සැමියා දකුණෙන්ද බිරිය වමෙන්ද යහනට යෑමෙන් වාසනාවන්ත දරු සම්පත්
ඉරට්ටේ දිනවල පුතුන්ද ඔත්තේ දිනවල දූවරුන්ද පිළිසිදගනී
නිසි කල වයස එළැඹි පසු ස්ත්‍රී, පුරුෂ දෙදෙනකු විවාහ විදියට එළැඹීම දුර අතීතයේ පටන් සිදුවන සම්ප්‍රදායකි. විවිධ රටවල්වල මෙය සිදුවීමේ ක්‍රමවේදය වෙනස් වුවද විවාහක අරමුණ එකක් බව රහසක් නොවේ. එහිදී විවාහ වන දෙදෙනකුගේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නා කාරණය වනුයේ සිය පරපුර පවත්වාගෙන යෑම වන බැවින් දෙදෙනකු විවාහ වීමෙන් පසු ඔවුන් ඇඟිලි ගනිමින් සිටින්නේ දරු සිඟිත්තකු සිය කැදැල්ලට එකතුවෙන තෙක්ය. සිය පරපුර ඉදිරියටත් පවත්වාගෙන යා හැකි නිරෝගී බුද්ධිමත් දරුවකු ලැබේවායි ඔවුන් නිතරම සිතින් ප්‍රාර්ථනා කරමින් බලා හිඳින්නේය. එහෙත් උතුම් දරු සම්පත් සෑම අඹු සැමි යුවළකටම හිමි නොවීම කනගාටුවට කරුණක් බවට පත්ව ඇති අතර, ඒ හේතුව නිසාම විසිරී ගිය පවුල් ජීවිත ප්‍රමාණය අතිවිශාලය. ජීවිත කාලය පුරා සුසුම් හෙළමින් විඳවන අඹු සැමියන් ප්‍රමාණයද අතිවිශාලය. එසේම පවුල් ආරවුල් ගැටුම් බහුතරයකට මේ ප්‍රශ්නය හේතු සාධක වී ඇති බවද අද වන විට පැහැදිලිව පෙනී යයි.
මේ සම්බන්ධව ගැඹුරින් කරුණු විමසා බැලීමේදී අඹු සැමියන් විවාහයට ප්‍රථම නිසියාකාරව හඳහන් ගළපා නොගැනීම යන කාරණයත් ප්‍රබල හේතුවක් සේ දැක්විය හැකිය. මන්ද ඒ ඒ අයගේ කේන්දර තුළ ඇති දරුපල සම්බන්ධ වූ විවිධ ග්‍රහ පිහිටීම් එකිනෙකාගේ ග්‍රහ තත්ත්වයන් සම්බන්ධව ගැළපෙන්නේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුය. එසේ නොමැතිව කාන්තාවට පමණක් වරද භාරදී නිදහස් වන්නට සිතීම සාර්ථක නොවේ. මන්ද දරුපල අහිමි පිරිමින්ද බහුතරයක් සිටින බව තේරුම්ගත යුතුය.
මේ කාරණා සඳහා ප්‍රබලව බලපානු ලබන්නේ ඒ ඒ ජන්මීන් පෙර භවයකදී කළ පින් පව් බවටද පුරාණ ඍෂිවරු අදහස් දක්වා ඇත. ඒ අනුව මිල මුදල්, යාන වාහන මේ සියල්ල ලබන්නට පෙර පින වාසනාව තිබූ ඇතැම් අයට දරුපල නොමැතිව දුක් විඳීමට සිදුවූ අවස්ථාද වේ. ඒ කිසිවක් ලබන්නට පෙර පින නොවූ බොහෝමයක් දෙනා දරු සම්පත් විශාල වශයෙන් ලබමින් ජීවත් වන අයුරුදු මේ දෙවර්ගයේම සම්පත් ලබමින් ජීවත් වන අයද සමාජය තුළ දක්නට ලැබේ. එනිසා තමන් පෙර භවයන්හි කළ කී දේ අනුව දරුපල ප්‍රමාද වුවද අහිමි වුවද ඒ තත්ත්වයන් නිසිලෙස මඟහරවා ගන්නට කළ හැකි වත්පිළිවෙත් බොහෝ ප්‍රමාණයක් ජ්‍යොතිෂයේ දක්වා ඇත.
ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව දරුවන් පිළිබඳව සොයා බැලීමේ ක්‍රමවේදයන් රාශියක් ඇත. ඒ අනුව කේන්දරයක පස්වැන්නෙන් දරුවන් පිළිබඳව හඳුනාගත හැකිය. යම් ජන්මියකුගේ කේන්දරයේ පස්වැන්න දෙස ඉතා කල්පනාකාරීව අවධානය යොමුකළහොත් ඔහුට ඇයට ලැබෙන නොලැබෙන දරු සම්පත් ගැන සියල්ල එහි සටහන්ව තිබෙනු දැකිය හැක. පස්වැන්න සිටින ග්‍රහයන් පස්වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයන් එහි අධිපති සහ එම ග්‍රහයාගේ තත්ත්වයත් එසේම පුත්‍රකාරක ගුරු පස්වැන්නෙන් පුළුල්ව සොයාබැලිය යුතු කරුණුය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ සඳු සහ සිකුරු ග්‍රහයන් අසුබව නීච හෝ සතුරුව පීඩාවට පත්වී නම් ඇය ලිංගික කටයුතු කෙරේ යොමු නොවන්නීය. එහෙයින් ඇයගෙන් දරුපල අපේක්ෂා කිරීම නිෂ්ඵලය. යම් ලෙසකට පහ අධිපති උච්චව හෝ ස්වෂේත්‍රව බලවත්ව සිටී නම් වාසනාවන්ත දරුවන් ලැබේ. එසේම ගුරු, සිකුරු උච්චව පස්වැන්නේ සිටීමද සුබ ග්‍රහ පිහිටීමකි. එයින් බුද්ධිමත් දරු සම්පත් හිමිකර දේ. යම් ලෙසකට ගුරු නීච වුවහොත් අකාරුණික බවින් යුතු දරුවන් ලැබෙන බව පැහැදිලිය.
යම් ලෙසකට බුධ ග්‍රහයා ලග්නයෙන් පහේ හෝ නවයේ සිට අනෙක් ග්‍රහයන් දුර්වල වූ විට පිරිමි දරු සම්පත් බහුල කරයි. ජන්මියකුගේ ලග්නය සිංහ වී රවි, සඳු දුර්වලව කුජ හා ශනිගේ දෘෂ්ටියට ලක්වී නම් උපදින දරුවන් අන්ධභාවයට පත්වන බව සඳහන් වේ. එසේම ඉතා හොඳින් තේරුම්ගතයුතු කාරණය නම් දරු ගැබක් හටගන්නේ රවි, සඳු, සිකුරු තම නවාංශකවල සිටින අවස්ථාවල ඇතිවන ලිංගික සබඳතාවයක් පමණක්ය යන කාරණාවය.
එසේම විවාහක අඹු සැමි යුවළක් ඉතාමත් හොඳින් තේරුම් ගතයුතු කාරණයක්ද වෙයි. ඒ තමන් අපේක්ෂා කරන දරුවා පිරිමි දරුවකුද, ගැහැනු දරුවකුද යන කාරණාවයි. මන්ද පිරිමි දරුවකු අපේක්ෂා කරන දෙදෙනකු ඇසුර පැවැත්විය යුත්තේ මාස් ශුද්ධියෙන් 6, 8, 10, 12, 14, 16 යන දිනවලදීය. එසේම ගැහැනු දරුවකු අපේක්ෂා කරන දෙදෙනකු ඇසුරේ යෙදිය යුත්තේ 5, 7, 9, 11, 13, 15 යන දිනවලදීය. එසේම තමන්ට ලැබෙන දරුවා ඉතාමත් ගුණවත්, යහපත්, බුද්ධිමත් දරුවකු වේවායි පතන අඹු සැමියන් යහනේ දකුණු පසින් සැමියාද වම් පසින් බිරියද ලෙස යහනට පැමිණිය යුතුවෙයි.
යම් ලෙසකට කේන්දරයේ දරුපල සටහන්ව ඇතත් එය ප්‍රමාද වේ නම් ඒ සඳහා තමන් නිතර යන එන බෝධීන් වහන්සේ නමක තෝරාගෙන සඳුදා සහ සිකුරාදා දිනවල බෝධි පූජා හතක් තබා එම පින පත්තිනි මෑණියන්ට අනුමෝදන් කර තමාගේ දරුපල සිහිනය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට ඔබගේ යම් අකුසල කර්මයක් හේතුවෙන් දරුපල ප්‍රමාද වේ නම් ඒ තත්ත්වය මඟහැරී ගොස් දරු සිහිනය සැබෑ කෙරෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර











