහයා යෙදීමද සෙනසුරු අපල වෙයි. චන්ද්‍රයා සිටි රාශියෙන් දෙපැත්තේ පිහිටි රාශි දෙකක් ඇතුළත්ව රාශි 3ක් ශනි ඒරාෂ්ටකයට යටත් වෙයි. ශනි රවිගේ පුත්‍රයායි. මව චයා දේවියයි. චයා දේවි හිරුගේ බිරිය බව දේව කතා හෙළිකරති. එහි සත්‍යයක් තිබේද යන්න සොයා බැලිය යුත්තකි. කෙසේ වෙතත් සූර්ය දිව්‍ය රාජයාගේ බිසවක් බව මතයකි.
සෙනසුරු ග්‍රහයාට එක් රාශියක ගමන් කිරීමට අවුරුදු 2 1/2ක් ගත වෙයි. රාශි චක්‍රය වටේ යෑමට අවුරුදු 30ක කාලයක් ගත වේ. දරුවකුව සිටී නම් ඉලන්දාරියකුව කසාද බැඳ ළමයින් සිටින තාත්තෙක්ගේ වයසකි එය. සෙනසුරු තද නිල් පැහැයක් ගනී. ආලෝක පරාවර්තනයෙන් තද නිල් පැහැ ගත්තද ආලෝකය පරාවර්තනය නොවේ නම් තද කළු පැහැයක් ගනී.
ශනි ඔබට සුබඵල දෙන්නේ 3, 6, 11, යන රාශි ගමනයි. අවුරුදු 120කට ආයු ඇත්නම් එයින් අවුරුදු 90ක්ම සෙනසුරු අපලයට යටත් වේ. සමහරු මෙය විශ්වාස නොකරයි. ජීවිත ගමනේ දුක්කරදර ගොඩක් ඔබේ කරමත තබන්නේ සෙනසුරාය. සෙනසුරු ඒරාෂ්ටක කාලය වන අවුරුදු 7 1/2ක් ශනි හේතු කොටගෙන ධනය වියදම් කිරීමට සිදුවන්නේ සුව නොවන කකුලේ තුවාලයක් ඇති කරමින් විය හැකිය. නැති නම් අස්ථි බිඳීමක් සිදුවීමෙනි.
සෙනසුරු අපලයේදී අත – පය කැඩී, බිඳී යා හැක. මුහුණ විරූපී වී ශරීරය කළු වේ. ඇහි බැම යාවේ. වැටීම්, තැළීම් හා හදිසි රිය අනතුරුවලින් අත් – පා නැති වීම වුවත් සිදුවිය හැකි නිසා ප්‍රවේශම බොහෝ වටී. තවත් සමහරුන්ගේ ඔළුවට හානි සිදුවී සිහි විකල්ව සදාකාලිකවම රෝහල්වල මන්දමානසික ලෙඩෙකු ලෙස කාලය ගතකිරීමට සිදුවන්නේ කරුමයක්ද එකතු වී පල දීමක් ලෙසයි.
සෙනසුරු ඔබට කියා දෙන පාඩම දුක්විඳීමට හුරුකිරීමයි. සෙනසුරාගේ ස්වරූපයට අදාළව කකුල් බැඳීම ඔහුගේ විනෝදාංශයකි. ඉතා ධනවත් අයෙකුට වුවත් දුබල සෙනසුරාගේ දසාව මුළුමනින්ම අවුරුදු 19ක් ලැබුවේ නම් වියළි වූ පොල් අතු සුළඟට කඩා වැටෙන්නාක් මෙන් අපලය ලැබූ දා සිටම නොයෙක් කරදර කරපින්නාගෙන ජීවන මාවතේ ඉතා දුෂ්කර ගමනක් යෑමට සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී ජ්‍යොතිෂ විiාව, ග්‍රහයින් විශ්වාස නොකළ අයවලුන් පවා දක්‍ෂ, ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් සොයා ගොස් ප්‍රතිකර්මවල සහාය පතයි. එම නිසා රටටම සම්පතක් වන ධනවත්, බලවත් පුද්ගලයෙකුට නීච සෙනසුරු දශාව ලැබීම මා දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. තමා මෙලෙස ඇඳට වැටෙනකම්ම නොසිට දන්දී, දහමට අනුව හැඩගැහෙමින් දැහැමි ජීවිතයක්, සරල ජීවිතයක් ගතකිරීම මේ කාලයට බොහෝ වටී. සෙනසුරා නමැති ගොනා මිනිසා නමැති කරත්තයත් ඇදගෙන මානසික රෝහලකට යන්නේ හදපිරි සතුටකිනි. එයින් මිනිසා දුක් වුවත් සෙනසුරා සතුටු වෙයි. ජන්මියාව හිඟන්නෙකු, අසරණයෙකු කරවන්නේ හිත්පිත් නැති අයෙකු ලෙසයි. සමහර අයව ගිලිගැනීමටත් සෙනසුරා පසුබට නොවේ.
සෙනසුරු දශාවෙන්ද දුක දේ. ශනි වනාහි ප්‍රවජ්‍යාකාරයෙකි, දිළිඳුකාරකයකි, හිඟන්නාගේ රජ වන සෙනසුරු හිඟන්නාටත් අපල කර ඇත. සමහර යාචකයන් පිරිසුදුව සිටියත් තවත් සමහරුන් ඇඳිවත අපිරිසුදු කරගෙන, සෙම, සෙවල පෙරාගෙන, අසූචි, මුත්‍රාවලින් ඇඳිවතත් තෙමාගෙන ජරාවට පත්ව කල්ගත කරන්නේ ප්‍රේතයෙකුට සමාන ආකාරයෙනි.
සෙනසුරාට මෙසේ අපල සිදුකරන්නට ජන්මියාගේ පෙර ආත්මභවයන්හි කරන ලද පාපකර්මයන් අනුබල දෙයි. ප්‍රේතයන්ගේ ආත්ම බඳු සමහර මිනිසුන් අපට දකින්නට ලැබෙන්නේ මේ නිසාය. බොරු කී, පරුෂ වචන කී, කේලම් කී අයවලුන්ගේ කටවල් ගඳ ගසයි. වැරැදි කාම සේවනයන්ගේ නිරත වූ අයගේ සම වැහැරී, වණ වී සැරව ගලන්නේ ප්‍රේත වත්ථුවේ සඳහන් පරිදි අපායේ යම පල්ලන් පැමිණ උල්වලින් අනින්නාක් බඳු වේදනාවක් පිටකරමින්ය. සමහරුන්ගේ අපාය මේ මිහිපිටම නිර්මාණය වී ඇති සේය. කරුමය ගෙවා අවසන් වනතුරු මරුවාද නොපැමිණේ. තවත් සමහරු මැරි මැරී විඳවමින් ජීවත් වේ. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් දුටුවිට අපට සසර දුක, පිළිබඳව, සසර බිය පිළිබඳව මනාව පැහැදිලි වේ. මනුෂ්‍ය ආත්මයේ ඉපිද පමණින් නොව සංසාරේ කෙළවර වනතෙක් මෙවැනි දුක් ආත්මවල ඉපදෙමින්, මැරෙමින් අවුරුදු දසදහස් ගණන් දුක්විඳී.
කෙසේ වුවද ශනි හෙවත් සෙනසුරු නීචව 8 වැන්න යෙදීම මහා දුක් කන්දරාවක් උරුම වීමකි. මනුෂ්‍යයයෙක් ලෙස ඉපදුණත් ලිංගික අවයව විකෘති වේ. පවුල් ජීවිත ගතකිරීමට නොහැකි වේ. සම්මතයට අනුව ස්ත්‍රීන්, පුරුෂයන් බිහිවුවත් සමහරුන් නපුංශකයන් වන්නේ මේ නිසාය. සමහරු මෙවැනි පුද්ගලයන්ට අසභ්‍ය වචන කියමින් කොන්කරයි. නමුත් කිසිවිටෙකත් ඔබ එසේ කරන්නට එපා. කරුමයක් පලදී එසේ වූවාට ඔහු හෝ ඇය කුමක් නම් කරන්නද. පෙර ආත්ම භවයන්හි අනාචාරයේ හැසිරෙමින්, යහපත්ව තිබූ පවුල් ජීවිත මුළුමනින්ම විනාශ කරමින් සිටි නිසා මේ ආත්ම භවයේ මනුෂ්‍යයකු ලෙස ඉපදීමට පෙර පිනක් පලදී තිබුණත් පවුල් ජීවිත ගතකිරීමට හැකි නොවන ලිංගික අවයව සකස් වන්නේ කරුමය පලදීමෙනි.
මේ අනුව ශනි හෙවත් සෙනසුරු යනු රෝගකාරක, කර්මකාරක, රැකියාකාරක, වෛශ්‍යකාරක (රාගී නොවන) විරාගී වන, පව් වැඩි නම් නපුංශක වන ග්‍රහයෙක් බව පැහැදිලි වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ගොඩගම ජයසේන ජයසිංහ
0112 752316