වාග් විද්‍යාව යනු මුවෙන් පිටවන වචන තුළින් ජනිත වන ශබ්ද තරංගය අනුව ඇතිවන ප්‍රතිඵල විපාක සූක්ෂ්මව සලකා බලන විද්‍යාවකි. මෙය පුළුල් ලෙස විග්‍රහ කළ යුතු මාතෘකාවකි. කතාකරන භාෂාව කුමක් වුවද යමකුගේ මුවින් පිටවන සෑම වචනයකම බල, දුබල හිතකර, අහිතකර ශක්තීන් ගැබ්ව පවතී. ආමන්ත්‍රණ, සම්මන්ත්‍රණ, දේශන, බණ, බැණුම්, ප්‍රියසම්භාෂණ මේ ආදී වශයෙන් වචන තුළින් සිත් තුළ පහළ වන හැඟීම් කුමන හෝ භාෂාවක් මාධ්‍ය කොටගෙන වචන බවට පෙරළා ප්‍රකාශ කරනු ලබයි. සිත තුළ ඇති වන මනෝ රූපම වචන තුළින් එළිදැක්වෙන බව බුදු දහම තුළින්ද පැහැදිලිව විග්‍රහ කර ඇත. අටවිසි රූප විභාගයේ වචී විඤ්ඤප්ති රූපය ලෙස පෙන්වා දී ඇත්තේද මෙයමය.
මානව සමාජයේ යහපතට මෙන්ම අයහපතටද බලපාන්නේ වචනමය. මේ නිසාම හොඳට නරකට දෙකට කටමය යන ආප්තෝපදේශයක්ද ප්‍රචලිත වී ඇත. ඒ වගේම බෞද්ධ මෙන්ම අන්‍ය බොහෝ ආගම්වලින්ද බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම පාප ක්‍රියාවන් බැව් පෙන්වා දී ඇත.
වචනයෙන් කෙනකුට ස්තුතියක්, ප්‍රශංසාවක්, අගය කිරීමක්, සුබපැතීමක් කරන විට ඊට පාත්‍ර වන අය තුළ ශාරීරිකව ප්‍රබෝධමත් ගතියක් පැහැපත් බවක් ඇතිවෙයි. මානසිකව හිතෛෂී බව, ළෙන්ගතුකම, ගෞරව සම්පන්න හැඟීම් ඇතිවී ඔවුනොවුන් අතර සබැඳියාව, එකමුතුකම, සමගිය, ධෛර්යසම්පන්න බව ඇතිවේ.
එසේම කෙනකුට නින්දාවක්, අපකීර්තියක්, අපහාසයක් ඇතිවන වචන ප්‍රකාශ කරන විටදී ශාරීරිකව ශරීරය දුර්වර්ණ වීම, වෙව්ලීම, සොටු, කඳුළු ගලායෑමත්, මානසිකව වෛරය, ක්‍රෝධය, පිළිකුල, පළිගැනීමේ චේතන ආදී අමනාපකම් මෙන්ම සණ්ඩුසරුවල්, ගහබැණ ගැනීම්, අසමගිකම් ආදී අහිතකර තත්ත්වයන් ඇතිවෙයි.
වචන උච්චාරණය කිරීමේ ඒ තුළ ගැබ්වන ස්වර ශබ්දයන්ට අනුව දසවිධ බලයක් ජනනය කරවයි. ජනන බලය, ජීවන බලය, තාඩන බලය, බෝධන බලය, අභිෂේක බලය, විමලීකරණ බලය, අප්‍යායන බලය, තර්ජන බලය, දීපන බලය ගෝපන බලය වශයෙනි.
- ජනන බලය
ජනන බලය යනු වචනයක් පිටකිරීමත් සමඟම ස්වරවල උච්චාරණ වේගය හා අර්ථය අනුව ජනිත වන බලයයි. - මෙහෙ එන්න වාඩිවෙන්න
- මෙහෙ වර ඉඳගං
- මෙහාට වර ඉඳගනින්
මෙම වදන් තුනෙන්ම ප්‍රකාශ වන්නේ එකම අර්ථයක් වුණත් උච්චාරණ කෙරෙන විට ජනිත වන බලය 1. සෞම්‍ය 2. නපුරු 3. කර්කශ හැඟීම් ජනිත කරවයි. - ජීවන බලය
ජීවන බලය යනු වචනයක ඇති ප්‍රාණ බලයයි. ප්‍රාණ ශක්තියක් නැතිනම් වචන තුළින් අපේක්ෂිත කාර්ය සිදුනොවේ. ආයුබෝවන්, සුවපත්වේවා, ස්තුතියි, මේ ආදී වචනවලින් ඇතිවන ජීවන බලයත්, මූසලයා, කාලකණ්ණියා, ගොන්තඩියා, හෙණ ගහපන් වැනි වචන තුළින් ජනිත වන ජීවන බලයත් හාත්පසින්ම වෙනස්ය. මෙවැනි වචන කෙනකු අරභයා ප්‍රකාශ කරන විටදී කියන්නාගේ මෙන්ම අසන්නාගේද හෘද ස්පන්දනය පවා වෙනස් වේ. එසේ වන්නේ ඒ තුළ පවතින ජීවන බලය අනුවය. - තාඩන බලය
යම්කිසි වචන ඇසීමෙන් සිත් තුළ ජනිත වන තෙරපෙන හැකිළෙන මෙන්ම විසිරෙන ස්වභාවය තාඩන බලය වේ. අණදීම්, නියෝග දීම්, විනිශ්චය කිරීම, නඩු තීන්දු ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදී තාඩන බලය ඇති වචන ප්‍රකාශ වෙයි. - බෝදන බලය
වචනවල ඇති බෝදන බලය තුළින් ප්‍රබෝධමත් බව ඇතිවේ. කතාවක් දේශනාවක්, ගීතයක්, කවියක් අසන විටදී ඒ කෙරෙහි අවධානය ඇති කිරීමට වචන තුළ ඇති බෝදන බලය හේතුවේ. වචනවල ඇති ස්වර සරල උච්ච පහත් ආදී ක්‍රම උපයෝගී කරගෙන හසුරවමින් කරන දේශනා ගායනා කෙරෙහි සිත් ඇද බැඳ තබාගන්නේ මෙම බෝදන බලය තුළිනි. - අභිෂේක බලය
වචන තුළින් අපේක්ෂිත අරමුණු මුදුන්පමුණුවාලන්නේ අභිෂේක බලයයි. වචනවලින් ප්‍රකාශ වන දෙය අසන අයගේ සිත් තුළට කාවද්දන්නේ ඒ තුළ ගැබ්ව ඇති අභිෂේක බලය මඟිනි. සත්‍ය ප්‍රිය වචනවල මෙන්ම බොරු, කේලාම්, පරුෂ යන සෑම වචනයකම අභිෂේක බලය පවතී. ඒ නිසාම එම වචන කියන අසන අයට යහපත හෝ අයහපත උදාකර දෙති. - විමලීකරණ බලය
ගෞරවය, කරුණාව, දයාව පෙරදැරි කරගෙන ප්‍රකාශ කරන වචනවල විමලීකරණ බලය ගැබ්වෙයි. ගුණකතන, ස්තුති කතා, පිළිගැනීම් කතා විමලී කරන බලගන්වන කතා වෙයි. - අප්‍යායන බලය
ජීව අජීව සෑම වස්තුවකම පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංචවිධ බලය වචනවලද පවතී. තර්ජන, ගර්ජන, විධාන, කරනවිටදී පඨවි ධාතුව බලවත් වේ. ආදර, කරුණාව, දයාව වැනි ඇලීම්, බැඳීම් ප්‍රකාශ කරන විටදී ආපෝ ධාතුව බලවත් වේ. තරහව, වෛරය, කෝපය, අමනාපකම් පළකරන විටදී තේජෝ ධාතුව බලවත් වේ. දුක්ඛ සන්තාප, ප්‍රීතිය ප්‍රබෝධ පළකිරීමේදී වායෝ ධාතුව බලවත්වේ. සැහැල්ලුව, නිදහස, පරිත්‍යාගශීලීත්වය පළකිරීමේදී ආකාශ ධාතුව බලවත්වේ. - තර්ජන බලය
බලපෑම්, බියගැන්වීම්, යටපත් කර ගැනීම්වලදී එම කාර්යයන් සඵල කරගැනීමට තර්ජන බලය උපකාරී වේ. - දීපන බලය
යශෝරාවය, ජනප්‍රියතාවය, කීර්තිය ඇතිවන්නේ වචනවල ඇති දීපන බලය නිසාය. කවියක්, ගීතයක්, ගද්‍ය, පද්‍ය රචනා දේශනා සමාජය තුළ බොහෝ කල් රඳා පවතින එම වචනවල ඇති දීපන බලය හේතුවෙනි. එසේ නොවන ප්‍රකාශන මතකයේ නොරැඳී ගිලිහී යයි. - ගෝපන බලය
වචනය සෑම අක්ෂරයක්ම ඊළඟ අක්ෂරය හා සැබැඳිය යුතුය. ඉස්පිල්ලක් හෝ පාපිල්ලක්, ඇලපිල්ලක් වෙනස් වුණොත් අර්ථය මෙන්ම බලයද වෙනස් වේ. කන, කුන, කුනී, කනා මේ ආදී වශයෙන් අක්ෂර අතර සැබැඳීම ගෝපන බලයයි.
සාහිත්‍යයේ නවනළු රසය මෙන්ම භාෂණයේ වචනවල දසවිධ බලයද දැනගැනීම සුන්දර දිවියකට මඟපාදයි.
ජ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස











