ජ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරැදි පලාපල කථනයෙහි පමණක් නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීමද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්දරයේ විග්‍රහකර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ජ්‍යොතිෂය ධනාත්මක අයුරෙන් භාවිත කිරීමට අපට නොහැකි ද යන්නයි. ජ්‍යොතිෂයෙන් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේන්දරයක අපලයක්, උපද්‍රවයක් ඇතත් ජ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය.
මෙලොව ජීවත්වන හැම මනුෂ්‍යයකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට ජයග්‍රහණය ලැබීමට අකැමැති නැත. අප හැමෝටම යහපත මෙන්ම අයහපත ද සම සමව පිහිටා ඇත.
ඒවගේම අපට අපල මෙන්ම සපලද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළිකරදීමට ජ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළ හොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදාගෙන සාර්ථක පුද්ගලයෙක් බවට පත් කළ හැකිය.
කේන්දරයක් සෑදීමෙන් යම් දෙයකට කේන්ද්‍ර කිරීමක් සිදුවෙයි. එනම් අනාගතයේ සිදුවන ඉලක්කයක් වෙත කේන්ද්‍ර කිරීමක් සිදුවේ. කිසියම් පවුලක කෙනකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්ද්‍රයක් පරීක්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා කළ යුතුය. ඒ වගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතා බහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්‍රහ බල ඇත්තා ද හඳුනාගැනීම කළ යුතු ව ඇත. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීමෙන් නම් යහපතක් වන්නේ නැත.
මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමලු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඈත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගත හොත් එය අකුරටම කළ හැකිය. ඔහු දිවාරෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.
විශේෂයෙන් දරුවන්ගේ කේන්දර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා මාපියන් හා දරුවන්ගේ ඔ`ඵවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවාදැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබාදීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කේන්දරයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මියයනවා” නැත්නම් “හදිසි අනතුරකට පත් වෙනවා” මෙවැනි ප්‍රකාශයක් මාපියන්ට මෙන්ම දරුවාටද දැන්වුව හොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මේ ජ්‍යොතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව මාපියන් මෙන්ම දරුවාගේ සිතෙහි එක දිගටම සිතිවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි.
බොහෝ දුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ?”යැයි විමසන විට ඔවුන් බොහෝ දෙනකු දෙන පිළිතුරක් වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්ෂාව පතා කල්තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි.
කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථාන ගතව සිටින්නේ කුමන බලයක් යටතේද කුමන යෝග බලයක් සහිතවද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීම ද ඉතා වැදගත් වෙයි.
අවසාන වශයෙන් මෑතකදී සිදුවූ දේශපාලන පෙරළියේදී අපේ ජ්‍යොතිෂවේදීන් අනාවැකි පළකළ ආකාරය ගැනද යමක් ප්‍රකාශ කරමි. ඒ සියලු අනාවැකි ඒ ඒ අපේක්ෂකයන්ගේ කේන්දරවල ග්‍රහ පිහිටීම හා යෝග බලය මතද එසේ නොවන්නේ නම් තමා දරන දේශපාලන මතය අනුව දැයි කවරකුට හෝ කිව හැකිවේද?
රත්නායක කුලතිලක











