නිවෙසින් පිටව යෑමට පෙර පෙරමඟට එන්නේ කවුද යන්න වැදගත් වගේම පෙරමඟ තිබෙන්නේ මොනවාද යන්නත් වැදගත්. බොහෝ විට අප සිතන නොසිතන බොහෝ දේ පෙරනිමිති විදියට අපට සුබ වෙන්නත් පුළුවන් වගේම අසුබ වෙන්නත් පුළුවන්. ඒ නිසා පෙරමඟ නිමිති මොනවාද කියලා හරියටම දැනගෙන සිටීම වැදගත්.
ගෙදරින් එළියට බසින විට හූනෙකු වම් උරමතට පැන්නේ නම් එම ගමනින් නින්දාවක් ඇතිවෙයි.
ගමනක් අතරමඟදී කුඩා කුකුළු පැටව් රංචුවක් මුණගැසී ගියේ නම් රන් ආභරණ හිමිවන ජයග්‍රාහී ගමනකි.
කුකුළකු කටින් ඩැහැගත් බල්ලෙකු මුණගැසී ගමනක් ගියා නම් අති භයානක ගමනකි. ජීවිතයට හානි විය හැකි පෙරනිමිත්තකි.
හුළු එළියක් අතින්ගත් මහලු අයකු මුණගැසී ගියේ නම් රැකියා ස්ථානයේ නොයෙකුත් කරදර මතුවෙයි.
මාල ගිරවකු තමන් යන මාවතේ පියඹා ආවේ නම් විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයට මංගල පෙරනිමිත්තකි.
පුවක් අත්තක් යන මඟ පාරට වැටුණේ නම් අන් අය ළඟ අසරණ වීමට සිදුවෙයි.
වියන ලද පොල් අතු රැගත් අයකු මුණගැසී ගියේ නම් ගමනට අවශ්‍ය දෑ කොටසක් අමතකවී නිවෙසේ තබා ගොසින් ඇත.
මාළු අල්ලන ආම්පන්න ගමනේදී මුණගැසුණේ නම් ගමනින් ජය නොවේ. තමන් පරාජිතයකු වෙයි.
ඉදුණු කෙසෙල් කැන් හෝ කෙසෙල් පැළ ඇති තැනක් පසුකර ගියේ නම් ජයග්‍රහණය ලබයි. සුබ තැන්වලට යෑමට හැකිවෙයි.
කොස්ස, ඉදල කඩුල්ල අබියස තිබී පසුකර ගමනක් ගියේ නම් ගමන ප්‍රමාද වෙයි. ඒ ගමන නිෂ්ඵල වෙයි.
කුණු පුරවන ලද භාජන මුණගැසී ගියේ නම් සිතූ කිසිවක් ඉටු නොවේ.
රෙදි වනන ලද වැල්පොටක් යටින් රිංගා ගමනක් යෑමට සිදුවූවා නම් ගමනෙන් කිසිදු සුබ පලයක් සිදුනොවෙයි.
ඉදුණු අඹ පුරවන ලද භාජනයක් ඇති තැනකින් යන ගමන තුළදී බොහෝ අයගේ උපකාර ලැබෙයි.
ඉදිරිපස දොරකඩ ඇති පාවහන් පසුකර ගමනක් ගියේ නම් තම අපේක්‍ෂා ඉටුවුවත් සිතට සතුටක් ඇති නොවෙයි.
පන් පැදුරු මලු පසුකර ගමනක් ගියේ නම් ගමන සුබ වෙයි. නමුත් අධික වියදමක් ඇති වෙයි.
ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක