මේ ලෝකයේ උපදින අප සියලු දෙනාටම ජීවත්වීමට අවශ්‍ය මූලික සාධක අතර මුදල්මය ශක්තිය ඉතා වැදගත් සාධකයකි. මුදල් නැතිනම් අපට ජීවිතයේ කිසිම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට නොහැකිය. එසේ නම් මුදල් යනු අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් අධිකව මුදල් තිඛීමත් ජීවිතයට කරදරයකි, හානියකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව මුදල් නමැති සාධකයටත් ගැළපෙන බව මාගේ හැඟීමයි. එසේ නම් කෙනෙකුට ජීවත් වීමට යම් ආර්ථික ශක්තියක් තිබිය යුතුමය. ඒ සඳහා ජන්ම කේන්ද්‍රයක ආර්ථික ශක්තිය නැතහොත් ධන ශක්තිය මැන බලන්නට අප මූලික වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ හඳහනේ කොටු 12 අතරින් දෙවැනි රාශිය වන ධනස්ථානයත් එකොළොස්වැන්න වන අයස්ථානයත් යන රාශි දෙකයි. එයට අමතරව රැකියාව හෙවත් වෘත්තීය බලය විමසා බැලීම සඳහා 10 වැන්න හා 10 වැන්න අධිපතිත්, මීට අමතරව ලග්නාධිපතිත්, 9 වැන්නාධිපතිත් වැදගත් වෙයි. අයස්ථානයෙන්, එනම් 11 වැන්නෙන් 11 වැනි රාශිය වන 9 වැන්න ආදායමට අනියමින් බලපාන රාශිය වෙයි. එසේම කේන්ද්‍රයේ 9 වැන්නෙන් 11 වැන්න වූ 5 වැන්න කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වෙයි.
එනම් අප ඉහත සඳහන් කළේ කේන්ද්‍රයේ ධන ශක්තිය පිළිබඳවයි. අප ලබාගන්නා එම ධනය, ආදායම වැඩි වශයෙන් වැයවන්නේ කුමන අංශයක් සඳහාද යන්න සොයාගැනීම සඳහා හඳහනක සැඟවුණු ධන රාශියක් ඇති බව ජ්‍යොතිෂයේදී පිළිගනු ලබයි. බොහෝ දෙනකු ගුරු මුෂ්ටියක් ලෙස පමණක් යොදාගනු ලබන මෙම සැඟවුණු ධන රාශිය පාඨක ඔබ වෙනුවෙන් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ මූලික අරමුණයි. එසේ නම් එම සැඟවුණු ධන රාශිය සොයා ගන්නේ කෙසේද? අප ලබන ආදායම වැඩි වශයෙන් වියදම් වන්නේ ලෙඩරෝගවලටද, අධ්‍යාපනයටද, නඩුහබවලටද, නැති නම් ගේදොර ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතුවලටද, එසේත් නැති නම් වෙනත් කාර්යයක් සඳහාද යන්න සැඟවුණු ධන රාශිය සොයාගැනීම තුළින් අපට තොරතුරු හෙළිකර ගත හැකිය. මීට අමතරව ලබන ආදායම යහපත්ද අයහපත්ද සුරක්ෂිතද නැතහොත් හානිකරදැයි මෙමගින් නිගමනය කළ හැකිය.
සැඟවුණු ධන රාශිය සොයාගැනීම සඳහා පුරාණ ඉසිවරු නවග්‍රහයන්ගේ එක් එක් ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයක් නිර්දේශ කර ඇත.
ඒ මේසේය.
රවි ‐ රශ්මි 30
සඳු ‐ රශ්මි 16
සිකුරු(ශුක්‍ර) ‐ රශ්මි 12
ගුරු – රශ්මි 10
බුධ ‐ රශ්මි 08
අඟහරු (කුජ) ‐ රශ්මි 06
ශනි (සෙනසුරු) ‐ රශ්මි 01
සැඟවුණු ධන රාශිය සොයාගැනීම සඳහා ඔබගේ ජන්ම පත්‍රයේ 9 වැන්නාධිපති සොයා එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් චන්ද්‍රයාගෙන් 9ට අයත් ග්‍රහයා හෝ බලවත් ග්‍රහයා සොයාගෙන එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් එකට එකතු කර ලැබෙන පිළිතුර 12ට වැඩි නම් 12න් බෙදා ශේෂය ගෙන සඳු සිටි රාශියේ සිට එම සංඛ්‍යාව දක්වා වූ රාශිය තෙක් ගැන බැලිය යුතුය. එසේ නම් අප ආදර්ශ හඳහනක් අනුව උදාහරණයක් ගෙන පැහැදිලි කර ගනිමු.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සෙනසුරුය. එම ශනිට අයත් රශ්මි සංඛ්‍යාව 1කි. සඳුගෙන් 9 වැන්න කුම්භයයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 13කි. 12න් බෙදූ විට ශේෂය 1කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 1 වැන්න ලග්නයෙන් 2 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 2 වැන්න වූ ධනස්ථානයයි. ඒ අනුව මෙම ජන්මියාට ධනයෙන් අඩුවක් නැත.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සඳුය. එම සඳුට අයත් රශ්මි සංඛ්‍යාව 16 කි. සඳුගෙන් 9 වැන්න තුලාවයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 28 කි. 12න් බෙදූ විට ශේෂය 4කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 4 වැන්න ලග්නයෙන් 7 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 7 වැන්න වූ විවාහ ස්ථානයයි. ඒ අනුව මෙම ජන්මියාගේ ධනය වියදම් වන්නේ විවාහ ප්‍රශ්න නඩුහබ වැනි 7 වැන්නෙන් ක්‍රියාත්මක කාරණා සඳහාය.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ











