ගමනක් යන්න එළියට බැස්සම ඉස්සරහට එනකෙනා අනුව යන ගමනේ සුබ – අසුබ තීරණය කිරීමට අපි පුරුදුවෙලා ඉන්නෙ මුතුන්මිත්තන්ගෙ කාලයේ සිටයි. කුමන ගමනක් ආවා ගියත් පෙරමඟ නිමිති ගැන විශාල උනන්දුවක් තවමත් අපි අතර තියෙනවා. ඒ අතර ඉතා ප්‍රචලිත පෙරනිමිති මෙන්ම සුබද – අසුබද යන වග නොදන්නා පෙරනිමිතිද තිබෙනවා. එම නිසා එදිනෙදා ජීවිතයට වැදගත් වියහැකි වඩාත් ප්‍රචලිත නොවූ පෙරනිමිති කිහිපයක් තමයි මේ.
පාර දිගට ගම්මිරිස් කරල් අතුරා තිබෙන අවස්ථා ඕනෑ තරම් ඔබ දැක ඇති. සැබැවින්ම ගම්මිරිස් කරල් පෑගී යන ගමන ඉතා සාර්ථක බව තමයි කියැවෙන්නේ.
යන එන මඟතොටේදී පලා වර්ගවල ඉවතලූ කොටස් පෑගී ගියා නම් ඒ ගමන එතරම් සුබ නැහැ. බාධක ඇතිවෙන්න වැඩි ඉඩක් තිබෙනවා.
ගමනක් යෑමට නිවෙසින් එළියට පැමිණි මොහොතක මඟදී ඇඟපුරා තෙල් ගාගත් අයෙක් පැමිණියොත් නම් ඒ යන ගමන පාඩුවක් මිසක් ලාභයක් නම් නැහැ. ඒ ගිය කාරණාව ඉෂ්ට කර ගැනීමට තවත් අවස්ථා කිහිපයක්ම යන්න සිදුවෙන්න ඉඩ තියෙනවා.
ඔබ යන ගමනක් අතරමඟදී ඉඩමක් හෝ පාරක් මනින පිරිසක් සිටින තැනක් පසු කරන්නේ නම් ඒ ගමන ඉතා සුබදායකයි.
ඔබ රාත්‍රී ගමනක් යන අවස්ථාවක අහසේ තාරුකා පිරී තිබුණා නම් ඒ ගමන වාසිදායකයි.
සඳ අඩක් වැසී පෙනෙන හිමිදිරියක ගමනක් ගියා නම් සතුටුදායක ගමනක් බව කියැවෙනවා.
කොස්, දෙල් ආදිය කඩන හෝ කපන තැනකින් සිකුරාදා දිනයක යන ගමන ආදර බැඳීම් ඇතිකරවන්නකි. මංගල යෝග ගමනක් ලෙස තමයි සැලකෙන්නේ.
යන එන ගමනකදී පරවුණු මල් පෑගුණොත් යන කරුණු ඉෂ්ට නොවෙයි.
අල-බතල ගොඩගසා ඇති තැනකින් බ්‍රහස්පතින්දා ගමනක් ගියොත් ඉතා සුබඵලදායකයි. ප්‍රීතිමත් ගමනකි.
බෙලෙක් පියන් වර්ග ආදී පරණ භාජන ඇති තැනකින් අඟහරුවාදා දවසක යන ගමනෙන් විශාල පාඩු ඇතිකරයි.
තම ගෙවත්තෙන් පිටවන විට සතුන් රැසක් එක්වර හැඬලුවා නම් ඒ ගමන ඉතා කල්පනාකාරීව යා යුතුයි. මාර්ග අනතුරු ඇති විය හැකි බව දක්වන පෙරනිමිත්තකි.
ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක