යුවතියකගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසින් මල්වරය සැලකේ. ඒ අනුව ඇගේ අනාගතය පිළිබඳ විවිධ ගණනය කිරීම් සහ අනුමාන කිරීම්ද සිදු කෙරෙන අතරම, යම් යුවතියක මල්වර වන්නේ ඇගේ පව්, පින් අනුව අනාගතය ගැන ඇති හෝඩුවාවන් කියාපාමින් බවටත් විශ්වාස කළ හැකිය. ඒ අනුව යුවතියකගේ මල්වරය සිදුවූ මාසයට අනුවද ඇය ගැනත් ඇගේ අනාගතය ගැනත් පහත පරිදි දැනහඳුනා ගත හැකිය.
බක් මාසය
යම් තරුණියක බක් මාසයේ මල්වර වූයේ නම් ඇය තරමක් තම මතයට අනුව කටයුතු කරන ස්වභාවයක් පෙන්වයි. එමෙන්ම ඇයට කිසිවකුගේ මතයට වැඩ කිරීම අපහසුය. අන් අය අතර නායකත්වය ගන්නට සමත්කම් ඇත්තීය. මේ හේතු නිසාම විවාහයද දෙදරා යෑමට වැඩි ඉඩකඩක් තිබේ. යම් ලෙසකට සැමියාට මරණය අත්වීමෙන් වැන්දඹු වීමටද ඉඩ ඇත.
වෙසක් මාසය
වාසනාව උරුම කර ගන්නීය. නිතරම තම වාසියට අවශ්‍ය පරිදි කටයුතු සිදුවන අතර, තරුණ කාලයේ සිටම සියලු සැප සම්පත් ලබන්නීය. විවාහයට ගුණවත් සැමියකු ලබන අතරම, වාසනාවන්ත දූදරුවන් ලබන්නීය. යහපත් ලෙස කටයුතු කරන්නියක ලෙස ප්‍රකට වේ. අන් අය අතරද ජනප්‍රිය වෙයි.
පොසොන් මාසය
මේ අය තරමක් මන්දගාමීව කටයුතු කරන පිරිසක් වෙයි. ජීවිතයේ බොහෝ දේ අතපසු කරගන්නීය. විවිධ අවස්ථාවල් අන් අය හා ගැටුමට යන්නීය. තම මතය අන් අය අතර ප්‍රචලිත කිරීමට උත්සාහ ගත්තද, එය බැරි වූ විට පසුබට වන්නීය. නිතර නිතර වෙනත් අය ගැන සොයන පුරුද්දක් ඇත.
ඇසළ මාසය
මේ අයගේ ජීවිතයේ සැප සතුට මධ්‍යස්ථ ලෙස ලැබුණද දරුපල ලැබී සුබවාදී නොවේ. මවු කුසේදී දරුවන් මිය යෑමට ඉඩ තිබේ. නැතහොත් උපන් දරුවන් අඩු වයසින් මිය යෑමට වුවද හැකියාව ඇත.
නිකිණි මාසය
මේ ස්ත්‍රිය ජීවිතයේ වාසනාව උරුම කරගන්නීය. ධන-ධාන්‍ය, සැප-සම්පත් මෙන්ම මනා රූ සපුවක්ද උරුම කරගන්නීය. නිසිකලදී විවාහයට සුදුසු සහකරුවකු හමුවේ. යුග දිවිය සතුටින් සැනසීමෙන් ගත කරන්නට වාසනාව ඇත. වාසනාවන්ත දරු සම්පත් ලබයි.
බිනර මාසය
මේ අයගේ ජීවිතයේ විවිධ අවස්ථාවල සුළු සුළු ප්‍රශ්න ඇති කරනු ඇත. ගර්භාෂයේ, මුත්‍රාශයේ සුළු සුළු ආබාධ නිතර හට ගන්නා ස්වභාවයක් පෙන්වයි. විවාහයේ සතුට හීන කරයි. නිතර මත ගැටුමට යන්නීය. දරුවන් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව ඇත. එසේම මැදි වයසේදී යම් සාර්ථකත්වය උරුම කර ගන්නීය.
වප් මාසය
අන් අයගේ දේවල් සොයන්නට අකැමැතිය. තමාගේ පාඩුවේ දැහැමින් ජීවත් වීමට නිතරම සැලසුම් කරයි. ආගමට, දහමට ළැදිය. විවාහයට තෝරා ගන්නේ එවැනිම සහකරුවෙකි. තරුණ විය පසුවෙත්ම විවිධ ආගමානුකූල කටයුතු සඳහා මූලිකත්වය ගනී. ජීවිතය සතුටින් ගතකරන්නීය.
ඉල් මාසය
ශරීර ශක්තියෙන් අඩු මේ අය නිතරම රෝග පීඩාවන්ගෙන් අපහසුතාවයට පත්වන්නීය. කිසිම අවස්ථාවක තරගයට යෑමට හෝ එවැනි දේට ප්‍රිය නොකරයි. විවාහය එතරම් සතුටු දායක නොවේ. දූදරු සතුට වෙනුවෙන් කැප වෙයි. මැදි වයසේදී කාගෙත් ආදරය ලබයි.
උඳුවප් මාසය
ඉතා වාසනාවන්ත ජීවිතයක් උරුම කරගන්නීය. කිසිම විටක තමාගෙන් අන් අයට කරදරයක් වෙනවාට කැමැති නැත. වාසනාවන්ත දරු සම්පත් ලබා සාර්ථක ජීවිතයක් සකසා ගනී. ධන, ධාන්‍ය ලබා ඉසුරින් පිරි ජීවිතයක් උරුම කරගන්නට වාසනාව ඇත.
දුරුතු මාසය
මේ අය නිතර අනුන් ගැන සොයති. ඕපාදූප, කේලාම් ආදියට ප්‍රසිද්ධ වෙයි. කල්ක්‍රියාව එතරම් සුබ නැතැයි රටතොට ප්‍රසිද්ධ වෙයි. දරුවන්ට ආදරය නොකරයි සැමියාව ගණන් නොගනී. නිතරම අප්‍රසාදයට පත්වන්නීය.
නවම් මාසය
ඉතා වාසනාවන්ත තැනැත්තියක වේ. පින්වත් දරුවන් ලබා යසඉසුරු පිරි ජීවිතයක් ලබයි. නිතරම සතුට පිරුණු යුග දිවියක් උරුම වේ. අන් අය හා සාමකාමීව කටයුතු කරයි. කලබල නැත. මැදිවියේදී ධනවත් තැනැත්තියක වෙයි.
මැදින් මාසය
මේ අයගේ කල්ක්‍රියාව සුබ නැත. නිතර ගැටුමට බරවෙයි. කිසිවෙකුගේ මතය පිළිනොගනී. අන් අය හා සහයෝගයක් නැත. එහෙත් ධන, ධාන්‍ය ලබයි. දිවිය සරු කරගනී. කපටිය, විවාහයද සාර්ථක වේ. එමෙන්ම සටකපට ව්‍යාපාර කිරීමේ දක්‍ෂය. අනුකම්පා විරහිතය. නිතර තමා ගැනම සිතන්නීය.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර