තමාට කුලුඳුලේම ලැබෙන්නේ පුතෙක්ද දුවෙක්ද යන්න දැනගැනීමට කවුරුත් කැමැති වෙයි. එහිදී ඒ ඒ අය තම කැමැත්තට අනුව විවිධ සිතුවිලිවල එල්බගෙන සිටිති. ඇතැම් පිරිසක් පුතෙකුට කැමැති වෙද්දී තවත් පිරිසක් දුවෙකුට කැමැති වෙති. මේ ආකාරයට තම තමන්ගේ රුචි අරුචිකම් කෙසේ තිබුණත් යම් තරුණියක විවාහ වුණු පසුව ඇයට මුලින්ම ලැබෙන දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඇගේ කේන්දරයේ සටහන්ව ඇති බව දත යුතුය. එහෙයින් කාන්තාවකගේ කේන්දරය පරික්ෂා කරන දක්ෂ ජ්‍යොතිෂවේදියකුට මේ බව මනාව හඳුනාගත හැකිය.
එසේම එම පවුලට එකතු වන පළමු දරුවාගේ ගැහැනු පිරිමිභාවය අනුව පවුලේ අනාගත ක්‍රියාකාරකම් සිදුවීම තීන්දු වුවද එය කිසිදු අවස්ථාවක කේන්දරයේ ලියැවුණු උරුමය වෙනස් වේ යැයි සිතීම සාර්ථක නොවේ. මන්ද ඕනෑම කෙනකුන් තමාගේ පෙර පින් පව් අනුව ලැබිය යුතු දේ තීන්දු කරගෙන උපදින බැවින් දරුවන් පිළිබඳවද එලෙසම ක්‍රියා කරන බව පිළිගත යුතුය. ඒ අනුව ඒ ඒ අයගේ පින් පව් ආකාරයට දරුඵල ගැන කේන්දරයක ලියැවෙන ආකාරය සලකා බලමු.
යම් කිසි කේන්දරයක චන්ද්‍රයා පස්වැනි භාවයේ තැන්පත්ව ඇත්නම් පළමු දරුවා පුතකු වනු ඇත. යම් ලෙසකට පස්වැනි භාවයේ සිකුරු සිටීනම් පළමු දරුවා දියණියකි. නමුත් පස්වැනි භාවයේ චන්ද්‍රයා සමග රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයකු ඇත්නම් දියණියක ලැබීමේ ප්‍රවණතාව වැඩි වේ. එම දියණිය රුවෙන් ගුණයෙන් අගතැන්පත් තැනැත්තියක වන බවද දත යුතුය.
යම් ලෙසකට පස්වැනි භාවයේ කේතු සිටී නම් එම තැනැත්තියට දරුවන් ලැබීම පිළිබඳ සැකසංකා උපදවයි. දරුවන් නොමැති වීමටද ඉඩ තිබේ. එය පනහට පනහ බෙදීයයි. කෙසේ නමුත් මේ අයට දරුවකු ලැබුණොත් ඒ දරුවා නිසැකවම දියණියක වේ.
පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා ස්ත්‍රී රාශියක හා ස්ත්‍රී නවාංශකයක ඇත්නම් එයින් කියැවෙන්නේ පළමු දරුවා දියණියක් වන බවයි.
කෙසේ නමුත් පවුලට පිරිමි දරුවකු ලැබීම අඹුසැමියන්ගේ හදවත් තුළ සතුට ජනිත කරවන කාරණයකි. එය මවකට පියෙකුට වචනයෙන් විස්තර කළ නොහැකි සම්පතක් සේ සලකයි. එහෙත් ජ්‍යොතිෂයේ සටහන් වන ආකාරයට පළමු දරුවා ගැහැනු දරුවකු වීමද පවුලකට අසුබයක් නොවේ. එසේම පිරිමි දරුවකු මුලින් ලැබීමෙන් එම දරුවාට අපල ගෙන දෙන බවක්ද ජ්‍යොතිෂයේ සඳහන් වේ.
කුජ ග්‍රහයා හතේ සිටී නම් පළමු දරුවා පුතෙකු වන අතර එම දරුවා බොහෝ දුරට මවුපියන්ගේ මතයට පටහැනිව ක්‍රියා කරන්නකු බවට පත්වනු ඇත.
ගුරු ග්‍රහයා ජ්‍යොතිෂයේ හඳුන්වන්නේද පුත්‍රකාරක ග්‍රහයා වශයෙනි. ඒ අනුව පස්වැන්නේ ගුරු සිටීම පුතෙකු ලබාදීමට හේතු වන්නේය.
එසේම පස්වැන්නේ රාහු සිටීමද පුතෙකු ලැබෙන බවට ඉඟියකි.
ඉහත ආකාරයට ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් ගැන කේන්දරයේ සටහන් වන අතරම ඇතැම් අඹුසැමියන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද දක්නට ලැබේ. මේ අනුව නිවුන් දරුවන් ලැබෙන යෝගද ජ්‍යොතිෂය තුළ හඳුන්වාදී තිබේ.
යම් කේන්දරයක නවවැනි භාවය අධිපති ග්‍රහයා පස්වැනි භාවයේ සිටියදී ශනි නවවැනි භාවයේ සිටීනම් නිවුන් දරු උපතකට වාසනාව ඇත.
පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශියක සහ එම නවාංශකයක ඇත්නම් එය නිවුන් දරු උපතක් සිදුවන යෝගයකි.
යම් කේන්දරයක පස්වැනි හෝ එකොළොස් වැනි භාවය මිථුන, කන්‍යා, ධනු හෝ මීන යන රාශිවලින් එකක් වී, එහි බුධ සිටීමත්, නිවුන් දරු උපතක් පිළිබඳ ඉඟි පළ කරයි.
බොහෝ විට දරුවන් නොමැති වීමද කේන්දරයක සඳහන්ව පවතින අතර එවැනි අය දරුවන් අරන් හදාගැනීමට පෙලඹේ. මෙයද පෙර පින් පව් අනුව කේන්දරයේ මනාව සටහන්ව තිබෙන අතර ඒ බව කලින්ම දැනගැනීම අපහසු නැත.
යම් ස්ත්‍රියකගේ කේන්දරයේ පස්වැනි භාවයේ චන්ද්‍රයා, බුධ සහ ශනි එකට සංයෝග වී සිටී නම් දරුවකු අරන් හදාගැනීමට සිදුවේ.
එසේම ස්ත්‍රී ජන්ම කේන්දරයක පස්වැනි භාවයේ රාහු සිටී නම් දරුවකු අරන් හදාගැනීමට සිදුවනු ඇත. එසේම එයින් පසුව එම කාන්තාව ගැබ්ගන්නා බවද එයින් පැහැදිලිව දත යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්