ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (16) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝව සාකච්ජා කිරීමට කටයුතු කොට ඇත.
මෙහිදී පක්ෂය ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන තනි තනි වශයෙන් සෑම මන්ත්‍රීවරයකුටම අදහස් දක්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුම අවධාරණය කර ඇත්තේ දැන් ශ්‍රීලනිපයට කිරීමට ඉතිරිව ඇති එකම දේ පොහොට්ටුව සමග එකතු වීම පමණක් යැයි කියාය. එජාපය සමග කෙසේවත් පක්ෂයට ඉදිරි ගමනක් නැති බව ප්‍රකාශ කොට ඇති මන්ත්‍රීවරුන් හැකි ඉක්මනින් පොහොට්ටුව සමග සාකච්ජා අවසන් කොට ඔවුන් සමග සන්ධානගත විය යුතු යැයි කියාය.
මෙහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ඉතා දැඩිව මේ තත්ත්වය අවධාරණය කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මෙම යෝජනාවට එකගතාවය පළ කොට ඇති ජනාධිපතිවරයා අදාළ සාකච්ජා අවසන් කොට පොහොට්ටුව සමග සන්ධානගතවීම සදහා කොළ එළියක් දල්වා තිබේ.
කෙසේවෙතත් මෙම සාකච්ජාවෙන් පසු ඊයේ රාත්‍රියේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා සවස සිය මන්ත්‍රී කණ්ඩායම සමග ඇතිකරගත් එකගතාව කඩා බිද දමමින් නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙන් බිලියන 2ක මුදලක් රාජපක්ෂවරුන් විසින් සොරකම් කර ඇති බව හැගවෙන ආකාරයේ ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේය.
ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් පසු මේ වනවිට ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ජා අතරමග ඇනහිට ඇති තත්ත්වයක් මතු වී ඇති අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග කෝපයෙන් සිටින බවක් දැනගන්නට ඇත.