ජලය නොමැති ස්ථානයන්හි පතොක් වැවෙයි. කාන්තාරවල පතොක් නම් ශාකය සුලබව වැවෙන බව කියැවෙයි. වියළි කාලගුණික පරිසරයෙහි වැවෙන පතොක් කුලයට අයත් ශාකයක් ලෙස හීරැස්සපලු හැඳින්විය හැකිය.
මෙම ශාකය ලංකාවේ සියලු ප්‍රදේශයන්හි හොඳින් වැඬේ. කැඩුම් – බිඳුම් වෙදකමේ බහුලව භාවිත වෙයි. ප්‍රයෝජන සඳහා සම්පූර්ණ ශාකයම යොදා ගනියි. නිවෙස අසල සිසිල් බව ඇතිකිරීමට වගාකිරීම යෝග්‍ය වෙයි.
දාර සහිත මාංශවත් කොළ පැහැති වැලක් සේ කොළ හටගන්නා හීරැස්සපලු නිවෙස ඉදිරිපස අලංකාරයට වගාවක් ලෙස සුදුසුය. මෙය දේශීය චිකිත්සාවේ ඉතා අග්‍රගණ්‍ය ඖෂධයක් ලෙස සැලකෙයි.
සර්වාංග – සර්ප විෂ – කැඩුම්-බිඳුම් – කර්ණ රෝග – ගෙඩි – වණ රෝග සඳහා භාවිත කෙරේ.
හීරැස්සපලු – අමුක්කරා – කොට්ටපොල් සමව ගෙන කහ, ලුණු ලා කොටා මලවා බැඳීම බිඳුණු ඇට සවි කිරීමට හේතුවෙයි.
මල මුත්‍රා බද්ධයටද කසායක් ලෙස හීරැස්සපලු භාවිත වෙයි.
දැත්ත, සුදුලූනු, වියළි ඉඟුරු, එළකටරොළු සමඟ හීරැස්සපලු කළං දෙකයි මදට ඇට බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා බීමෙන් එම ආබාධ සුවවෙයි.
තවද මුත්‍රා අඩස්සියකදී හීරැස්සපලු කැබැල්ලක් ගෙන උණු අළු පල්ලේ තම්බා තලතෙලින් සිනිඳුව අඹරා යටිබඩට පැලැස්තරයක් ලෙස දැමීමද සාර්ථක ප්‍රතිඵල අත්වීමකි.
වර්තමානයේ තරුණ පිරිස් අතර උඳුගොව්වා කෑම, හිස සම්බන්ධ බලවත් ගැටලුවක් වී ඇත. එයට හීරැස්සපලු, වියන් දුඹුළු එකට අඹරා එම ස්ථානයේ ගා පැයකට පසු ස්නානය කළ යුතුයි.
කන් කැක්කුමකදීද හීරැස්සපලුවක් ගෙන දෙකට පළා ඒ තුළට සහිඳ ලුණු කුඩු ටිකක් දමා එකට එකතු කර අමු පොල්කොළයකින් ඔතා උණු අළු පල්ලේ තම්බා මිරිකා කනට බිඳු දෙකක් දැමීමෙන් වේදනාව දුරුවෙයි.
විෂ කටුවක් ඇනුණු විටකදී හීරැස්සපලු, අමුකහ, පෙරුම්කායම්, උණුඅළු පල්ලේ තම්බා අඹරා එම ස්ථානය පාදා මඳ උණුසුමින් තබා බැඳීමද යහපත්ය.
සර්ප විෂෙන් ඇති වන තදබල වේදනා කැක්කුමට අරළු, බුළු, නෙල්ලි, හීරැස්සපලු මඳ සමඟ අඹරා ගානු ලැබේ.
විසර ගෙඩි සඳහාද හීරැස්සපලු, අමුකහ සමඟ පොල් කිරෙන් තම්බා අඹරා ගෑමද කෙරෙනු ඇත.
කැඩුම් – බිඳුම් හෙළ වෙදකමේදී අවැසි වන මෙම වනෞෂධය යන්ත්‍ර-මන්ත්‍ර චිකිත්සාවේදීද යොදාගනු ලැබේ.
අලංකාර ශාකයක් වන හීරැස්සපලු ගෙමිදුලේ වවා ගැනීමෙන් අලංකාරයට අමතරව ඖෂධයක් ලෙසද ප්‍රයෝජනවත් වනු ඇත.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











