ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති, දරුවකුගේ සුරතල් බැලීමය. කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇති උතුම්ම පදවියට එනම් මව් පදවියට උරුමකම් කියනු ලබයි. ගර්භණී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්වීම් ඇති වේ. එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොඅඩුව ලබයි. සිය සැමියාගෙන්ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භණී කාලය සැලකිය හැකිය. දරුවා පිළිසිඳ ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැප වේ. දරුවා ගැන පමණක්ම සිතයි. එනිසාම දරුවාට කුස තුළදී සිය මව සිතන පතන දේ, කරන කියන දේ, හොඳින් තේරුම් යයි. එමෙන්ම දරුවාට අවශ්‍ය දේද, අනවශ්‍ය දේද, දරුවා කැමැති දේද, අකැමැති දේද මවට හොඳින් දැනෙයි. දොළ දුක ලෙස දැනෙනුයේ දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය හෝ දරුවා කැමැති දේවල්ය.
කාන්තාවක් ගැබිනියක් වූ පසු මුල් මාස 3 යන තුරු ඈලි මෑළි දුබල ගතිය, ආහාර අරුචිය හා වමනය වැනි සංකූලතා ඇති වේ. දොළ දුක ඇතිවනුයේ 4 වැනි මාසයේ සිටය. දොළ දුක යනු ගැබිනි සමයේ කාන්තාවකට ඇති වන විවිධ ආසාවන්ය. මෙම ආසාවන් අතර කෑම බීම සඳහා ඇතිවන ආසාව ප්‍රධාන ස්ථානයක් ගනියි. ඊට අමතරව යම් ස්ථාන කරා යෑමට ඇති ආසාව, විවිධ ආඝ්‍රාණ විඳීමට ඇති ආසාව, එනම් ගඳ, සුවඳ ආදී කොට ඇති විවිධ සුවඳ ආඝ්‍රාණය කිරීමේ ආසාවද බොහෝ ගැබිනි මව්වරුන් වෙතින් දැකිය හැකිය.
ගර්භ ණී වීමත් සමඟ ඇති වන දොළ දුක බටහිර රටවල නොපිළිගනියි. නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය, කොරියාව වැනි රටවල එය බොහෝ සේ පිළිගනියි. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොළ දුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාර වර්ග සූදානම් කර තම නිවෙසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි. එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහඵවන් ඊට ආරාධනා ලබන අතර ඔවුන් ගැබිනි කාන්තාව සමඟ බොහෝ විනෝද වී ඇගේ මනදොළ සතුටින් පුරවාලයි. එය තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටු සුවය භුක්ති විඳීමට දීම අරමුණයි. මොවුන් කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි ලොකු අරුතක්ද වෙයි. මෙසේ ගැබිනිය කෑමට කැමැති ආහාර විශාල පිරිසකට දානය දීම හේතුවෙන් එම ගැබිනියට යම් අපල තත්ත්වයක්, මාරක තත්ත්වයක් වේ නම් ආහාර දන්දීමේ පිනෙහි ආනුභාවයෙන් එම අපල, මාරක තත්ත්වය නැති වී හෝ අවම වී යනු ඇත. දොළ දුක් කාලය තුළ ඇතිවන ආසාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීමද පැරැන්නන් තුළ තිබූ සිරිතකි. පලතුරු වර්ග කෑමට ආසාවක් ගැබිනි කාන්තාවට ඇතිවුව හොත් උපදින්න සිටින බිලිඳා යහපත් ආත්ම භාවයක සිට මව්කුස පිළිසිඳ ගත් අයෙක් බවත්, ඔහු හෝ ඇය සමාජයේ ගුණ ධර්ම ඇති අයකු ලෙස ජීවත්වන බවත් මතයකි. මස් මාංස ආහාරය ගැනීමට ප්‍රිය වීම, දුගඳ ආඝ්‍රාණයට ප්‍රියවීම සිදුවුව හොත් දරුවා නරක ආත්ම භාවයක සිට මව්කුස පිළිසිඳ ගත් අයෙක් ලෙසත්, අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුණුවන, අකාරුණික හා අනාදරය පතුරුවන අයෙක් යැයි පිළිගැනෙයි. එලෙසම ගැබිනිය නිතර පන්සල් යෑමට ප්‍රිය වීම, පින් පෙත් කිරීමට ප්‍රිය වීම, දුගී මගී යාචකයන්ට දන්දීමට ප්‍රියවීම, සුවඳ දුම්, සුවඳ විලවුන්, වැනි මිහිරි සුවඳ ආඝ්‍රාණයට කැමැති වීම, ලැබෙන්නට සිටින දරුවාගේ විඤ්ඤාණයේ ස්වභාවය මැන ගනියි. ඔහු හෝ ඇය පෙර භවයේ යහපත් ආත්ම භාවයක සිට චුතවී මව් කුස පිළිසිඳ ගත් බවත්, අනාගතයේ රටට, දැයට, වැඩදායී අයෙක් ලෙස ජීවිතය ගෙන යන, ගුණගරුක අයෙක් වේ යැයි මතයයි. නමුත් ආයුර්වේදයේ දොළ දුකට කෑමට ආසා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි. උදාහරණයක් ලෙස පලතුරු, එළවඵ කෑමට ආසාවීම මව් කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවයක් ඇති විට එය පියවා ගැනීමටත්, මස් මා`ඵ කෑමට ආසාවීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වූ විට එය පියවා ගැනීමටත්, විටමින් සී ඌනතාවයක් ඇති වූ විට මවට වැඩිපුර ඇඹුල් ජාති රුචි වීමත් සඳහන් කළ හැකිය. ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛද්‍ය විද්‍යාවේ දොළ දුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස් වීමක් හා ස්නායු උත්තේජනය වී මොළයට ලැබෙන සංඥාවල වෙනස් වීමක් ලෙසය.
ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොළ දුකක් ඇතිවුව හොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොත පතේ සඳහන්ය.
ජ්‍යොතිර්වේදීනී මංජුලා පුෂ්පරාංගනී











