ඈතින් නිවෙස් දෙසට ඇදෙනා සුදු ඇඳගත් මිනිස් පෙරහැර කුමක් දැයි බැලීමට පුටුවෙන් නැඟිට ගරාදි වැට අද්දරට පැමිණියාය. විස්සකට අධික සුදු වතෙන් සැරැසී පත්කඩ දෙඅත් උඩ රඳවාගෙන සන්සුන් ගමනින් එකා පසු පස එකා ලෙසින් කිරි දනකට වඩිනා කිරිඅම්මාවරු ඇගේ නිවෙස පසුකර යනු අරුණි බලා සිටියාය. උදේසිලාගේ ගෙදරට වෙන්නැති කිරිඅම්මාවරු වඩින්න ඇත්තේ දුවට මාස තුනක් පිරුණානෙ. ඊයේ උදේ හම්බවෙලත් උදේසි නිකන්වත් කිව්වෙ නැහැනේ. පපුවේ තදකරන් සිටි දුක තවත් පපුවේ රඳවා ගැනීමට නොහැකි තැන කඳුළු කැට ලෙසින් පොළොව තෙමෙන්නට විය. අරුණිට නොදැනුණත් චමත්ක ඇය අසලට පැමිණ තිබිණි.
‘ඇයි ළමයෝ මේ උදේ පාන්දර වැලහින්නියක් වගේ අඬන්නේ’ අරුණිගේ හිස චමත්ක පපුව මත තබාගත්තාය.
‘වැලහින්නියෝ අඬන්නේ දරු දුකට. මට කොහෙන්ද දරුවෝ. ඇයි දරු දුක දැනෙන්නේ දරුවෝ ඉන්න අයට විතරද?’
‘මේ පාර මොකද?’ චමත්ක අරුණිගේ හිස වම් අතින් අතගෑවාය.
‘මට ජීවිතය එපා වෙලා තියෙන්නේ. අහල පහළ අය නෑදෑයෝ විතරක් නෙවෙයි. ඔයත් ඇනුම්පද කියන්න පටන් අරන්’
‘මොකක් මේ මම’
අරුණිගේ දෙඋරහිසින් අල්ලාගත් චමත්ක ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලීය.
‘ඔයා තමයි, මට දරුවෙක් නැති නිසානේ මම තව කාට හම්බ කරන්නද කීවේ. මම හිතුවා මට කවුරු නැතත් ඔයා ඉඳී කියලා අද ඒකත් නැති වුණා.’ අරුණි ඉකිගසමින් කීවාය.
‘පිස්සු කෙල්ල චමත්ක මහා හඬින් සිනාසෙන්නට විය.
‘ඔයාට දැන් මාව විහිළුවක් තමයි. රටේ මිනිසුන්ට වගේ’
‘ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ’
‘මම ඔයාට කිව්වේ නැහැ. දැන් දවස් දෙක තුනකට ඉස්සර ලොකු අක්කලාගේ ගෙදර යද්දී අර වංගුව ගාව ගෙදර ගෑනු කෙනා තව ගෑනු කෙනකුට මට ඇහෙන්න කීවා ඔය ගෙඩි හැදෙන්නේ නැති, වඳ බැහැපු ගස් මොකට වත්තේ මහත්තයා තියාගෙන ඉන්නවාද දන්නෙ නැහැ. කපලා දාලා පලදරන අලුත් ගහක් ගෙනැල්ලා හිටෙව්ව නම් ඉවරයිනේ. නැත්නම් මුළු පැත්ත පළාතම මූසලයි. උදේසිලාගේ ගෙදර අද කිරිඅම්මාවරුන්ගේ දානයක්. මට හම්බවෙලා ඊයේ නිකන්වත් කීවේ නැහැ. අද උදේ කිරිඅම්මාවරු වඩිද්දි තමයි හැමෝම මට සලකන්නේ වඳ මූසල ගෑනියෙක් හැටියට. මම හින්දා ඔයාගේ ජීවිතෙත් කාලකණ්ණි වෙනවා. මාව ඩිවෝස් කරලා ඔයා හොඳ කෙනෙක් බැඳගන්න.’
‘ආ ඒපාර පිස්සු හැදීගෙන එනවාද. මම ආදරේ කළේ ඔයාට. ඔයාව බැන්දේ මැරෙනකන් ඔයත් එක්ක ජීවත් වෙන්න. රටේ ලෝකේ මිනිසුන්ගේ කටවල් හදන්න අපිට බැහැ. දරුවෝ හිටියා, නැතා කියල මගේ වෙනසක් වෙන්නේ නැහැ. මම දරුවෝ කියන මාතෘකාව හිතින් අත්හැරලා ගොඩාක් කල්. කරන්න පුළුවන් හැම දේම කළා. ඇයි අපි දෙන්නාට සතුටින් ඉන්න බැරි. මට ඕනෑ ඔයා සතුටින් ඉන්නවා දකින්න.
‘මට දුක හිතුණා. තේ එකත් හීතල වෙලා ඇති’ පුටුවෙන් නැඟිට කාමරයට ගිය අරුණි කිරි තේ කෝප්පය ගෙන ආවාය.
‘අද වැඩට යන්නේ නැද්ද මේක බොන්න’
‘අද වැඩට ගිහින් බැහැ නිවාඩුවක් දැම්මා. අද අපේ ගෙදරට වාස්තු බලන්න කෙනෙක් එනවා. මගේ යාළුවෙක් කිව්වා ගෙවල්වල වාස්තු දෝෂ තියෙද්දී දරුඵලවලට, ලෙඩ රෝග හැදෙන්න බලපානවා කීවා.
‘ඒක ඇත්ත වෙන්න පුළුවන්. අපි ජීවත්වන පරිසරය අනුව ලෙඩ රෝග හැදෙන්න පුළුවන්නේ.’ අරුණි කීවාය.
අරුණි හා චමත්ක විවාහ වී ඒ වන විට වසර හයක් ගතව තිබිණි. විවාහයෙන් පසු ඔවුන් ජීවත් වූයේ මිලදී ගත් නිවෙසකය. විවාහයෙන් වසරක් පමණ ගත වන විට දරුවකු පිළිසිඳ ගත්තත් මාසයක්වත් යන්නට මත්තෙන් දරුගැබ නැතිවිණි. නොයෙක් ප්‍රතිකාර, පුදපූජා, ශාන්තිකර්ම සිදුකළද පලක් නොවිණි. යන යන තැන ඔවුන්ට දරුවන් නොමැතිකම රස මාතෘකාවක් වූ බැවින් මඟුල් ගෙවල්, මරණ ගෙවල්, ඥාති ගෙවල් යෑම පවා නවතා දමා තිබිණි. අසල්වාසීන්, හිතවතුන් පවා අරුණි වඳ ගැහැනියක් ලෙස සලකා නින්දාවට ලක්කළහ.
අරුණිගේ – චමත්ක ජීවිතය හිස්ව යන්නටත් අරුණිගේ දරුගැබ විනාශ වී දරුපල හට නොගැනීමට හේතු සාධක වූ වාස්තු දෝෂ නිවෙසේ තිබූ අතර, එම වාස්තු දෝෂ හා ඒවාට යෙදිය හැකි පිළියම් මෙසේය.
නිවෙසේ නාන කාමරය නාභියෙන් ඉහළ පිහිටා තිබීම
නිවෙසක නාභියෙන් ඉහළ සහ පහළ කොටස් නිර්ණය කරනු ලබන්නේ බ්‍රහ්ම පාදය හා නිවෙසක ප්‍රධාන දොරේ පිහිටීම අනුවය. වාස්තු ශාස්ත්‍රය අනුව නාභියෙන් ඉහළ කොටසේ එනම් සරලව පැවැසුවහොත් බ්‍රහ්ම පාදයෙන් ඉහළ කොටසේ නාන කාමර තිබීම අසුබ වෙයි. මෙම නිවෙසේ නාන කාමරය පිහිටියේ නාභියෙන් ඉහළ ගෘහමූලිකයා සහ බිරිය නියෝජනය කරන කොටස් ආශ්‍රිතවය.
එවිට ගෘහමූලිකයා සහ බිරියගේ යටිබඩ ආශ්‍රිතව ගර්භාෂය, ආමාශයේ, මුත්‍රා පද්ධතිය හා පිටකොඳු නාරටිය ආශ්‍රිතව රෝගාබාධ ඇති වෙයි. විශේෂයෙන් දරුපලවලට පීඩා ගෙනදෙයි. නාන කාමරය ඉවත් කිරීමෙන් හෝ නව කොටසක් නිවෙසට එකතු කිරීම හෝ ප්‍රධාන දොර වෙනස් කිරීම මඟින් දෝෂය ඉවත් කළ හැකි වෙයි.
නිවෙසේ මුල්ලකට හසුවන සේ ළිඳ ඉදිකොට තිබීම
හතරැස් කඩදාසියක් සිහියට නඟාගන්න. එහි මුලු හතර යාකරමින් කතිරයක් ගැසුවා යැයි උපකල්පනය කරමු. කඩදාසියේ මුලු කපාගෙන රේඛා ගමන් කරන ආකාරය හොඳින් බලන්න. මෙලෙස නිවෙසක මුලුවලට හසුවන ආකාරයට ළිඳක් සෑදීම ඉතා අසුබ වෙයි. කෙතරම් ධන සම්පත් තිබුණද ජීවිතයේ හිස්බවක් ඇති වෙයි. ජීවිතය වරින්වර කඩාවැටේ. ලැබීම්වලට බාධා පැමිණේ. යටිබඩ ආශ්‍රිත රෝගාබාධ මෙන්ම දරුණු රෝගාබාධ ඇති විය හැකිය.
ළිඳ තිබූ ස්ථානයෙන් ඉවත් කළාය. දරුපල ප්‍රමාදවීම වළක්වා උතුම් දරුඵලයක් ලැබීමට ජයශ්‍රීමහා බෝසමිඳුන්ට අග්‍ර බෝධි පූජාවක් තැබීමටත්, අරුණි හා චමත්ක කටයුතු කළහ. වාස්තු දෝෂ ඉවත්කර පුදපූජා, වත්පිළිවෙත් සිදුකිරීමෙන් වසරක් පමණ ගතවන විට අරුණි ගැබ්ගත් අතර, මේ වන විට දියණියගේ සුරතල් බලමින් සතුටින් ඔවුන් ජීවත් වෙයි. කිසිදු දිනෙක දරුවන් නොමැති අයට කිසිදු දිනෙක අපහාස නොකරන්න. වඳ ගෑනු යැයි අවමන් නොකරන්න. එලෙස අවමන් සිදුවන විට එය දරාගත නොහැකිය.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











