යම් අයකු නිවෙසක් ඉදිකරනු ලබන්නේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගෙවාදමන අදහස පෙරදැරිවය. තමන් කාලාන්තරයක් පුරා හරිහම්බ කළ සියල්ල නිවෙසට වියදම් කරන්නට ඇතැම් අය දෙවරක් නොසිතා ඉදිරිපත් වෙයි. ඒ, නිවෙසක් යනු ජීවිතයේ ප්‍රධාන සිහිනයක් වන හෙයිනි. එහෙත් එලෙස සියල්ල කැපකර ඉදිකරන නිවෙස හෝ ව්‍යාපාරික ස්ථානය සියල්ල විනාශ කරන තැනක් නොවී සියල්ල ලබාදෙන තැනක් වෙනවා නම්, එම නිවෙස ඉදිකරන්නාගේ සියලු සිතුම් පැතුම් ඉටුවුණා යැයි සතුටු විය හැකිය. එනිසා නිවෙසක් ඉදිකිරීමට ඉඩමක් තෝරාගැනීමේදී තමාට සතුට සෞභාග්‍යය ගෙනෙන ජය භූමියක් තෝරා ගන්නට සියලු දෙනා උත්සාහ ගත යුතුව තිබේ.
භූමියක් තෝරාගැනීමේදී වඩාත් වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු අතර භූමියේ බෑවුම්, භූමියේ ජල ප්‍රතිශතය, පසේ ස්වභාවය ආදිය වැදගත් කාරණා වෙනවා. හිරු කිරණ ඉඩමට පතිත වන ආකාරය මෙන්ම ඉඩමේ ඊශාන සහ නැගෙනහිර දිශාවන්ද සුවිශේෂ කාරණා. මේ කරුණු මුල් කරගෙන බලද්දී ඉඩමේ උතුර, ඊශාන, නැගෙනහිර දිශා බාධාවලින් තොරව අඳුරු ලෙස මුළුගැන්වීමකින් තොරව නිදහස් හිරු කිරණ පතිත වන ආකාරයට පිහිටා තිබීම ඉතා වැදගත් දෙයක්. ඉඩමේ හතර මුල්ලේ කිසිදු තැනක වැසිකිළියක් හෝ වැසිකිළි වළවල් නොතිබීම අතිශය සුබදායකය. එමෙන්ම මෙම හතර මුල්ල තුළ පල් වතුර එක්රැස් වන ආකාරයේ වළවල් ඇත්නම් එයද තදබල අශුභ තත්ත්වයකි.
ඉඩමට පිවිසි පසු පෙනෙන මානයේ සොහොන් කොත් හෝ වෙනත් සංකේත, සලකුණු අසුබ යැයි සිතෙන දර්ශන වේ නම් එයද සුබ නැත. ඔබ මුලින්ම ඉඩමට පය තබන මොහොතේ සිතට දැනුණු හැඟීම කිසිදු ආකාරයකට නොසලකා හැරීමට නොසිතිය යුතුය. යම් ලෙසකට ඔබට දැනුණු එම සිතුවිල්ල අශුභ එකක් නම්, එම ඉඩම ගැනීමට පෙර දෙවරක් සිතන්න. එමෙන්ම ශුභ හැඟීමක් දැනුණේ නම් එම ඉඩමද ඔබගේ ජීවිතයට ශුභදායී අයුරින් බලපානු ඇත. ඉඩමට පිවිසි පසු ඇසෙන ශබ්දද ඉතා වැදගත් බවද මතක තබාගත යුතුය. එහිදී මිහිරි කුරුලු නාද ආදිය ඇසෙන ඉඩම ශුභ වුවද අමිහිරි සත්ව හඬවල් විලාප ආදිය ඇසෙයි නම් එම ඉඩමේ ගෙවන ජීවිතයද ශුභ නොවනු ඇත. ඔබට අදාළ ඉඩමට පිවිසි විගස ඇසෙන දැනෙන දකින දේවල් ඉඩම තෝරාගැනීමේ නිමිති ලෙස සලකා ක්‍රියා කිරීම වැදගත් වේ.
මේ සියලු කාරණා සමග භූමියේ බෑවුම් යෙදෙන දිශාව කෙලෙසද යන්නත් විමසිලි මහත්විය යුතු කරුණකි. එය ඉඩමක් තෝරාගැනීමේදී අතිශය වැදගත්ය.
යම් ඉඩමක උතුරු දිශාවට ජල බැස්ම සහිතව අනෙකුත් දිශාවන් සම තත්ත්වයක පිහිටයි නම් එවැනි ඉඩමක් වාසයට ඉතා සුදුසු එකකි. එහි වාසය කරන්නන්ට ධන ලාභ ලැබේ. වාසනාවන්තය. ශුභය.
ඊශාන දිශාව පමණක් පහත්ව අනෙකුත් දිශා සම මට්ටමේ පවත්නා ඉඩමක ජලය ගලා බසින්නේ ඊශානට නම් එහි පදිංචි වූවන්ට සැප සම්පත් හිඟ නොවේ. ජය ලැබේ.
නැගෙනහිර දිශාවට පමණක් බෑවුම් යෙදී ඉඩමේ ජලය එදෙසට ගලා යයි නම් අනෙකුත් දිශා සියල්ල සම මට්ටමේ පිහිටයි නම් එම ඉඩමේ පදිංචි අයට සුව වේ. දියුණුවද ලැබේ.
ගිනිකොණ දිශාවලට ජලය බැස යන අනෙකුත් දිශා සමව පිහිටි ඉඩම ධන හානි ගෙනදෙන භූමියකි.
දකුණු දිශාවට ජලය බැසයන අනෙකුත් දිශා සමව පිහිටි ඉඩම එහි වාසය කරන්නන්ට කනගාටුවට කරුණු උදාකරවයි. දුක ගෙනදෙයි.
නිරිතට බැස්ම සහිතව අනෙක් දිශාවන් සමව පිහිටි ඉඩමේ අලාභ හානි පෙන්වයි. පාඩු සිදුවේ.
බස්නාහිරට බැස්ම යෙදී අනෙක් දිශා සම මට්ටමේ පිහිටි ඉඩම සතුරන් ඇති කරදෙන පිහිටීමකි.
වයඹ පැත්තට පමණක් ජලය බැසයන අනෙකුත් දිශා සම මට්ටමේ පිහිටි ඉඩම සිතේ නොසන්සුන්තාවට හේතු ඇති කරවයි.
මෛ කරුණු ගැන අවධානයෙන් ඉඩමක් තෝරා ගැනීමෙන් ඔබගේ සිහින නිවෙස සතුට උතුරන තැනක් බවට පත් කරගැනීමට පහසු වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර