‘ගුණදාස මධුරසිංහ’ එහෙම කියපු ගමන් එකපාරටම ඔබේ මතකයට එන්නෙ කාවද. එහෙම එකපාරටම කෙනෙක් මතකයට එන්නෙ නැතුව ඇති. හැබැයි අපි කිව්වොත් ‘රාජ සභාවෙ’ රජතුමා කියල. දැන් ඔබ දන්නව මේ කියන්නෙ කවුද කියල. මිනිසුන්ව හඬවන්න පහසු වුණත් හිනස්සන එක ඒතරම් පහසු නැහැ. ඒත් මිනිසුන්ට තමන් ගැනම හිතා තමන්ටම හිනාවෙන්න අවස්ථාව සලසා දෙන අපූරු චරිත දෙකක් පසුගිය කාලයේ රූපවාහිනිය හා වේදිකාවේදී අපට හමුවුණා. එයින් කෙනෙක් තමයි ගුණදාස මධුරසිංහ.
මීට වසර 15කට කලින් ස්වර්ණවාහිනියෙ විකාශනය වූ ‘රාජ සභාව’ නම් හාස්‍යෝත්පාදක ටෙලිනාට්‍යයේ රජතුමා විදිහට තමයි මුළු රටම එතුමව හඳුනගත්තෙ. ද්විපාර්ශ්වීය නාට්‍යයක් වුණ ‘රාජසභාව’ට රඟපෑමෙන් දායක වුණේ ගුණදාස මධුරසිංහ සහ මහින්ද පතිරගේ. කපටිකමින් රජකම් කරන ඔලමොට්ටල රජ කෙනෙක් සහ රජතුමාගේ දෙලොවටම නැති පාලනයට අවවාද අනුශාසනා ලබාදෙන පුරෝහිත කෙනෙක් අතර වන සංවාද ස්වරූපයෙන් තමයි මෙම නාට්‍ය සකස් වෙලා තිබුණෙ. දේශපාලකයන් හාස්‍යයට ලක්කරන නාට්‍යයක් වූ නිසාත්, එහි තිබූ නැවුම් ආකෘතිය නිසාත් එම නාට්‍ය ඉතාමත් ප්‍රසිද්ධ වුණා. ‘රාජ සභාවෙ’ රජතුමා, පුරෝහිත කියූ සැණින් මුළු රටම හඳුනන චරිත බවට පත්වෙන්න එම නාට්‍ය ඉවහල් වුණා. පසුව එම ජනප්‍රියත්වය උපයෝගී කරගෙන ස්වර්ණවාහිනියම ‘නෙල්ලි ගෙදර’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළත් ‘රාජ සභාව’ ලබාගත් ජනප්‍රියතාව එයට ලබාගන්න බැරිවුණා.
ගුණදාස මධුරසිංහ මුලින්ම රජරට සේවයට එක්වෙන්නෙ ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙක් විදිහට. ඒ ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ ආරාධනයකට. මුලින් බෞද්ධ නාට්‍ය, කොටස් වශයෙන් විකාශය වන නාට්‍ය ගණනාවක් ලියූ ඔහු පසුව ඔහුට එකල ජනප්‍රියව පැවැති ‘විනෝද සමය’ වැනි විකට නාට්‍යයක් ලිවීමට ලැබෙන ආරාධනයකට හාස්‍යෝත්පාදක නාට්‍ය සඳහා යොමුවෙනව.
ගුවන්විදුලි නාට්‍යවලින් ජනප්‍රිය වූ ඔවුන්ට මුලින්ම රූපවාහිනියට පැමිණීම සඳහා අවස්ථාව හිමිවෙන්නෙ රූපවාහිනියේ ‘ආයුබෝවන්’ වැඩසටහනින්. මහින්ද පතිරගේ සමඟ එක්ව ඉදිරිපත් කරන ‘සිනා සාගරේ’ කියන හාස්‍යෝත්පාදක නාට්‍ය තමයි ඔවුන්ගෙ මුල්ම රූපවාහිනී වැඩසහන වෙන්නෙ. අද යූටියුබ් ඔස්සේ චරිත දෙකේ හාස්‍යෝත්පාදක නාට්‍ය විශාල වශයෙන් බිහිවුණත් මෙම නව මොඩලය ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන්න පුරෝගාමීන් වුණේ ගුණදාස මධුරසිංහ සහ මහින්ද පතිරගේයි.
එයින් ලැබුණු ජනප්‍රියත්වය නිසා ස්වර්ණවාහිනියෙ කැලුම් පාලිත මහීරත්න මහත්මයගෙ ආරාධනයකට ‘රාජ සභාව’ නමින් නිෂ්පාදනය වන ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු කරන හාස්‍යෝත්පාදක නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනව. එය කෙතරම් ජනප්‍රිය වුණාද කියනව නම් ‘දෙරණ’ මාධ්‍ය ආගමනයත් සමඟ යම් පසුබෑමකට ලක්වෙලා තිබ්බ ස්වර්ණවාහිනියට තමන්ගෙන් ගිලිහී තිබූ ප්‍රේක්ෂකයන්ගේ අවධානය යළි තමන් වෙත යොමුකරගන්නට ‘රාජ සභාව’ ලොකු දායකත්වයක් වෙනවා.
ගුණදාස සමඟ එකට රංගනයේ යෙදුණු මහින්ද පතිරගේ, වේදිකාවේ, රූපවාහිනියේ නිතර දකින්න ලැබුණත් ගුණදාස මධුරසිංහයන් එයින් පසුව අපට කිසිදු මාධ්‍යයක දකින්න ලැබෙන්නෙ නැහැ. එක්වරම රජතුමා ගැන තොරතුරක් වාර්තා වෙන්නෙ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වුණ පෝස්ට් එකකින්. එයින් දැනගන්න ලැබුණෙ කාලයක් අසනීප සිටි මේ රටක් හිනැස්සූ රජතුමා අද කිසිදු පුරෝහිතයකු නොමැතිව අනුරාධපුර තම නිවෙසේ සිල්ලර වෙළෙඳාමක් කරගෙන බිරිය හා ජීවත් වන බවයි. කේවට්ටයන්, පුරෝහිතයන් රජ වී ඇති කාලයක, රජවරුන්ට අද අත්වී ඇති ඉරණම එයයි.
ඉන්දික වික්‍රමරත්න











