දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගැනීම යන කාරණයේදී බොහෝ දෙනකු දෙවියන් රවටන්නට උත්සාහ කරන බවක් තමයි පනෙන්න තියෙන්නෙ. මොකද තමන්ට අවශ්‍ය වුණාම පමණක් දෙවියන්ට පහනක් තියලා බාරයක් වෙලා පිහිටක් ඉල්ලනවා. අනෙක් වෙලාවට දෙවියන් ගැන කිසිදු තැකීමක් නොකර අමතක කරලා දානවා. එහෙම බලද්දී දෙවියන්ට වුණත් තේරෙනවා අදාළ කෙනා කරන්න හදන්නෙ තමන්ව රවටන එක තමයි කියලා.
ඉතින් එහෙම වුණාම දෙවියන් ඒ අයට පිහිට වෙනවාද කියන එක ප්‍රශ්නයක්. එනිසා දෙවියන්ගෙ පිහිට අවශ්‍ය නම් අපි නිතරම දෙවියන් සිහි කරගෙන පින් දීගෙන දෙවියන් සමග ඉන්න ඕනෙ. එතකොට අපට පිහිටක් අවශ්‍ය වූ විගස අපි එය ඉල්ලන්නත් කලින් දෙවියන් අපට පිහිට වෙනවා. එනිසා නිතර දෙවියන් සිහිකර පහනක් තැබීම ඉතා හොඳ දෙයක්. මෙය විවිධ අය විවිධාකාරයෙන් කරනු ලබනවා.
දෙවියන්ට පහන් තැබීමේදී බොහෝ දෙනෙක් ගම්භාර, සූනියම් සහ යක්ෂ දේවතාවුන්ට පහන් තබන අතර තවත් සමහරුන් පත්තිනි, ගණදෙවි, කතරගම, විෂ්ණු සහ කාලි මෑණියන්ට පහන් තබනවා. කෙසේ නමුත් ඊශ්වර, විෂ්ණු සහ කතරගම දෙවියන්ට පහන් තැබීම ඉතා උචිත බවයි වැඩි දෙනකුගේ මතය වන්නේ.
දෙවියන්ට පහන් තැබීම හිතුමතේ නොකළ යුතුය. ඒ සඳහා සතියේ බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දිනවල රාත්‍රී 9ත් 10ත් අතර කාලය ඉතා සුදුසු වේ. මේ සඳහා අඩි එකහමාරක පමණ පළලට කුඩා දේව රූප තුනක් තැබීමට හැකි වන අයුරින් සැකසූ දෙව් මැඳුරක් අඩි තුනහමාරක් පමණ උස කණුවක් මත සවිකර ගැනීම ඉතා යෝග්‍ය වේ. එය මිදුලේ ඊශාන හෝ නැගෙනහිර පැත්තේ නිවෙසට ආලෝකය එල්ල නොවන අයුරින් සවිකිරීමද වැදගත්ම කාරණයකි. මෙම නිර්මාණය ඉතා අලංකාර අයුරින් කිරීම තුළින් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. මන්ද දෙවියන් අලංකාරය සඳහා වැඩි කැමැත්තක් දක්වන හෙයිනි.
පහන් කූඩුව පාමුල පිරිසිදු මුහුදු වැලි අතුරන්න. ගහකොළ සහිත තැනක නම් වඩාත් යෝග්‍ය වේ. දෙවියන් තුන් දෙනාටම එකම වෙලාවක පහන් තුනක් තබන්න. මල් තැබීමට වෙනම කොටසක් සකසා ගන්න. දෙවියන් තිදෙනාගේම රූප තබා රාත්‍රී නවය පසුවූ පසු පහන් දැල්වීම නිවෙසේ ප්‍රධානියා විසින් කරනවා නම් වඩාත් සුබ වේ
සුවඳ ධූපයකින් දුම් අල්ලන්න. පහන් දැල්වීම යම් හෙයකින් කඩවුණි නම් සමාව අයැදින්න. පහන් වැටි සතුන්ට රැගෙන යෑමට ඉඩක් නොවන ලෙස තැබිය යුතුය. නිතර සුපැහැදිලි සිතින් මානසික සුවයෙන් සිටීම ඔබටම මෙම පූජාවන් ඉවහල් වනු ඇත. කොහේ කොතැනක ගියද ඔබේ ආරක්ෂාවට ඔබ ළඟ කෙනකු සිටින බව දැනෙන්නට ඉඩ තිබේ. අමතක නොකරන්න. ඒ ඔබ නිතර අදහන වඳින පුදන පිදෙන දෙවියන්මය.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජය ශ්‍රී නන්ද කුමාර