සමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක්වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමයි. එය ආකාර කිහිපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක් ආකාරයක් නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන අතර, තවත් ආකාරයක් නම් මෙම දෙදෙනා සමසප්තවම සිටීමයි. පහසුවෙන් ඕනෑම ග්‍රහයන් දෙදෙනකු පිළිබඳ සොයාගත හැකි ආකාරය මෙසේය.
ග්‍රහයන් දෙදෙනා (1-7), (2-8), (3-9), (4-10), (5-11), (6-12) ස්ථානවල සිටීම සමසප්තම වීම ලෙස හඳුන්වන අතර, මෙය එක එල්ලයට සිටීම ලෙස හැඳින්විය හැකිය. මෙය ග්‍රහයන් දෙදෙනකු එකට සිටීමට වඩා බලවත් වෙයි. සෙනසුරු සිටිනා තැන ‘එක’ ලෙස ගෙන ඉදිරියට ගැනගෙන යන විට 10 වැනි කොටුවේ කුජ සිටීම තුළින්ද මෙම යෝගය උදාවන අතර ශනි, කුජ දෙදෙනා එක ළඟ රාශි දෙකක පිහිටා දෙදෙනා අතර දුර අඩු නම් රවිටද එම යෝගය උදාවෙයි.
සාමාන්‍යයෙන් මෙම යෝගය ජන්ම පත්‍රවල සුලභව දැකගත හැකි පිහිටීමකි. මෙය වර්තමාන සමාජයේ විවාහය යන කාරණාවේදී වැඩිපුර කතාබහට ලක් වුවත් එය ප්‍රබල විවාහ දෝෂයක් නොවන බව අපගේ හැඟීමයි. මෙම යෝගය සහිත වූවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වනවා යැයි පැවසුවද එසේ අසාර්ථක වී නොමැති අතර, ඔවුන් බොහෝ විට ඉතාමත් දියුණු තත්ත්වයට පත්ව ඇත. මෙම යෝගය පිළිබඳව සමාජයේ මෙන්ම ජ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන අය අතර පවා විවිධ වූ මතිමතාන්තර රාශියක් දැකගත හැකිය. කෙසේ වෙතත් ශනි මංගල යෝගය යනු ද්වි ග්‍රහ යෝග අතරින් එකක් පමණි. මේ පිළිබඳව පැරැණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල හෝ නූතනයේ ලියැවුණු පිළිගත් ජ්‍යොතිෂ ග්‍රන්ථවල තොරතුරු එතරම් ඇතුළත්ව නැත. ශනි මංගල යෝගය පිළිබඳ දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඉතා බලවත් විවාහ දෝෂයක් ලෙස පමණි. නමුත් එය එසේ නොවේ. මෙම යෝගය මතම විවාහ අසාර්ථක වනවා යන නිගමනයට අපට එක එල්ලේම එකඟ විය නොහැකිය. හඳහනේ ඇති අනෙක් ග්‍රහ පිහිටීම් මතද යම් යම් වෙනස්කම් සිදුවෙයි. ඒ සඳහා ජන්ම පත්‍ර ගැළපීමේදී අනෙක් කේන්දරයේ ග්‍රහ ගැළපීම් සමඟ බොහෝ විට මෙම යෝගයේ දෝෂය භංග වී යන අවස්ථා රාශියක් දැකගත හැකිය. අනෙක් කේන්දරයේද ඉහත දැක්වූ ආකාරවලින් එක් ආකාරයකට මෙම යෝගය පිහිටා ඇති වීම එම යෝගයේ දෝෂය භංග වී යනු ඇත. එම නිසා ශනි මංගල යෝගය දුටු පමණින් විවාහ සඳහා ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ඒවා ප්‍රතික්‍ෂේප කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවනු ඇත. එය විවාහ වීමට සිටින්නන් හට කරන මහත් වූ අපරාධයක් වනු ඇත.
නමුත් අප මෙම යෝගය පිහිටා ඇති ජන්ම පත්‍ර හිමියන් පිළිබඳව සොයා බැලීමේදී මෙම ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බවද පෙනී යයි. යෝගය පිහිටි ස්ථානය හා යෝග කාරක ග්‍රහයන්ගේ බල, දුබලතා මත දියුණු වෙයි. සීමා තීරණය වනු ඇත. මෙම යෝගය ඇති වන ආකාරය දැන සිටීමද වැදගත්ය. මෙම ශනි මංගල යෝගය යනු ශනි සහ කුජ කුමන ආකාරයකට හෝ එක්වීමයි. 3, 6, 11 යන ස්ථාන මෙම යෝගය සඳහා සුබදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකී රක්‍ෂා තුළින් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකිය. බොහෝ ප්‍රසිද්ධ, දියුණු පුද්ගලයන් රාශියක මෙම යෝගය දැකගැනීමේ හැකියාව ඇත.
මෙම යෝගය ඇති වැඩිදෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වෙයි. වෙහෙස නොබලා වැඩ කිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. එක් අතකින් බලන විට ලෞකික දියුණුව සඳහා මෙම ගතිගුණ බොහෝ උපකාර වෙයි. නමුත් මෙම දියුණුව පසුපස හඹා යන්නන් තුළ අන් අය ගැන සිතා බැලීමට වෙහෙසීමට තරම් සංවේදී සිත් තිබේද යන්න සිතා බැලූ විට පිළිතුර ඔබට වැටහෙනු ඇත. ඔබ දියුණුව උදෙසා පමණක් වෙහෙසෙන්නේ නම් ඒ වෙහෙස තුළින් සැප සම්පත් විඳින්නන්ගේ ආදරයවත් නිසියාකාරව ඔබට ආපසු ලැබේද යන්න සැකසහිතය. විවාහ ජීවිතයට මෙම යෝගය අහිතකර වන්නේ මෙම කරුණු නිසාය. නමුත් මෙම යෝගය ඇති දෙදෙනකු එක්වීම විවාහය සඳහා ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙයි. ඒ සඳහා හේතු වන්නේ දෙදෙනා තුළම සෑම දෙයකටම වඩා ආර්ථික දියුණුව වැදගත්ය යන සිතුවිල්ල පිහිටා තිබීමයි.
එම නිසා විවාහ පරීක්‍ෂාවේදී ශනි මංගල යෝගය සහිත ජන්ම පත්‍රයකට ඉහත දැක්වූ ආකාරයට තවත් එවැනිම එම යෝගය ඇති ජන්ම පත්‍රයක් ගැළපීම තුළ ඉතා සාර්ථක විවාහ දිවියක් අපේක්‍ෂා කළ හැකිය. එවැනි ගැළපීමක් සහිත දෙදෙනකු එක්වීම තුළ එය දියුණුවේ සාර්ථකත්වයට මහඟු පිටිවහලක් වනු ඇත. එසේ නම් ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











