මේ ආදරවන්තයන්ගේ මාසයයි. එනිසාම කවුරුත් ආදරේ ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. විවාහක අවිවාහක මේ හැම කෙනකුගේම හිත් ඇතුළේ ආදරේ ගැන පුංචි හෝ හැඟීමක් මේ මාසෙදි ඇතිවෙනවා ඇති. එනිසා විවාහක අය තමන්ගේ ආදරේ අතීත මතක සටහන් හාරා අවුස්සමින් රස විඳිද්දී පෙම්වතුන් තමන්ගේ ආදරය ගැන හීන මවද්දී ඒ ආදරය විඳිද්දී බොහෝ විට පාසල් වයසේ පසුවන තරුණ දරු දැරියන් අනාගත ප්‍රේමයන් ගැන සිහින දකින බව නම් රහසක් නොවේ. මොකද තරුණ හිත් නිතරම තමන්ටම කියා ආදරයක් සොයන්නට පෙලඹෙන්නෙ මේ කාලයේ නිසා. ඇත්තටම එහෙම කෙනකුට පාසල් වයසෙදිම ආදරයක් ලැබේවිද කියලා කෙනකුට සැක හිතෙන්නටත් පුළුවන්. මොකද හිත්වල එහෙම හැඟීමක් තිබුණට කෙනකුට ආදරය ලැබෙද්දී තව කෙනකුට ඒ හැඟීම සිහිනයක් පමණක්ම වෙන බවකුත් වර්තමානයේ පේන්න තියෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එකත් හැමෝටම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගැන කියන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි හිතේ එහෙම අදහසක් පහළ වූ පමණින් අපට ආදරයක් ලැබෙන්නෙ නෑ, විශේෂයෙන්ම තරුණ විය ඇරැඹුණු විගස ආදරය හිමිවේද, හිත ප්‍රේමයක පටලාවිද යන දේවල් කේන්දරයේ ලියවිලා තියෙන්නත් ඕනෙ. එනිසා තරුණ දරුවන්ගේ කේන්දරය ඉතා බුද්ධිමත්ව පරීක්ෂා කර බැලිය යුතුයි.
ප්‍රේමය පිළිබඳ විමසනුයේ කේන්දරයක පස්වැන්නෙනි. එහි රාහු සහ සිකුරු තැන්පත්ව සිටියේ නම් පාසල් ප්‍රේමයක ලකුණුය. බුධ, සිකුරු පස්වැන්නේ පිහිටීමත්, සඳු සිකුරු පස්වැන්නේ පිහිටීමත් එසේමය.
පස්වැන්නට අධිපති ග්‍රහයා හත්වැන්නේ සිටියදී ගුරු, සිකුරු දෙදෙනා එකොළොස්වැන්නේ වෙතොත් පාසල් ප්‍රේමයකි. හතරවැන්න සහ පස්වැන්නට අධිපති ග්‍රහයන් පස්වැන්නේ එක්ව සිටීමත් පාසල් වියේදී පෙම් සබඳතා ඇතිකරයි. 3,7,11 යන රාශිවලට අධිපති ග්‍රහයන් පස්වැන්නේ නම් ළාබාල වියේදීම ආදරයට මුලපුරයි. කුජ, ශුක්‍ර යෝගයත් ළාබාල ප්‍රේමයට නෑකම් තිබේ. කලා අංශයන්ට නැඹුරුව අධ්‍යාපනය කරතොත් එසේ නොවීමට පිළිවන. සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපතිව 9 වැන්නේ වෙතොත් පාසල් යන වයසේදී ප්‍රේමයට දුවයි. (සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපතිවයා විය හැක්කේ කටක, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන යන ලග්නවලටය.)
තවත් ග්‍රහ පිහිටීම් කිහිපයක් කෙටි වැකිවලින් දක්වතොත් මෙසේය.
• 4,5 අධිපතීන් යෝගය 6,8,12 තැන්පත් වීම.
• පස්වැන්නේ සිකුරු සිටියදී පස්වැන්න අධිපති ග්‍රහයා 6,8,12 වීම.
• 1,5 හෝ 9 සිකුරු සිටියදී 5,9 අධිපතීන් 6,8,12 පතිත වීම.
• පස්වැන්නාධිපතියා සිකුරු සමග එක්ව 3,7,11 යන තැනක වීම.
• 3,7,11 අධිපතීන් එක්ව පස්වැන්නේ වීම.
• පස්වැන්න සිකුරුගේ දෘෂ්ටියට පමණක් ලක්ව තිබියදී (සිකුරු තමා සිටි තැනින් 5,7,9 දකී) පස්වැන්නාධිපති හයවැන්නේත්, නවවැන්නාධිපති අටවැන්නේත් වීම.
• සඳු, කුජ, සිකුරු, රාහු පස්වැන්නේ තැන්පත් වීම හෝ පස්වැන්න දැකීම.
• පස්වැන්නාධිපතියා හත්වැන්නේත්, හත්වැන්නාධිපතියා නවවැන්නේත් සිටියදී පස්වැන්න හෝ නවවැන්න පාප කර්තරී වීම. (පාප කර්තරී වීම යනු දෙපස රාශිවල පාප ග්‍රහයන් තැන්පත් වීමයි.)
• පස්වැන්නාධිපති හෝ නවවැන්නාධිපතියා බාධක රාශියේ පතිතවී සිටියදී බාධක රාශියට අධිපති ග්‍රහයා පස්වැන්නේ හෝ නවවැන්නේ සිකුරු සමග පතිත වීම. (මේෂ, කටක, තුලා, මකර යන රාශිවලට එකොළොස් වැන්නත්, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශිවලට නවවැන්නත්, මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට හත්වැන්නත් බාධක රාශි වේ.)
• වාෂභ ලග්නයෙන් ඉපදී සිකුරු පස්වැන්නේත්, රවි, බුධ හයවැන්නේත් සඳු හත්වැන්නේත් වීම.
ලග්නාධිති පස්වැන්නාධිපති හෝ චන්ද්‍රයා පතිත රාශියට දෙපස රාශි දෙකෙහි කුජ, ශුක්‍ර තැන්පත් වීම. ඔබේ දුවගේ හෝ පුතාගේ පාසල් අධ්‍යාපනය අතරට ප්‍රේමය බලපානවාද නැද්ද කියා ඔබට මේ අනුව වටහාගන්න පුළුවන්.
ජ්‍යොතිෂවේදී, බණ්ඩාරවෙල මංජුල තරුකෙම