ධනවත් වෙන්න තියෙනවා නම් කෙතරම් දෙයක්ද. කවදා හෝ ධනවතෙක් වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ආර්ථිකය ගැන සැලසුම් අඳින එක සෑම ජන්මියකුගේම පුරුද්දක්. ඒ වගේම හැම කෙනෙක්ම නිතරම සිහින දකින්නේ තමන් සිටින තත්ත්වයට වඩා ආර්ථික අතින් ඉදිරියට යෑමට. එහෙම හිතපු ඇතැම් අය ඉතා පහසුවෙන් ධනවත් වී ඉහළ සැපපහසුකම් අත්විඳිමින් ජීවත් වෙද්දි තවත් පිරිසක් එම සිහිනය නිතර නිතර දකිමින් තවමත් එතැනම සිටිනුද දක්නට ලැබෙන අවස්ථාද තිබෙනවා. මේ සියලු කාරණා සඳහා එම පුද්ගලයන්ගේ උත්පත්ති ග්‍රහචාරය බලපාන අතර ඒ ඒ අයගේ ධනය ලැබීම පිළිබඳව වාසනාව කේන්දරය තුළ මනාව සටහන්ව තිබේ. ඒ අනුව ධනය ලැබෙන ග්‍රහ සංයෝග මොනවාදැයි බලමු.
• දෙවැන්නේ දෙවැන්නාධිපති උච්චව පිහිටයි නම් එම පුද්ගලයාට ඉහළ ධනයක් ලැබෙන බව සඳහන් වේ.
• ගුරු බලවත්ව දෙකේ සිට රවි – චන්ද්‍ර හෝ ශනිගෙන්ද සුබ ත්‍රිකෝණ දෘෂ්ටි ලබයි නම් වඩාත් ඉහළ ධනයක් ලබයි. කිසිවෙකුට සම කළ නොහැකි, පසු කළ නොහැකි ධනයක් ලබන්නට වාසනාව ඇත.
• රවි, චන්ද්‍ර, ගුරු, ශනි ග්‍රහයන්ගෙන් එක් ග්‍රහයකු හෝ කිහිප දෙනෙකු හතරේ සිටී නම්, ජීවිතයේ මැදි වයසේදී විශාල ධනයකට උරුමකම් කියනු ඇත. එමෙන්ම සැප සම්පත් බුක්ති විඳින්නටද වාසනාව ඇත.
• දෙක අධිපතියා සුබ දෘෂ්ටි සහිතව ලග්නයේම පිහිටියේ නම් විශාල ධනයක් ලැබේ. දෙක අධිපතියා එකොළහෙන් එකොළහ අධිපතියා දෙකේත් සිටී නම් ඉහළ ධනයක් ලැබීමට හේතු වේ.
• දෙවැන්න අධිපති නවයේත් නවය අධිපති දෙකේත් සිටී නම් වාසනා ගුණයෙන් ධනය ගලා එන්නකු බවට පත්වේ. මේ අයට අන්සතු ධනයක් හෝ ලැබෙන්නට හේතු යෙදේ.
• මුඛ ග්‍රහයා පස්වැන්නේත්, චන්ද්‍රයා එකොළහේත්, කුජ සමග සිටී නම් එම අයගේ ධනය බලා සිටියදී වර්ධනය වේ. නොසිතූ මාර්ගවලින් ධනය ලැබේ.
• එකොළහ අධිපතියා ලග්න භාවයේ තැන්පත් වී නම් තමාගේ ස්ව උත්සාහයෙන් ධනය උපයා ධනවතකු වීමට ඉඩකඩ ලැබේ.
• එකොළහ අධිපතියා දෙක අධිපතියා සමග නවයේ හෝ එකොළහේ සිටී නම් ඉහළ ධනයක් ලබන්නට වාසනාව ඇත. ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වීමට ඉඩකඩ ලැබේ.
• එසේම දෙක, නවය, එකොළහ අධිපතීන් ඔවුන්ගේ ස්ථාන මාරුකරගෙන සිටී නම් ඉතා පහසුවෙන් ධනය උපයා ගන්නට අවස්ථාව ලැබේ. ජීවිතේ පසු කාලයේදී ඉහළ ධනයකට උරුමකම් කියයි.
• දෙවැන්න ධනයට වන තරමටම ඇතැම් ග්‍රහ සංයෝග නිසා අසුබද විය හැකිය. එහි රාහු, කේතු, ශනි වැනි ග්‍රහයකු අසුබව පිහිටි විට අත ඇති මුදල් පවා විනාශ වීමට හේතු වී පසුකාලීන දුගී තත්ත්වයට පත්විය හැකිය.
• දෙක, එකොළහ අධිපතීන් තුන, හය අධිපතීන් සමග සිටින විටත් දෙක, නවය, එකොළහ අධිපතීන් හය, අට, දොළහේ සිටීමත් ධනවත් බව දුරස් කරන පිහිටීමකි. එවැනි අයට වාසනාව පෙනි පෙනී අහිමි වෙයි. ලොතරැයි දිනුමක් ලැබුණද මිල-මුදල් නිකරුණේ වැය වෙයි.
ඉහත පිහිටීම්වලට අමතරව ධනය ලැබෙන විශේෂ යෝගද පිහිටන අතර, වාසුමතී නැමැති යෝගය යෙදීමෙන්ද සුපිරි ධනවතකු බිහිවනු ඇත. ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 3, 6, 10, 11 යන ස්ථානවල බුධ, සිකුරු, ගුරු ග්‍රහයන් සිටී නම්, වාසුමතී යෝගය පිහිටයි. මෙම යෝගයෙන් උපත ලබන අය මහා ධන කුවේරයන් බවට පත්වෙයි. ජීවිතයේ සතුට යෙදෙන ශනි උදාකර ගන්නට ශක්තිය ලැබේ. දිවිය පුරාම මිල-මුදල්, සැප-සම්පත් ලබනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්