කේතු හතරේ නම් සුබ නැත. වස්තුව විනාශ කරයි. ඉඩකඩම්, දේපොළ විනාශ කරයි. නෑදෑයන් විරුද්ධ කරයි. පපුවේ රෝග සාදයි. ශරීරය කෙට්ටු කරයි. කේතු ග්‍රහයා හතර වැන්නේ නම් පලාපල මෙලෙස යැයි බොහෝ පොතපතෙහි සඳහන්ය. කේතු හතරේ පිහිටීම පිළිබඳ වසර හතළිහකට ආසන්න ජ්‍යොතිෂමය අත්දැකීම් මත අප විසින් අවබෝධ කරගත් දෑ බොහෝය. නිවෙසක මවුපියන් හෝ දරුවකුගේ කේතු හතර වැන්නේ නම් එම නිවෙසේ දියුණුව පිළිබඳ බොහෝ ගැටලු මතු කරයි. එයට නිවැසියන්ගේ සෞඛ්‍යයද ඇතූළත්ය. පැරැණි පොතපතක කේතු පිළිබඳව මෙලෙස සටහනක් ඇත.
‘කේතු දිව්‍යරාජයා හිස රත් ඔටුන්නක් පැලැඳ ප්‍රිය ලක්‍ෂණ මුහුණක් ඇති, කෙට්ටු ශරීරයක් ඇති, ඉණෙන් උඩ මිනිස් රූපයක් සහ ඉන් පහත කොටස නයි රූපයකින් යුත් ධූමවර්ණ කෙනෙකි. ස්ත්‍රි – පුරුෂ භාවයක් නොමැති නපුංසකයෙකි. නිතරම සිතේ පවතින්නේ ස්ත්‍රීන් අතරට ආ විට පුරුෂයකු කියාත්, පුරුෂයන් අතරට ගිය විට ස්ත්‍රියක කියාත්ය. දෙපිටකාට්ටුකම් හා රහස් ගති නිතරම සිතේ පවතී. ස්ත්‍රියක ලෙස සිතාගත් කළ පුරුෂ ආශ්‍රයට රහස් මාර්ග සොයයි. දෙකම හරි හැටි කළ නොහැකි නිකම් නරක නාම, නින්දා අපහාස විඳිනවා පමණකි. හොඳ පිරිසුදු ශුද්ධවන්තයකු බව රටට පෙන්වීමට නෙලුම්මලක් පිට වාසය කරයි. නමුත් ශරීරය හැමතැනම හම දුෂ්‍ය වූ හොරි දද, කුෂ්ට තිබේ. කකුල් නැතිව ඇවිදින්නට බැරිකම නිසා එක තැනම වාඩිවී සිටගෙන පොත පතේම ඇලී සිටින්-නෙකු බව පෙන්වීමට පොතක් අතේ තබාගෙන සිටියි. තමාගේම ආයුධය පොතබව රටට පෙන්වයි. ඥානය දියුණු කරන්නකු වශයෙන් පිළිගැන්වීමට ‘බඹ’ යන නම යොදාගෙන තිබේ. ඇත්ත වශයෙන්ම වෙන වැඩක් බැරි නිසා කරතොත් කරන්නේ පොතපතේ වැඩ පමණයි.’
මේ සියල්ල කියැවීමෙන් කේතු ග්‍රහයාගේ සොබාවය අපට වටහාගත හැකිය. කේතු හතරේ සිටින ඇතැම් තරුණ දරුවකු උසස් ඉගෙනීමට හෝ රැකියාවකට උනන්දුවක් නොමැතිව නිවෙසේ කාමරයකට වී හුදකලාව කාලය ගතකරයි. ඔහු හෝ ඇය නිවෙසේ උදවිය සමඟ සම්බන්ධතාවක් නැති නිතරම පොත්පත් කියවමින් සිටින සෙයක් නම් පෙනේ. එහෙත් සිත මනෝලෝකවලය.
කේතු හතරේ අයහපත්ව පිහිටීම සැමියාට හෝ බිරියට බලපෑම් කරන්නේ විවිධ ආකාරයෙන්ය.
