ලෝක ධර්මතාවට අනුව සියල්ල සිදුවෙයි. එය සමාන්තර ක්‍රමවේදයක එක්තරා ආකාරයක චක්‍රයකි. මිනිසාගේ ජීවිතයද මේ චක්‍රයට ඇතුළත්ය. ඉපදීම සහ මරණයද චක්‍රයක ආකාරයට සිදුවන්නක් බව රහසක් නොවේ. ඉපදෙන සෑම කෙනෙක්ගේම උරුමය මරණය බව පිළිගත යුතු සත්‍යයයි. යම් ජීවියකු පෙර භවයේ කළ පව්පින් සියල්ල සමඟ යළිත් උපදින අවස්ථාවේ ඔහුගේ පව් පින් අනුව ජීවිතයේ ඉදිරියට බලපානු ලබන සියලු කාරණා කොටු දොළහකට ලඝුකොට කේන්දරයක් සැකසීම සාමාන්‍ය ක්‍රමයයි. උත්පත්ති මොහොතේ ග්‍රහ සිත්තම අනුව කේන්දරයක් සැකසෙන අතර, එම ග්‍රහ පිහිටීම්වලට හේතුපාදක වනුයේ පෙර භවයේ තමන් කළ පව්පින් බව කවුරුත් පිළිගන්නා කාරණාවකි.
ජීවිතයක ඒ ඒ කාලවල සිදුවන සියල්ල කේන්දරයකින් හඳුනාගත හැකි සේම එම ජීවියාගේ මරණය සිදුවන කාලවකවානුවත් පැහැදිලිව කියන්නට හැකියාවක් පවතින බව මේ වන විට සොයාගෙන ඇත. ඒ අනුව කේන්දරයකින් අදාළ ජීවියාගේ මරණය සිදුවන ආකාරය ගැන සොයා බැලීමේදී එහි අටවැනි භාවයට වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඊට ප්‍රධානම හේතුව ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ අටවැන්න දුෂ්ටස්ථානවලින් එකක් වීමත් එය මරණයට නෑකම් කියන රාශියක් ලෙස පිළිගැනෙන බැවිනි.
ඕනෑම ජන්ම පත්‍රයක පිහිටි අසුබ රාශියද 8 වැන්න බවට හඳුන්වයි. 8 වැන්න තුළ යම් ග්‍රහයකු වේද එම ග්‍රහයාද 8 වැන්නාධිපතිද, 8 වැන්නට දෘෂ්ටි දුන් ග්‍රහයෝද ජන්මියාට අයහපතක් හා නපුරක් සිදුකරන බවට හඳුනාගෙන ඇත. එසේම දුෂ්ටස්ථාන වූ දෙවැන්න හා 6 වැන්නද මරණය කෙරෙහි එක සමාන බලපෑමක් ඇති කරයි. එමෙන්ම 8 වැන්නෙත් 8 වැන්න වූ 3 වැන්න අති මාරකස්ථානය නම් වෙයි. ලග්නයේ 12 වැන්න වූ 2 වැන්නද, 8 වැන්නෙන් 12 වැන්න වූ 7 වැන්නද මාරකස්ථාන වෙයි. දෙක, හතට වඩා බලවත් මාරකස්ථානයකි.
8 වැන්නේ සිටින ග්‍රහයා අනුව මරණයේ ස්වභාවය කෙලෙසද යන්න පැහැදිලිව කිව හැකිය. ඒ අනුව 8 වැන්නේ රවි ග්‍රහයා සිටී නම් ගින්නෙන් මරණය සිදුවන්නට ඉඩකඩ වැඩිය. කුජ ග්‍රහයා සිටිනවා නම් ආයුධයකින් සිදුවන අනතුරකින් මරණය සිදුවෙයි. බුධ සිටී නම් උණ රෝගයකින්ද, ගුරු නම් වා, පිත්, සෙම් කිපී ඇති වන රෝගී තත්ත්වයකින් මරණය සිදුවෙයි. සිකුරු සිටී නම් ඒ තැනැත්තාට කුස ගින්නේ සිට මිය යෑමට සිදුවෙයි. සෙනසුරු ග්‍රහයා සිටින විට ඔහුගේ හෝ ඇයගේ මරණය සිදුවිය හැක්කේ අධික පිපාසයෙනි.
කුම්භ ප්‍රථම දෙර්කාණය හෝ මීන ප්‍රථම දෙර්කාණය වූ විට ස්ත්‍රීන් සම්බන්ධ හේතුවකින් මරණය සිදුවීමට හේතු කාරණා යෙදෙනු ඇත.
ශනිගෙ රාශියක සඳු පාපයන්ට මැදි වූ විට ගින්නෙන් හෝ ගෙල වැලලා ගැනීමකින් නැතහොත් වෙනත් ආකාරයකින් සිදුවන මරණයකට හේතු කාරණා යෙදෙනු ඇත.
ලග්නයෙන් 6, 8, 12 යන භාවාධිපතිගෙන් කෙනෙක්ට අධික බල ඇත්තේද ඔහු මාරක ග්‍රහයා බවට පත්වෙයි. එකී මාරක ග්‍රහයන් අතරෙන් 6 වැන්නාධිපති ප්‍රබලව මාරක වෙයි. එම මාරක ග්‍රහයා යම් රාශියක වේද එම රාශි හිමි දශා කාලයේදී මරණය සිදුවෙයි. මාරකස්ථානාධිපතිගෙ දශා කාලයේදීද, නරක ස්ථානවල සිටින පාප ග්‍රහයන්ගේ දශා හා අන්තර් දශා කාලවලදීද, 12 වැන්න අධිපතියාගේ දශා කාලයේද කෙනකුගේ මරණය සිදුවිය හැකිය.
චන්ද්‍ර කලා නාඩි අනුව ලග්නාධිපති නවාංශක රාශියේ 8 වැනි භාවයේ සිටියදීද, ග්‍රහණයට හසුවූ විටදීද 6 වැන්නේ සිටින විටද කිසිවකුත් නොමැති තැනක හුදකලාවේ මියයන්නට එම ජන්මියාට සිදුවෙයි.
ජයශ්‍රී නන්ද කුමාර