කේතු හතරේ ස්වාමි පුරුෂයා කවර රැකියාවක් කළද එහි සාර්ථකත්වයක් නැත. රැකියා කරන ස්ථානයේ හඳුනා නොගත් ගැටලු එමටය. ඇතැම් විට නව තනතුරුවලට ඉල්ලුම් කළද එය ප්‍රමාද වන සෙයකි. නැතහොත් කුමන හෝ සුදුසුකමක් පැවරීමට අපොහොසත් බවක් පෙනෙයි. කේතු හතරේ හිමියා රැකියාවෙන් එකතැන පල්වන්නේ කේතු තමන්ගෙන් හත්වැන්න හෙවත් රැකියාව පෙන්වන දසවැන්න දැකීම නිසාය.
රැකියාවේ දියුණුව කෙලෙස වුවද උපයා නිවෙසට ගෙනැවිත් දමන දෙයින්ද නිසි ඵලයක් නැත. නිවෙසේ එදිනෙදා අවශ්‍යතා සැපිරුවද නිරතුරුවම නිවෙසේ අඩුපාඩු පවතී. නිවෙසේ කුස්සියද පාළු වූ සෙයකි. මලානික අඳුරු බවක් පෙන්වයි. තබා ඇති උපකරණවලද ක්‍රමවත් බවක් නැත. විවාහය පමා වූ යුවතියන් කුස්සියට මුළුගැන්වී කිලිටි පිළියෙන් ගත සරසා සිටින්නේද කාමරවලට වී කල්පනා ලොව සැරිසරන්නේද කේතුගේ බැල්මට හසුවීමෙනි.
මළගිය ඥාති මිත්‍රාදීන්ද මුළුතැන්ගෙයට අරක්ගත් සෙයකි. මුඩු ගඳ, කළු කුහුඹුවන් කුස්සියට බලය පතුරවයි. පිසෙන බතට කඩිනමින් පිලුණු වෙයි. නැතහොත් කූඹීන්ගේ ආක්‍රමණයට ගොදුරු වෙයි. මෙවන් නිවෙසක සිරිදෙව්දුව පලාගිය සෙයකි. කේතු ග්‍රහයා වෙනුවෙන් කෙසෙල් ගසකට සාත්තු කළයුතු යැයි කියැවෙයි. කෙසෙල් ගසකට සාත්තු කළ පමණින් නිවෙසේ කේතු අපලය දුරුවන්නේ නැත.
ගෘහමූලිකයාගේ වෘත්තිය සාර්ථකත්වයට, දරුවන්ගේ රැකියා, ආවාහ විවාහ කටයුතු විසඳීමට නිවෙසේ සිරියාව වර්ධනය වීමට ඇතුළු සියලු සාර්ථකත්වයට නිවෙසේ සියල්ලන්ගේම කේතුගේ ග්‍රහ බලය නිසිව හඳුනාගත යුතුය. නිවෙසේ එක් අයකුගේ පමණක් ජන්ම පත්‍ර පරීක්‍ෂාවකින් කේතු බාධකයන් හඳුනාගත නොහැකිය. සැබැවින්ම කේතු හකුළුවා තබන මුලුගන්වන ග්‍රහයෙකි. බුද්ධිය, මුලුගැන්fවීමෙන් හකුළුවා තැබීමෙන් බුද්ධියට වන සාධාරණයක්, යහපතක් නැත.
සංසාරගත මළගිය ඥාති මිත්‍රාදීන්ගේ බැල්මට හසුවූ නිවෙස ඔවුනට නිසිව පින් අනුමෝදන් කර යහපත් කරගත යුතුය. වියපත් මනසින් දුර්වල වූ වැඩිහිටියනට ආහාරපාන, හිසගල්වන ඖෂධීය තෛල වර්ග දන්දීම පහසු පිළිවෙතකි. වියපත් වැඩිහිටියන් නව දෙනකු නිවෙසට කැඳවා නිර්මාංස ආහාර දන්දී මළගිය ඥාතීන් හට පින් අනුමෝදන් කරවීමද පිළිවෙතකි.
මෙම පිළිවෙත් සඳහා නිවැසියන්ගේ ජන්ම පත්‍රවලට බලවත් වන යහපත් දිනය හඳුනාගත යුතුය. ජන්ම පත්‍ර පරීක්‍ෂාවකින් නිසි පිළිවෙතින් කේතු ග්‍රහයාගේ අපලය දුරුකරගත හැකි නම් සැබැවින්ම එම නිවෙස සිරිකත වඩිනා යහපත් වූ නිවෙසක් වන්නේය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











